හේග් සම්මුතියේ යුක්තියේ දොර ලංකාවට ඇරේ

286

1970 වසරේදී අත්සන් කරන ලද ජාත්‍යන්තර හේග් සාක්‍ෂි සම්මුතිය ප්‍රකාරව ශ්‍රී ලංකා අධිකරණයක් විසින් විදේශ ගත අධිකරණයකින් සහාය පතමින් පළමුවරට කරන ලද ඉල්ලීමකට සිංගප්පූරු ශ්‍රේෂ්ඨාධිකරණයේ පූර්ණ සහාය ලැබී ඇතැයි කොළඹ වාණිජ මහාධිකරණයේදී අනාවරණය විය.

2013 වසරේදී වියට්නාම නෞකාවක් විසින් සංගප්පූරුවේ සිට කොළඹට රැගෙන එන ලද ඉන්ධන තොගයක් අපවිත්‍ර වීමෙන් සිදුවූ ඇමරිකානු ඩොලර් මිලියන 2.5 කට අධික අලාභය සම්බන්ධයෙන් පවතින නඩු කටයුත්තක් සඳහා සිංගප්පූරු මහාධිකරණය විසින් සටහන් කර ගන්නා ලද සාක්‍ෂිකරුවන් සිවුදෙනකුගේ සාක්‍ෂි එලෙස කොළඹ වානිජ මහාධිකරණයට යොමු කර ඇත.

එවකට කොළඹ වානිජ මහාධිකරණ විනිසුරුවරයකු ලෙස කටයුතු කළ එම්. ඒ. ආර්. මරික්කාර් මහතා 2019 වසරේදී සිංගප්පූරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් එම ඉල්ලීම කර තිබිණි.

ස්විස්ටර්ලන්තයේ පිහිටි බහුජාතික සමාගමක් විසින් ඉන්දීය ඛනිජ තෙල් සංස්ථාවේ ඒකකය වන ශ්‍රී ලංකාවේ එල්.අයි.ඕ.සි. සමාගම වෙත එම ඉන්ධන තොගය සපයා තිබිණි. හේග් සාක්‍ෂි සම්මුතිය අනුව සිංගප්පූරු මහාධිකරණයෙන් ලබාගෙන ශ්‍රී ලංකාවට සම්ප්‍රේෂණය කරන ලද එම සාක්‍ෂි කොළඹ වාණිජ මහාධිකරණයේ සාක්‍ෂි වශයෙන් පිළිගැනීමේ නීතිමය හැකියාව පවති. එල්.අයි.ඕ.සි. වෙනුවෙන් නීතිඥ උදය ධම්මික ගබඩාගේ මහතාගේ උපදෙස් මත ආචාර්ය නිරංජන් අබේරත්න, රුක්ශලා ගුණතිලක සහ තනුජ මීගහවත්ත යන නීතිඥවරුන් පෙනී සිටි අතර නෞකාව හා එහි හිමිකරුවන් වෙනුවෙන් ජුලියස් ක්‍රීසි සමාගමේ උපදෙස් පරිදි මුර්ෂිඩ් මහරුෆ් සහ දුෂාන්ත ද සිල්වා යන නීතිඥවරු කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටියහ.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment