කැනඩා රැකියා ජාවාරමේ සැකකරුට එරෙහි නීති පියවර ගත්තා

159

විදේශ සේවා නියුක්ති කාර්යාංශය කරුණු පහදයි

කැනඩාවේ රැකියා ලබාදෙන බව හා එරට පදිංචිය ලබා ගැනීම සඳහා අවශ්‍ය වීසා සකස් කිරීමට යැයි පවසමින් තරුණ තරුණියන් ගෙන් නීති විරෝධී ලෙස මුදල් අයකර ගත් බව කියන සිද්ධියේ ප්‍රධාන සැකකරු මරදාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තම කාර්යාංශයේ විමර්ශන නිලධාරීන් වෙත ඊයේ (2 දා) භාරදී ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේය.

“ඇමැති නිලධාරි නියෝගයකින් කැනඩා ජාවාරම් පැමිණිලි භාරගන්න එපා කියලා” මැයෙන් ඊයේ ‘දිවයින’ පුවත්පතේ මුල් පිටුවේ පළවූ ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් එම කාර්යාංශය මේ බව සඳහන් කරයි.

කැනඩාවේ රැකියා ලබාදෙන බව හා එරට පදිංචිය ලබා ගැනීම සඳහා අවශ්‍ය වීසා සකස් කිරීමට යැයි පවසමින් තරුණ තරුණියන් පිරිසකගෙන් නීති විරෝධී ලෙස මුදල් අයකර ගැනීම සම්බන්ධයෙන් 2023.03.01 දින ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත පැමිණිලි ලැබී ඇත.

ඒ අනුව පැමිණිලිවලට මැදිහත් වූ ප්‍රධාන සැකකරු මරාදන පොලිසිය මගින් 2023.03.01 දිනම අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇති අතර එහිදි අදාළ සැකකරුට මුදල් ලබාදුන්නේ යැයි ඉදිරිපත්වූ තැනැත්තන්ගේ සහායද ලබාදී ඇත. එසේ අල්ලා ගන්නා ලද ප්‍රධාන සැකකරුට අවශ්‍ය නීතිමය පියවර ගැනීම සඳහා ඊයේ (2023.03.02) කාර්යාංශයේ විමර්ශන නිලධාරීන් වෙත භාරදී ඇති අතර ඒ අනුව කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ පිළිබඳව වැඩිදුර කරුණු විමසීමේදී අදාළ සැකකරු පැමිණිලිකරුවන්ගෙන් කැනඩාවේ රැකියා අවස්ථා ලබා ගැනීම හා පදිංචිය ලබා ගැනීම සඳහා පවුල් ඒකක වෙත වීසා ලබාදීමේ මුවාවෙන් රුපියල් ලක්‍ෂ 5 සිට රුපියල් ලක්‍ෂ 20 දක්වා මුදල් අය කිරීම සිදුකර ඇති අතර, ඔවුන්ගේ මුදල් ගනුදෙනුවීම් හා සබඳතා ගොඩනඟා ගැනීම සඳහා 75 දෙනෙකුගෙන් පමණ යුත් කණ්ඩායමක් නියෝජනය වන පරිදි Whatsapp Group මගින් පුද්ගලයන් රැස්කර ඇත. තවද වාර්තාවී ඇති පැමිණිලිකරුවන් අදාළ සැකකරු වෙත යොමුකිරීමට මැදිහත් වූ ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ සේවය කරන රජයේ නිලධාරියෙකු කාර්යාංශයේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුද අද දින කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. මෙම ජාවාරම සම්බන්ධයෙන් මේ වනවිට පැමිණිලි 53 ක් කාර්යාංශය වෙත ලැබී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment