මුදලිගේ-සිරිධම්ම හිමි නිදහස් කරන්නැයි ඉල්ලා පාගමනේ ගිය 5ක් අල්ලා ඇප මත මුදාහරී

167

ත්‍රස්ත පනත යටතේ දින 90 ක් රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින අන්තරේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ භික්ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිධම්ම හිමි නිදහස් කරන ලෙස ඉල්ලමින් පෙරේදා (12 දා) කළුතරින් ආරම්භ කළ පාගමනේ යෙදුණු කතුන් දෙදෙනකු ඇතුළු පස් දෙනකු අත්අඩංගුවට ගෙන ඇපමත මුදාහැරිය බව පානදුර දකුණ පොලිසිය පවසයි.

මුදලිගේ-සිරිධම්ම හිමි නිදහස් කරන්නැයි ඉල්ලා පාගමනේ ගිය 5ක් අල්ලා ඇප මත මුදාහරී

මෙසේ අත්අඩංගුවට ගෙන මුදා හැර ඇත්තේ විරෝධතා පාගමනේ යෙදුණු නිරෝෂා ඩැනියෙල්, ප්‍රියන්ති ප්‍රනාන්දු, දිල්කි සුරංගිකා සහ ඔවුන්ගේ සහායට පැමිණි පුද්ගලයන් දෙදෙනකු බව පොලිසිය පවසයි.

කාන්තාවන් දෙදෙනා උදෑසන 9.15 ට පමණ කළුතර බෝධීන් වහන්සේ වැඳපුදා ගැනීමෙන් පසු ගල්වැව සිරිධම්ම හිමිගේ සහ වසන්ත මුදලිගේ ගේ රුව ඇතුළත් පුවරු දෙකක් අතැතිව විරෝධය පළකරමින් පාගමන ආරම්භ කර මීටර් 50 ක් යෑමට මත්තෙන් සහකාර පොලිස් අධිකාරිවරුන් දෙදෙනකු ඇතුළු පොලිස් නිලධාරීන් දෙසීයකට ආසන්න පිරිසක් විසින් මග හරස් කරමින් ඔවුන් හරවා යවන ලදී.

පසුව එම කාන්තාවෝ පසුපසට පැමිණ එක්වරම ලංගම බස් රථයකින් කළුතර උතුර ප්‍රදේශයට පැමිණ නැවත පාගමනේ යෙදුණහ. ඉන් පසුව පිළිවෙළින් වාද්දුව පින්වත්ත සහ පානදුර දකුණ පොලිස් නිලධාරීන් කණ්ඩායම් පැමිණ ඔවුන් හරවා යැවීමට අවස්ථා කිහිපයකදී උත්සාහ ගත් අතර, එහිදී පාගමනේ යෙදුණු කතුන් සහ ඔවුන්ගේ සහායට පැමිණි පිරිස් සහ පොලිස් නිලධාරීන් අතර උණුසුම් තත්ත්වයක් ඇතිවිය.

පසුව පස්වරු 4.10 ට පමණ පානදුර, ගොරකපොල ප්‍රදේශයේ දී පනහකට අසන්න පොලිස් බල ඇණියක් යොදා ඔවුහු පස්දෙනා අත්අඩංගුවට ගනු ලැබූහ.

පානදුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ, සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සේනාරත්න යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි මූලස්ථාන පොලිස් පරීක්ෂක චාමින්ද පින්තු මහතාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ පවත්වයි.
බණ්ඩාරගම – ආර්. ඒ. එස්. ප්‍රේමතිලක, පානදුර – දීපිකා කාරියවසම් සහ කැස්බෑව – ජයසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment