අත්අඩංගුවට ගත් පිරිසකගේ රන් ආභරණ සහ ඩොලර්වලට සුද්දය දැමූ පොලිසියේ 4කට චෝදනා

352

සෝදිසි කිරීමට ලක්කළ පුද්ගලයන් කීපදෙනකුගේ රන් ආභරණ අතුරුදන් වීමේ සිද්ධියට සැක අපරාධ වැටලීම් ඒකකයක සේවය කළ පොලිස් නිලධාරීන් හතර දෙනා මීට පෙර සිදුකළ මෙවැනි වැටලීම් පිළිබඳව දැන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසයි.

ඉන්දියාවේ සිට මෙරටට තහනම් භාණ්ඩ රැගෙන එන බවට ඔත්තුකරුවකු නොවන තැරැව්කරුවකුගෙන් ලද තොරතුරක් මත ඉන්දියාවෙන් මෙරටට භාණ්ඩ රැගෙන පැමිණි පිරිසක් අත්අඩංගුවට ගත් කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් සිවුදෙනකු විසින් ඇමෙරිකන් ඩොලර් සහ රන් භාණ්ඩ සොරා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බස්නාහිර පළාත උතුරු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මහතාට ලද පැමිණිල්ලකට අනුව ඉකුත් 10 වැනිදා සිට එම නිලධාරීන් සිවුදෙනා වැඩ තහනමට ලක් කර ඇත. ඒ අනුව කැලණිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඒ.ජේ.වයි.ඩී. ක්‍රිෂාන්ත මහතාගේ අධීක්ෂණය මත මෙම සිද්ධිය විමර්ශනය කිරීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් පත් කර ඇත.

ඉන්දියාවේ සිට මෙරටට රෙදිපිළි රැගෙන විත් අලෙවි කරන කාන්තාවක් සහ පිරිමි තිදෙනකුගෙන් යුත් කණ්ඩායමක් පසුපස පසුගිය 9 වැනිදා රාත්‍රී හඹාගොස් රන් භාණ්ඩ සහ ඇමෙරිකන් ඩොලර් තුන්දහස් අටසීයක මුදලක් වංචා කළ බවට කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ උප පොලිස් පරීක්ෂකවරයකු, පොලිස් සැරයන්වරයකු සහ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු මෙලෙස චෝදනාවට ලක්වී ඇත. සිද්ධියට මුහුණ දුන් පිරිස ඉකුත් 10දා මෙම වංචාව සම්බන්ධයෙන් බස්නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මහතා වෙත පැමිණිලි කර ඇති අතර නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් සැකකාර පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් දීර්ඝ විමර්ශනයක් සිදු කෙරෙන තෙක් ඔවුන්ගේ වැඩ තහනම් කර ඇත.

ඉන්දියාවේ සිට මෙරටට නීති විරෝධීව රන් ආභරණ සහ විදෙස් මුදල් රැගෙන එන බව තැරැව්කරුවකු විසින් කැලණිය කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයට ලබාදුන් තොරතුරක් මත 9 වැනිදා රාත්‍රියේ එම අංශයේ පොලිස් නිලධාරීන් සිවුදෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් මෙම වැටලීම සඳහා පෞද්ගලික වෑන් රථයකින් කටුනායකට ගොස් ඇති අතර ඒ පිළිබඳව උසස් නිලධාරීන් දැනුවත් කර නැතැයිද මාධ්‍ය වාර්තා කර තිබිණි. ඉන්දියාවේ සිට ගුවන් මගින් කටුනායකට පැමිණි පිරිස ඔවුන් රැගෙන ආ බඩු භාණ්ඩ පටවාගෙන වෑන් රථයකින් කොළඹට එමින් සිටි මෙම පිරිස ගමන් ගත් වෑන් රථය හඹාගිය පොලිස් කණ්ඩායම ජාඇල ප්‍රදේශයේදී වාහනය නවතා එහි සිටි කාන්තාවක සහ පිරිමින් තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් පොලිසියට පවසා ඇත්තේ ඉන්දියාවේ සිට රෙදිපිළි රැගෙන පැමිණ නවාතැන්පළට යමින් සිටින බවයි. මෙම පිරිස අතරින් පිරිමින් දෙදෙනකු කොළඹ කදිරේෂන් වීදිය සහ දෙහිවල පදිංචිකරුවන් වන අතර කාන්තාව වාරියපොල ප්‍රදේශයේ පදිංචිකාරියක් බව අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගත් පිරිස පැළඳ සිටි රන් ආභරණ සහ විදෙස් මුදල් ද පොලිස් භාරයට ගෙන ඇති පොලිස් නිලධාරීන් සිවුදෙනා ඔවුන් කැලණිය කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය වෙත රැගෙන විත් ප්‍රශ්න කිරීමෙන් පසුව පොලිස් පොත්වල සටහන් නොතබා වැටලීම පිළිබඳව උසස් නිලධාරීන් දැනුවත් නොකර එදිනම රාත්‍රියේ ඔවුන් මුදාහැර ඇත. මුදාහැරීමට පෙර ඔවුන්ගෙන් පෙරදින ලබාගත් රන් ආභරණ සහ විදෙස් මුදල්වලින් කොටසක් පමණක් ලබා දුන් බවත් රන් මුදු හයක් සහ රන්වළලු හතරකුත්, ඇමෙරිකන් ඩොලර් 3800කුත් පොලිස් නිලධාරීන් විසින් වංචනික ලෙස රැගෙන ඇති බවත් මෙම පිරිස පසුවදා (10දා) බස්නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මහතාට පැමිණිලි කර ඇත.

නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ මූලික අධීක්ෂණය මත මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකිරීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් පත්කර ඇති අතර සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරීන්ට නීතිමය පියවර ගැනීමට නියමිතය.
නෝමන් පළිහවඩන, කැලණිය – මංගලා මදුරප්පෙරුම

advertistmentadvertistment
advertistmentadvertistment