ආයිෂාගේ ඝාතකයා අල්ලයි – බෙල්ලේ තිබූ  නියපොතු පාරවල්වලින්  සැකකරු කොටුවෙයි

1105

‘අත් කකුල් ගැට ගහලා කැලේට උස්සන් ගිය දරුවා මැරෙනකල්  මඩේ ඔබාගෙන හිටියා’

දැරිය වැනසූ පාපතරයා අයිස් මත්ද්‍රව්‍ය ලෝලියෙක්


‘දරුවාට අතවර කරන්න හිතාගෙන එයාගේ අත් කකුල් ගැට ගහල කැලේට උස්සගෙන ගියා. ගෙදර යන්න ඕනේ කියලා පොරබදද්දී එයාට සිහිය නැති වුණා. මේ වෙච්ච දේ ගැන ගෙදරට කියයි කියලා බය හිතුණු නිසා මං ඒ දරුවා මැරෙන කල් මඩේ ඔබාගෙන හිටියා’ යැයි අටලුගම ආයිෂා දැරිය ඝාතනයේ සැකකරු මොහොමඩ් ෆාරුක් පොලිසිය හමුවේ පෙරේදා (29 දා) රාත්‍රි පාපොච්චාරණය කළේය. 07 – පිටුවට

මෙම දැරිය අතවරයට ලක්වී නොමැති බව මරණ පරීක්‍ෂණයේදී අනාවරණය විය.

කළුතර අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල මහතාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ සිදුකළ විමර්ශනවලදී මෙම සැකකරු පොලිසියට කොටු විය.

ඝාතනයට ලක්වූ ආයිෂා දැරියගේ මවගේ ඥාතියකු වන මෙම සැකකරු 29 හැවිරිදි තිදරු පියෙකි.

කම්කරුවකු ලෙස රැකියාව කරන මෙම සැකකරු ආයිෂා දැරියගේ නිවසට යාබද නිවසක පදිංචිව සිටින අයෙකි. ඝාතනයට ලක්වූ දැරිය සහ මෙම සැකකරුගේ දියණිය එකම වයසේ පසුවන සමීපතම යෙහෙළියන් බව විමර්ශනවලින් අනාවරණය වී ඇත.

ඝාතකයාගේ නිවසට ආයිෂා දැරිය නිතර යන එන අතර ඝාතකයාගේ 8 හැවිරිදි දියණිය සමග ඇය නිතර සෙල්ලම් කිරීමට පුරුදුව සිට ඇති බවද පොලිසිය පවසයි.

ඉකුත් 27 වැනිදා උදෑසන නිවස අසල වෙළෙඳ සලකට ගොස් ආපහු එද්දී මෙම සාහසිකයා විසින් දැරිය පැහැරගෙන ගොස් තිබිණි. දැරියගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන පවත්වද්දී නිවස ආසන්නයේ වගුරු බිමක තිබී ඇගේ සිරුර හමුවිය.

මෙම ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල මහතා ඇතුළු නිලධාරීන් අටලුගම ප්‍රදේශයේ මුස්ලිම් පූජකවරුන් සහ ප්‍රදේශවාසීන්ට පවසා ඇත්තේ එම ප්‍රදේශයේ පදිංචිකරුවන් අතර මේ වනවිට සිටින හැසිරීම් වෙනස් පුද්ගලයන් පිළිබඳව අවධානයෙන් සිට දැනුම් දෙන ලෙසයි.

ඒ අනුව ප්‍රදේශවාසීන් ලබාදුන් තොරතුරු මත පුද්ගලයන් 5 දෙනකු ප්‍රශ්න කිරීම සඳහා පොලිස් භාරයට ගැනීමට විමර්ශන කණ්ඩායමට හැකි විය. ඝාතකයා ද මෙම පුද්ගලයන් පස්දෙනා අතර සිට ඇත.

සැකකරුගේ බෙල්ලේ තිබූ නියපොතු පාරවල් කීපයක් නිරීක්‍ෂණය කළ පොලිස් නිලධාරීන් ඒ ඔස්සේ දීර්ඝ ලෙස කළ ප්‍රශ්න කිරීම්වලින් පසු ඔහු මෙම ඝාතනය තමන් විසින් කළ බවට පාපොච්චාරණය කළේය.

කළුතර නියෝජ්‍ය පොලිස්පති සරත් කුමාර, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඒ. වෙදගේ, සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල යන මහත්වරුන්ගේ අධීක්‍ෂණය යටතේ විමර්ශන පැවැත්වෙයි.

හේමන්ත රන්දුණු
 

advertistmentadvertistment
advertistmentadvertistment