ගෑස් සමාගම් දෙකට අතුරු තහනම් නියෝගයක්

181

ශී‍්‍ර ලංකා ප‍්‍රමිති කාර්යාංශය විසින් අනුමත කරන ප‍්‍රමිතියෙන් යුතු ගෘහස්ථ ගෑස් සිලින්ඩර පමණක් වෙළෙඳපොළට නිකුත් කරන ලෙස ලිට්රෝ සහ ලාෆ් ගෑස් සමාගම්වලට නියෝග කරමින් අභියාචනාධිකරණය පෙරේදා (17 දා) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

රුවන් ප‍්‍රනාන්දු සහ සම්පත් විජේරත්න යන විනිසුරු මඬුල්ල එම අතුරු තහනම් නියෝගය නිකුත් කළේය.

මේ වනවිට වෙළෙඳපොළට නිකුත් කර ඇති ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල අඩංගු සියයට 20%ක් වූ ප්‍රොපේන් සංයුතිය සියයට 30%ක ප‍්‍රතිශතයක් දක්වා ඉහළ දැමීමට මේ වනවිට ගෑස් සමාගම් එකඟ වී ඇති බවත් නිසි ප‍්‍රමිතියක් සකස් කිරීම සඳහා ශී‍්‍ර ලංකා ප‍්‍රමිති කාර්යාංශය පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සහ ගෑස් සමාගම් අදාළ අංශ සමග සාකච්ඡුා පැවැත්වීමට නියමිත බවත් මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ අධිනීතිඥ මනෝහාර ජයසිංහ මහතා විනිසුරු මඬුල්ල හමුවේ පැවසීය.

අනාරක්‍ෂිත ගෑස් සිලින්ඩර ආනයනය කර වෙළෙඳපොළට නිකුත් කළ ගෑස් සමාගම් ඇතුළු වගකිව යුතු නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් ගොනු කර තිබූ රිට් ආඥා පෙත්සම සලකා බලමින් විනිසුරු මඬුල්ල මෙම නියෝගය නිකුත් කළ අතර පෙත්සම් සම්බන්ධ විවාදය 2022 ජනවාරි 26 වැනිදා ආරම්භ කිරීමට දින නියම කෙරිණි. පෙත්සම්වල වගඋත්තරකරුවන් වෙත නොතිසි නිකුත් කිරීමට ද මෙහිදී වැඩිදුරටත් නියෝග කළේය.

ඒ. ජේ. ඒ. අබේනායක


advertistmentadvertistment