ගෑස් හා ඉන්ධන මිල අඩුවීම හමුවේ ප්ලේන්ටිය බත් පාර්සලය අඩුවට දෙන්න පුළුවන් – අසේල කියයි

70

ගෑස් මිල හා ඉන්ධන මිල අඩු කර තිබෙන මොහොතක බිත්තර කොත්තුවක් රුපියල් 350කට ද ෆ්‍රයිඩ් රයිස් එකක් රුපියල් 300කට ද බිත්තරයක්, සම්බෝලයක්, පරිප්පු, හාල්මැස්සො බැදුමක් සහිත බත් පාර්සලයක් රුපියල් 200කට ද පරාටා එක්ක රුපියල් 30කට ද බිත්තර රොටියක් රුපියල් 100කට ද පාරිභෝගික ජනතාවට ලබාදිය හැකි බව ජාතික පාරිභෝගික පෙරමුණේ නායක අසේල සම්පත් මහතා පෙරේදා (08දා) මාධ්‍ය හමුවකදී පැවැසීය.

එසේම ප්ලේන්ටියක් රුපියල් 30කට ද කිරි තේ එකක් රුපියල් 100කට ද ලබාදිය හැකි බව හෙතෙම කියා සිටියේය.

මෙම මාධ්‍ය හමුවේදී අසේල සම්පත් මහතා ෆ්‍රයිඩ් රයිස්, කොත්තු, බිත්තර රොටි, පරාටා, බත් පාර්සලයක් උණු උණුවේ සකස් කර මාධ්‍ය හමුවේ පෙන්වීය. පන්නිපිටිය පැවති මෙම මාධ්‍ය හමුවේදී තවදුරටත් කතා කළ අසේල සම්පත් මහතා මෙසේ ද පැවසීය.

“පරාටයට, බිත්තර රොටියට, කොත්තුවට, ෆ්‍රයිඩ් රයිස් එකට, බත් පැකට් එකට, ප්ලේන්ටියට අනිවාර්යයෙන්ම පාලන මිලක් දාන්න. මිල අඩු කර මේවා අලෙවි කරන්න. ඉන්ධන හා ගෑස්වලින් ලබාදීපු සහනය අවම වශයෙන්වත් මේ සතියේ ලබාදෙන්න ඕනේ. මැතිවරණයක් ළඟ එනවා. ඒ නිසා ජනතාව ඉදිරියට එන්න. හෝටල් හිමියන් එක්ක සටන් කරලා ඔයාලගේ අයිතීන් දිනාගන්න.”

මෙම මාධ්‍ය හමුවට පාරිභෝගික කටයුතු අධිකාරියේ පොදු සේවක සංගමයේ ලේකම් අජිත් ජයසුන්දර, එක්සත් සහයෝගිතා පෙරමුණේ නායක ලකී කරුණාතිලක, ජාතික ඉදිකිරීම් සේවක සංගමයේ සභාපති සුපුන් අබේසේකර යන මහත්වරු ද සහභාගි වූහ.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් – ඡායාරූපය – ධර්මසේන වැලිපිටිය

advertistmentadvertistment
advertistmentadvertistment