ආරක්ෂක සේවා හොකී තරගාවලිය
පසුගිය වර ශුරයින් වු ගුවන් හමුදාව අනුශූරයින් බවට පත් කරමින් ඉකුත් දා කොළඹ හතේ රීඩ් මාවතේ පිහිටී කෘත්‍රිම ක්‍රීඩාංගණයේ දී ක්‍රියාත්මක කෙරුණු 13 වැනි ආරක්ෂක සේවා හොකී තරගාවලියේ පිරිමි ශූරතාව දිනා ගැනීමට යුද හමුදාව නියෝජනය කළ ක්‍රීඩකයෝ සමත් වූහ.
යුද හමුදාව සහ ගුවන් හමුදාව අතර ක්‍රියාත්මක කෙරුණු මෙවර අවසාන මහ තරගය අපේක්ෂා කළ පරිදිම අතිශය තියුණු මුහුණුවරකට අනුවර්තනය වී තිබීම කැපී පෙණුනි.
ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරමින් ජාත්‍යන්තර අත්දැකීම් ලාභී ක්‍රීඩකයින් රැසක් දෙපිල නියෝජනය කිරීම තරගයේ උණුසුම තීව්‍ර වීමට ප්‍රබලතම හේතුව විය. එහි ප්‍රතිඵලයක් ලෙස ජය සහ පරාජය දෙපිල වෙතම දෝලනය වන ආකාරය තරගය පැවැති මිනිත්තු 60 පුරාම දිස් විය.
තරගය සඳහා නියමිත කාලය නිමා වන විට දෙපිලම ගෝල් 03 – 03 බැගින් වාර්තා කර ගැනීම හේතුවෙන් ජයග්‍රාහී කණ්ඩායම තෝරා ගැනීම දඬුවම් පහර (08 SECONDS PENALTY SHOOT OUT) දක්වා දීර්ඝ කිරීමට සංවිධායක මණ්ඩලයට සිදු විය. එහි දී ගෝල් 03 – 01 ක තියුණු ජයග්‍රහණයක මිහිර අත්විඳින්නට යුද හමුදාවට හැකියාව ලැබිණි.
මෙවර තරගාවලිය ආරම්භ කරමින් පැවති මූලික වටයේ දී යුද හමුදාව සහ ගුවන් හමුදාව මුහුණට මුහුණ හමු වූ අතර එහි දී ගෝල් 05 – 04 ක අතිශය තියුණු ජයග්‍රහණය යුද හමුදාව සතු විය.
2025 වසරේ මෙරට පැවති අතිශය තියුණු හා උණුසුම් තරග අවසානය මෙය වීම ද ඉහළ අගයක් ගත්තේය.
ගුවන් හමුදාව ඉදිරියේ පරාජයට පත් වීමෙන් අනතුරුව යුද හමුදාව සමග තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත් කර ගත් නාවික හමුදාව මෙවර තරගාවලිය තුළ ප්‍රදර්ශනය කළ දක්ෂතාව ද කැපී පෙණුනි.
මේජර් ජනරාල් නලීන් බණ්ඩාරනායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙවර තරගාවලිය ක්‍රියාත්මක කෙරුණු අතර එම අවස්ථාවට මේජර් ජනරාල් ප්‍රියන්ත නවරත්න මහතා සහ එයාර් වයිස් මාර්ෂල් ෂෙහාන් විජේනායක මහතා ද එක් වූහ.
අනුරුද්ධ හේරත් බණ්ඩාර