ධර්මාධිකරණය

704

අට හැවිරිදි දැරියකගේ ශරීරය අත පත ගා ඇය අපයෝජනය කිරීමේ චෝදනාවකට ලක්වූ චීවරධාරියකුට දැරියගේ පියා විසින් දරුණුවටම පහරදෙනු ලැබීය. ඉන්පසු උන්වහන්සේ රෝහලට ඇතුළත් කරන ලදී. චීවරධාරියාගේ වයස අවුරුදු 80 කට කිට්ටු වෙමින් තිබූ බවක් කියනු ලැබේ. කුරුණෑගල ප්‍රදේශයේ හිත්තරපොළ විහාරස්ථානයක විසූ ඒ චීවරධාරියාගේ මෘතදේහය විහාරස්ථානයේ තැන්පත් කරනවාට ගම්වැසියන් විසින් විරෝධය පළකරනු ලැබ ඇත. මිය ගිය චීවරධාරියා පණ පිටින් සිටින කාලයේදී මාස දෙකක් තිස්සේම අවස්ථා ගණනාවකදී දැරිය අපයෝජනය කළ බව හෙළිවී තිබේ. ඔහුගේ දේහය ඔහු විසූ පන්සලේ තැන්පත් කරන්නට බැරිවීම ඛේදවාචකයකි. අද වැනි පොහෝ දිනක මෙවැනි කාරණයක් සාකච්ඡා කිරීමට සිදුවීම අපේ කරුමයකි. පසුගිය සතිවල අවස්ථා කිහිපයකදීම චීවරධාරීන් විසින් සිදුකෙරුණු අවකල් ක්‍රියා ගැන මේ තීරුව ඔස්සේ අපි සාකච්ඡා කළෙමු. එබැවින් මේ පුවත්පත බෝර්න් එගේන් ආගමට ලැදි ඒ ආගමෙන් ජරාව කන තැනක් බව තව ටික දිනකින් කිසියම් ගණින්නාන්සේ කෙනකු විසින් දෙසා වදාරනවා ඇත. මේ පුවත්පත රට, දැය, සමය යන සාධක තුනට ඉමහත් ලැදියාවක් දක්වයි. එසේම සෙසු ජාතීන් සහ සෙසු ආගම්වල අයිතිවාසිකම් කෙරෙහිද උනන්දු වෙයි. එසේම රට, දැය, සමය ගැන සමාජ විවේචනයක් කිරීමට අවශ්‍ය තැනදී අනිත් රෙද්දවල් ගැන නොසිතා එම විවේචනය සිදුකරයි. ආගමකට මඩ වදින තැනදී ආගම් භේදයකින් තොරව අදාළ ආගම වෙනුවෙන් පෙනී සිටීම අප අවුරුදු 41 ක් තිස්සේ මේ පුවත්පත හරහා කළ බව ඔබට දැනුම් දෙමු. සහරාන් පිළිබඳ ප්‍රශ්නයේදී ඉස්ලාම් අන්තවාදය විවේචනය කිරීමේ අයිතිය අප විසින් පාවිච්චි කරන ලදී. බුදු දහම, කිතු දහම, බහායි දහම, හින්දු දහම උඩින් තබාගෙන කිසියම් හොරකු වලත්තකමක් කරන විට ඒ හොරාගේ රෙද්ද ගැලවීමට අපි කැමති වෙමු. ඒ නිසා බුදු දහම කිලිටි කරන චීවරධාරීන් විවේචනය කිරීම බෝර්න් එගේන් ව්‍යාපෘතියක් ලෙස ලේබල් කිරීමෙන් ඇතැම් උමතු ආගමික ප්‍රධානීන් වැළකී සිටිය යුතුය. මේ අතර තවත් කතන්දරයක් කියමු. පඬුවස්නුවර රජ මහා විහාරයේ නායක භික්ෂුව නොබෝදා අපවත් වූහ. එකී නායක හාමුදුරුවෝ ජීවතුන් අතර සිටිනා කාලයේදී ගලගෙදර විපුලසාර නමැති භික්ෂුවකට තමන්ගෙන් පසු විහාරස්ථානයේ නායකත්වය පැවරූහ. එහෙත් නායක භික්ෂුව අපවත් වීමෙන් පසු වෙනත් භික්ෂුවක් පන්සලේ නායකකමට පත්කරන ලදී. මෙයින් බලවත් සේ කලකිරීමට පත් (සමහරවිට සංසාරය ගැන වෙන්නැති) විපුලසාර හාමුදුරුවෝ ඊයේ පෙරේදා දවසක කුරුණෑගල පොලිසිය අසල පිහිටි මාර ගහකට නැග පැය 8 ක් තිස්සේ විරෝධතා ව්‍යාපාරයක නිරත වූහ. තමන්ට විහාරාධිපතිකම අත්‍යවශ්‍ය බව උන්වහන්සේ කීහ.

බැලූ බැල්මටම මේ හුටපටය මාරම අවුලක් බව පෙනේ. ගහට නැගි භික්ෂුව බෞද්ධ භික්ෂුවක්ද නොඑසේ නම් වෙනත් ආගමක කෙනෙක්ද යන්න සොයා බැලිය යුතුය. භාග්‍යවත් ගෞතමයාණන් වහන්සේ විසින් සෑම කල්හිම දෙසා වදාරන ලද්දේ ‘අත්හැරීම’ ය. එහෙත් එවැනි කතන්දරයක් නිකමටවත් අසා නැති පෙරකී භික්ෂුව නායක සාධුකම ඉල්ලමින් ගහකට නැග පිස්සු කෙළීම බුද්ධ ශාසනය සිනහවට ලක් කරන්නකි. දේපළවලට පෙරේතකමින් මේ ආකාරයෙන් හැසිරීම භික්ෂුවකට නොහොබී. සිවුරේ සිටින මුළු කාලය තුළදීම දේපළවලට නඩු කියාගත් චීවරධාරීහු මේ රටේ සිටියහ. ඇතැම් චීවරධාරියකුට පන්සල් 4 ක හෝ 5 ක අයිතිවාසිකම් ඇත. මේ දේපළ දෙව්ලොව ගියත් අපායේ ගියත් රැගෙන යෑමට නොහැක. මේ අවස්ථාවේදී චීවරධාරීන් සහ ගිහියන් අතර ඇති වෙනස අතුරුදන් වේ. ඒ වෙනස නම් අත්හැරීම සහ අත්නොහැරීම යන කාරණාවය. බුදුන් වහන්සේගේ දේශනාවට අනුව සියලු දේවල් අත්හල තරමට නිවනට ඇති දුර කෙටි වෙයි. ඒ අර්ථයෙන් ගත්කල ගිහියන්ට නිවන ඉතා දුරය. මුදල් උපයමින්, දේපළ මිලට ගනිමින්, ආලය කරමින් සහ වෛර කරමින් ගිහියෝ සංසාරයෙන් ගැලවීමට නොහැකි න්‍යාය පත්‍රයකට අනුබද්ධව සිටිති. ඒත් භික්ෂුන් වහන්සේ එසේ විය යුතුද? අපවත් වූ භික්ෂුවකගේ රථ වාහන වෙනත් අයිතියකට පැවරුන විට භික්ෂුන් වහන්සේ ඒ වෙනුවෙන් උසාවි යා යුතුද? ශ්‍රී ලංකාව තුළ පන්සල්වලට අදාළ දේපළ නඩු රැසක්ම තිබේ. අපගේ වැටහීම වන්නේ භික්ෂුන් වහන්සේට හිමි ධර්මාධිකරණය පමණක් බවය. ධර්මාධිකරණය ස්වකීය සිතුවිලි තුළද නිර්මාණය කරගත හැකිය. උසාවි නොගොස් එවැනි නඩුවක් තමන්ටම විසඳාගත හැකිය. ඔළු කට්ට තුළ මොළයක් ඇත්තේ එවැනි යහපත් සිතුවිලි නිර්මාණය කරගැනීම සඳහා ය. මේ මොහොතේදී අපේ භික්ෂු පරපුර බුදු සසුන ප්‍රතිසංස්කරණය කිරීම සඳහා කැපවී කටයුතු කළ යුතුය. මේ රටේ බෞද්ධකම උප්පැන්න සහතිකයටත්, භික්ෂුන් වහන්සේලාටත් සීමාවීම කිසිදු ප්‍රයෝජනයක් ඇති දෙයක් නොවේ. එය හදවත තුළින් අවංකව ගලා එන අදහස් ධාරාවක ප්‍රතිඵලයක් විය යුතුය.

advertistmentadvertistment
advertistmentadvertistment