ගුටිකාලා බැරිම තැන සිසුවියෝ 11ක් පොලිසි එති

704

නේවාසිකාගාරයේ පාලිකාව රිමාන්ඩ්
මහෙස්ත්‍රාත් රෝහලට ගොස් එන තෙක් සිසුවියන් සමග දෙමාපියන්ටවත් කතා බෑ

යාපනයේ ඌර්කාවතුරේ ප්‍රදේශයේ බාලිකා පාසලක නේවාසිකාගාරයේ අමානුෂීය ලෙස සිදුවන පහර දීම් ඉවසා ගත නොහැකිව සිසුවියන් 11 දෙනකු පොලිසියට පැමිණ භාරවීමත් සමගම පොලිසිය එම නේවාසිකාගාරයේ පාලිකාව අත්අඩංගුවට ගෙන තිබේ.

යාපනයේ ඌර්කාවතුරේ පොලිසිය වෙත එම සිසුවියන් පැමිණ භාර වූ අවස්ථාවේදී ඔවුන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමටවත් නොහැකි ලෙස සිසුවියන් පහර කා සිටි බව පොලිසිය ප්‍රකාශ කළේය.

වහාම එම සිසුවියන් යාපනය ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර තිබේ.

පසුව පොලිසිය එම නේවාසිකාගාර පාලිකාව පෙරේදා (28දා) අත්අඩංගුවට ගෙන ඌර්කාවතුරේ මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව ඇය දින දෙකකට රිමාන්ඩ් භාරයේ තබන ලෙස නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා තමන් යාපනය ශික්ෂණ රෝහලට ගොස් සිසුවියන්ගේ තත්ත්වය සොයා බලන තෙක් කිසිදු බාහිර පුද්ගලයකුට එම සිසුවියන් හමුවීමට ඉඩ නොතබන ලෙස ද පොලිසියට නියෝග කොට ඇත.

සිසුවියන්ගේ දෙමව්පියන්ට ද සිසුවියන් හමුවීමට අවස්ථාවක් ලබා නොදෙන ලෙස ප්‍රකාශ කළ මහෙස්ත්‍රත්වරයා මේ සිද්ධිය සම්බන්ධයෙන් සිසුවියන්ගෙන් වෙන වෙනම ප්‍රකාශ ලබා ගෙන යාපනය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන්ගේ වාර්තා ද ඉතා සූක්ෂම තොරතුරු පවා ඇතුළත් වන ආකාරයට ලබා ගන්නා ලෙස පොලිසියට නියෝග කළේය.

ඒ අනුව යාපනයේ ඌර්කාවතුරේ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.

දිනසේන රතුගමගේ


advertistmentadvertistment