ගල්ඔය නැත්තම් අපිට වහ කන්නයි වෙන්නේ…
මම උක් වවලා ට්‍රැක්ටර් 03යි යාන වාහනයි ගත්තා…
එදා ටොෆියක් විකුණන්න බැරි හිඟුරානේ අපි අද වාහන විකුණනවා…
බොහොම පින් මැරිච්ච හිඟුරාණ සීනි යෝධයාට පණ දුන්නට….
මේ විදිහටම කන්තලේ සීනි යෝධයාටත් පණ දෙන්න….
සද්ධාතිස්ස රජ දවස සරුසාර වූ දිගාමඩුල්ල රටටම ආඩම්බරයකි. සේනානායක මැතිඳුන්ද දිගාමඩුල්ලට ජීවය දුනි. අමන කාලකණ්ණි වෘත්තිය සමිති නරුමයෝ හිඟුරාණේ සීනි යෝධයාගේ රීරි මාංශය උරා බී දිගාමඩුල්ලම නන්නත්තාර කර දැමූහ. බොහෝ දෙනකු තුන් වේලක් වෙනුවට එක් වේලක් කෑහ. දරුවන්ව සිප්හලට යැවීමට සපත්තු දෙකක් තබා පොතක් පෑනක් අරගන්නටවත් නොහැකි වූහ.
නමුත් මෙම කතාව සිහිනයකි. වසර ගාණක් මලකෑ. හිඟුරාණ සීනි යෝධයා කිසිදා නැඟිටිනු ඇතැයි කිසිවෙක් නොසිතූහ. රජයේ සහ පුද්ගලික අංශයේ සුසංයෝගයෙන් මහා අරුම පුදුම මහා විස්කමක් සිදුව ඇත. මේ එහි කොටසක් පමණි.
ඉතිහාසයේ ප්‍රථම වරට ගල්ඔයෙන් ගොවීන්ටත් බෝනස්.
ලංකාවේ බොහෝ වගාවන් ඇත. වී, බඩ ඉරිඟු, කහ, ගම්මිරිස් ආදී නෙක, නෙක වගාවන් බොහෝය. ඒවා සාධරණ මිලට වඩා ගොඩක් ආයතන තුට්ටු දෙකට මිලදී ගනී. ගොවීහු නන්නත්තාරය. නැවතත් ගොවීන් ගැන සොයා නොබලති. ඊළඟ කන්නයේ ගොවීන්ගේ අස්වැන්න කුණු කොල්ලයට මිලදී ගති. නමුත් ගල්ඔය වැවිලි සමාගම සිය ගොවියා රැකගන්නේ මහා සෙනෙහසිනි. ඔවුන් මෙවර අප්‍රේල් මස සිට මේ දක්වා උක් සැපයූ ගොවීන්ට අදාළ මුදල ගෙවා තිබියදී නැවතත් උක් ටොන් එකක් සඳහා රුපියල් 225ක අත්තිකාරම් බෝනස් මුදලක් ලබාදී තිබුණේ ගොවීන් ප්‍රීති ප්රමෝදයට පත් කරලමිනි. උදාවෙන අප්‍රේල් මාසයේදීත් නැවතත් ලබා දුන් අස්වැන්නටම තවත් බෝනස් මුදලක් අලුත් අවුරුද්දේ දෙන්නට සැරසෙති. රටම කඩා වැටී ඇත. මලකෑ වැසුනු කම්හලක් විස්මකර්මයන් පිරිසක් එක්ව ගොඩගෙන තිබේ. ලාභ ලබා සේවකයන්ට පමණක් නොව ගොවීන්ටද බෝනස් දී ඇත. නැවතත් දිගාමඩුල්ලම සශ්‍රීක කරමින් නව වංශ කතාවක් ගල්ඔය රන් අකුරෙන් සනිටුහන් කර තිබේ.
පැරණිම උක් ගොවියෙක් වන මුවංගල සී.පී.ටී. පෙරේරා මහතා –
හිඟුරාණ සීනි ඉතිහාසයේ කවමදාවත්ම ගොවීන්ට උක්වලට ගෙවීම් කළාට පස්සේ කිසිම බෝනස් මුදලක් දීලා නැහැ. වෙනත් වගාවකට එහෙම බෝනස් මුදලක් දීලත් නැහැ. අනෙක් වගාවන් කරද්දි හාන්න, බීජවලට තෙල් පොහොරවලට මුදල් නොමැතිව ගොවීන් අන්ත අසරණ වෙනවා. උක් වගාවේදී ගොවීන්ට බිම් සැකසීම, බීජ හා තෙල් පොහොර ලබාදීම, වැනි දේවල් ආයතනය මගින් කන්න තුනකින් 8%ක් වැනි සහනදායක පොළියකට සිදු කරලා දෙනවා. ඒ වාගේම බැකෝ යන්ත්‍ර යොදලා පොළව ලෙවල් කිරීම, ඇළවල් සහ මාර්ග ප්‍රතිසංස්කරණය, බෝක්කු සැකසීම, උක් ප්‍රවාහනයේදී ටේ්රලර් රථ එරුණු විට බැකෝ යන්ත්‍ර යොදා ඒවා ගොඩ ගැනීම වැනි කටයුතු නොමිලේ සිදු කරනු ලබනවා. උක් වගාවන් ආරක්ෂා කරන්න අලි මුර සේවා 70ක් යොදවා තිබෙන නිසා අලින්ගෙන් වගාවන් මෙන්ම ගම්මානත් බේරෙනවා.
මම උක් අක්කර 30ක් වගා කළා. හොඳ ආදායමක් ගත්තා. මම ට්‍රැක්ටර් රථ 03ක් මිලදී ගත්තා. තවත් යාන වාහන ගත්තා. කඩේ කොම්පෝස්ට් කිලෝවක් රුපියල් 40ත් 60ත් අතර විකුණද්දී ගල්ඔයෙන් අපිට ඉතා හොඳ කාබනික පොහොර කිලෝවක් රුපියල් 11 බැගින් දෙනවා. හිඟුරාණ සීනි ඉතිහාසයේ හොඳම කාලය තමා මේ. මේ ආකරයට පුදුමාකාර සහන ගොඩක් ගොවීන්ට ලබා දෙනවා. උක් වගාවේදී ගොවීන්ට අතේ සල්ලි නොමැති වුණත් ඉතා හොඳින් වගාව කරන්න පුළුවන් වෙලා තියෙනවා. ගල්ඔය නොමැතිනම් ගොවීන්ට වහ කන්නයි වෙන්නේ. ඉතිහාසයේ ප්‍රථම වතාවට ගොවීන්ට බෝනස් මුදලක් ලබා දුන්නට බොහොම ස්තුතියි. යනුවෙන් පෙරේරා මහතා පවසා සිටියේය.
අම්පාර දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරි උක්සිරිපුර විදුහලේ විදුහල්පති පූජ්‍ය ඇතිමලේ ආනන්ද හිමියන් මෙලෙස අදහස් දැක්වූහ.
මේ ආයතනයේ ශක්තිය තමයි ගොවීයා. එම නිසා ගොවීන් දිරිමත් කරන්න ඉතිහාසයේ ප්‍රථම වතාවට මේ ආකාරයේ ගොවීන්ට බෝනස් මුදල් ප්රදානය කිරීම ඉතා හොඳ තීරණයක්. ඒ වාගේම දිගාමඩුල්ල මිටියාවතේ අද ජීවනාලිය බවට පත් වෙලා තිබෙන්නේ ගල්ඔය වැවිලි සමාගම, වෙහෙර විහාර, පල්ලි සහ දේවස්ථානවලටත් බේදයකින් තොරව උපකාර කරනවා. පාසල් 30කට ආසන්න ප්‍රමාණයකට පෝෂණයෙන් සපිරි දරු පරපුරක් උදෙසා දිවා ආහාරය නොමිලේ ලබා දෙනවා. පාසල්, පෙර පාසල් ඇතුළු සමිති සමාගම්වලටත්, ක්‍රීඩා පිටි පිළිසකර කරමින් මේ වන විට දිගාමඩුල්ලේ ක්‍රීඩාව ඔසවා තබන්නටත් ඒ වාගේම සංස්කෘතික කටයුතු ඇතුළු බොහෝ වැඩසටහන්වලට අද ගල්ඔය වැවලි සමාගම සිය දායකත්වය නිරන්තරයෙන් ලබා දෙනවා. කොරෝනා උවදුරු සමයේත් වත්මන් තෙල් අර්බුදය හමුවේත් ලංකාවේම කර්මාන්ත ශාලා වැහෙද්දී ගල්ඔය වැවිලි අඛණ්ඩව නිෂ්පාදන කටයුතු සිදුකළා. සේවකයන්ටත් මෙවර වැටුප් 08ක දැවැන්ත බෝනස් මුදලක් ලබා දුන්නා. ගොවි පවුල් දස දහසක්, සේවකයන් 1300ක් රැක ගනිමින් වක්‍ර රැකියා හතළිස් දහසක් ඇති කරමින් ගල්ඔය අද දිගාමඩුල්ලේ ජීවනාලිය බවට පත්ව තිබෙනවා යැයි ඇතිමලේ ආනන්ද හිමියෝ පැවසූහ.
නැගෙනහිර සුරකීමේ සංවිධානයේ සභාපති සහ අම්පාර ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරි පූජ්‍ය ගම්පහ නාරද හිමියන් මෙලෙස කීහ.
සේනානායක ශ්‍රීමතාණන් ගල්ඔය ව්‍යාපාර හදලා ජන ජීවිතය සුවපත් කළා වගේ ඉෂාර නානායක්කාර මහතා හිඟුරාණ සීනි සමාගම පටන් අරන් නැවතත් දිගාමඩුල්ල ජනතාවට ජීවය දුන්නා. අලසකම කම්මැලිකම, කුසිතකම, නිද්‍රාශීලී බව, සභාශීලී බව වෙනුවට උත්සාහය උනන්දුව කැපවීම තුළින් අරමුණු ජයගැනීම සඳහා එක අම්මගේ දරුවෝ ලෙසින් දත් තිස් දෙක මැද්දේ දිව වගේ හැපෙන්නේ නැතිව විකෙන්නේ නැතිව විධායක අධ්යක්ෂ දනේෂ් අබේරත්න, ප්‍රධාන මෙහෙයුම් නිලධාරි සුරත් පෙරේරා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි වරුණ මදුෂාන් වැනි නිලධාරි මහත්වරුන්ගේ දිවා රෑ නොබලා කරනා මඟපෙන්වීම මත සියලුම නිලධාරීන් සහ සේවකයන් හා එක්ව ගල්ඔය යෝධයාට ඔක්සිජන්, සේලයින් දීලා, පණදීලා ජනතාව රැකගැනීම නිසා අපේ උපහාරය පිළිගන්වනවා. තවමත් දශක ගණනක සිට මලකඩ කන කන්තලේ සීනි සමාගම මේ ආකාරයෙන් වැඩ පටන් අරන් එදා වේල හොයා ගන්න බැරිව අන්ත අසරණ වෙලා ඉන්න කන්තලේ ජනතාව රැකගන්න කියලා අපි ඉෂාර නානායක්කාර මහතාගෙන් ඉල්ලීමක් කරනු ලබනවා යනුවෙන් පූජ්‍ය ගම්පහ නාරද හිමියන් කීහ.
නානායක්කාර සමූහ ව්‍යාපාරයේ අධිපති නාලක නානායක්කාර මහතා –
හිඟුරාණ සීනි සමාගම වැහුණ කාලයේ හවස් වෙද්දි ටොෆියක් තියා බුලත් විටක්වත් විකුණගන්න බැරිවුණා. දැන් අපි හිඟුරාණේ වාහන පවා විකුණනවා. අද ගල්ඔය වැවිලි සමාගම නිසා මාසයකට සේවකයන්ට, ගොවීන්ට, උක් ප්‍රවාහනය කරන අය ඇතුළුව විවිධ සේවා සපයන්නට කෝටි ගණනින් මුදල් ලැබෙනවා. ඒ නිසා හිඟුරාණ පමණක් නොව අම්පාරත් සරු වෙලා. වඩා ලාභ ගන්න අම්පාරේ ව්‍යාපාරිකයන් වෙළෙඳ ආයතන, බැංකු වැනි ආයතන පවා හිඟුරාන නගරයේ ආරම්භ කරනවා. එදා හිඟුරානේ රුපියල් පන්දාහට හයදාහට දෙන්න බැරි වුණ අඩි දහයයි දහයේ කඩ කාමර දැන් රුපියල් පහළොස් දාහට කුළියට දෙන්නේ. ඒ වාගේම මා දන්නා තරමින් ගොවීන්ටත් බෝනස් දෙන එකම ආයතනය ගල්ඔයයි. මේ දවස් වල මාගේ ව්‍යාපාරික ආයතනයට එන බොහෝ ගොවීන් දෙයියෝ දුන්න වගේ අපිට ගල්ඔයෙන් බෝනස් එකක් දුන්නා. ඒ නිසා ළමයින්ට අලුත් අවුරුද්දේ පොත් ටික අරන් දෙන්න පුළුවන් වුණා යැයි ගල්ඔයට පින් දිදී යන්නේ. එල්.ඕ.එල්.සී. සමාගමටයි, බ්‍රවුන්ස් සමාගමටයි බොහොම ස්තුතියි අම්පාර ආයෙත් ගොඩගත්ත එකට යැයි නාලක නානායක්කාර මහතා පැවසුවේය.
මිටියාවතේම ජනී ජනයාගෙන් ඇසෙන්නේ මෙවැනි කතාය. රටම ඇද වැටෙද්දී මේ ලියවෙන්නේ ගල්ඔය විස්කමය. දිගාමඩුල්ලේ ආඩම්බරය ගැනය. පිබිදුන ජන ජීවිතය ගැනය. නමුත් වැසූ කම්හල් මෙලෙස පුද්ගලික ව්‍යාපාර ඥාණයෙන් රජයත් හා එක්ව ගොඩගත හැකි බව පාලකයන්ගේ පොට්ටව ගිය දෑසට නොපෙනීම ජාතියේම කරුමයකි. වැසී ගිය කම්හල් අරින්නට අල්ලසම ඉල්ලා වලි කන ත්‍රාඩ නිලධාරීන්ට විදුලි පුටුවේ හින්දන්නට දැනටද පමා වැඩිය. හිඟුරාන පිබිදී ඇත. කන්තලේ යෝධ මලයත් හිඟුරාන අයියා මෙන් පිබිදුන දිනක කන්තලේ ජනයාගේ මුවින්ද මෙලෙස සිනහ මල් පිබිදෙනු ඇත. එවිට නැගෙනහිර පමණක් නොව රටම පිබිදෙනු ඇත.
සුසන්ත අමර බන්දු