ගෝලීය පුරාවෘත්තයක අවසානය

76

“සෑම සංගීත භාණ්ඩයකම ඒවාට අවශ්‍ය දේ සන්නිවේදනය කිරීම සඳහා ඔබ හා සම්බන්ධ වන ආත්මයක් ඇත. තබ්ලාවෙන් මා සොයන්නේද මා හා සන්නිවේදනය කරන්නට සැරෙසෙන ඒ ආත්මයයි.”

සංගීතය සම්බන්ධයෙන් වන මෙම සෞන්දර්යාත්මක කියමන ඉදිරිපත් කරන ලද්දේ ලෝක පූජිත ඉන්දියානු තබ්ලා වාදකයකු වූ උස්තාද් ශකීර් හුසේන්ය. ඉන්දියාවට පමණක් නොව ශකීර් හුසේන් යනු සර්ව භෞමික ගණයේ සංගීතවේදියෙක් ලෙස අපට විතර්කිකව හැඳින්විය හැකිය. ඔහු ගැන නොදන්නා පාසල් සංගීතය හදාරන සිසුවකු පවා සොයාගැනීම උගහට වන්නේ පාසල් සංගීතයේදී උස්තාද් ශකීර් හුසේන් නම් වූ ඒ අනගිභවනීය චරිතය පිළිබඳව නිරන්තරයෙන් කතාබහට ලක්වන නිසාය. ඔහු මැවූ තබ්ලා වාදනයන් සංගීතය හදාරනා කවුරු නමුත් දැන සිටිය යුතුම වන නිසාය. නමුත් ශකීර් හුසේන් නමැති එම සංගීත පෞරුෂයේ නම තවත් දශක ගණනක් පුරා පොත් පිටු අතර කියවුණද භෞතිකව ඔහු තවදුරටත් අප අතර නොමැත. ඇතැම්විට ඔහු වැයූ තබ්ලාව හරහා තබ්ලාවේ ආත්මය සොයා යන්නට ඇත. පසුගිය 15 වැනි සඳුදා අළුයම සැන් ෆ්‍රැන්සිස්කෝහි රෝහලකදී පෙනහළු ආශ්‍රිත රෝගයක් වන ඉඩියෝපැතික් පැල්මනරි ෆයිබ්‍රොයිස් නම් වූ රෝගයෙන් ඔහු මෙලොව හැර ගිය බව ඔහුගේ පවුලේ සාමාජිකයන් ප්‍රකශයක් නිකුත් කරමින් පැවසූහ.

1951 මාර්තු 09 වැනිදා ශකීර් හුසේන් උපත ලැබුවේ ඉන්දියාවේ මුම්බායි නගරයේය. හුසේන්ගේ ජීවිතය ආරම්භයේ පටන්ම කැරකුණේ රිද්මයක් වටාය. කුඩා කල පටන්ම ඔහුට ඇසුණේ තබ්ලා හඬයි. ඒ ඔහුගේ පියාද එවක ඉන්දියාවේ සිටි වඩාත්ම කැපී පෙනුණු තබ්ලා වාදකයකු නිසාය. ඔහු උස්තාද් අල්ලරක්කායි. ශකීර් යනු ඔහුගේ වැඩිමල් පුත්‍රයාය. ශකීර් ප්‍රවීණ තබ්ලා වාදකයකු මෙන්ම සංගීත නිෂ්පාදකයෙකි. නළුවෙකි. ඔහු සිය ජීවිතයේ පළමු ප්‍රාසාංගික ඉදිරිපත් කිරීම සිදුකරනු ලැබුවේ වයස අවුරුදු 7 දී බව වාර්තාවල සඳහන් වේ. එමෙන්ම වයස අවුරුදු 12 සිටම රවි ශංකර්, අලි අක්බර් ඛාන්, ශිව්කුමාර් ශර්මා වැනි ඉන්දියානු සම්භාව්‍ය සංගීතයේ පුරාවෘත්තයන් බඳු වූ චරිත සමග ගෝලීය වශයෙන් ප්‍රසංගවලට ද දායක විය.

ඉන්දියාවේ කලාකරුවකු වෙනුවෙන් ජීවිතයේ එක් වතාවක් පමණක් පිදෙන පද්ම ශ්‍රී සම්මානයෙන් ද ඔහු පිදුම් ලැබුවේය. ඒ 1988 වසරේදීයි. එමෙන්ම 2002 වසරේදී පද්ම භූෂන් සම්මානයෙන්ද, 2023 වසරේදී පද්ම විභූෂන් සම්මානයෙන් ද උස්තාද් ශකීර් හුසේන් පිදුම් ලැබීය. සංගීත කර්මාන්තයේ විශිෂ්ට කාර්ය සාධනයන් වෙනුවෙන් පිරිනැමෙන ජාත්‍යන්තර ගෞරව සම්මානයක් වන ග්‍රැමී සම්මානය වෙනුවෙන් ඔහු හත් වතාවක් නිර්දේශ විය. ඉන් සම්මාන හතරක් ඔහු ජයග්‍රහණය කළේය.

ඔහුගේ බිරිඳ වන්නේ කතක් නර්ථන ශිල්පිණියක සහ ගුරුවරියක වූ ඇන්ටෝනියා මිනෙකොලාය. ශකීර් හුසේන් මියයන තෙක්ම ඔහුගේ ආදර බිරිඳගේ වගකීම මෙන්ම කළමනාකාරවරියගේ තනතුර දැරුවේද ඇයයි. ඔවුන්ට දියණියන් දෙදෙනෙකි. අනීෂා කුරේෂි සහ ඉසබෙලා කුරේෂි එම දියණියන්ය. නමුත් ඔවුන් දෙදෙනාගෙන් කිසිවකුත් සංගීතයට සම්බන්ධතාවයක් නැත. ඉන් වැඩිමහල් දියණිය චිත්‍රපට අධ්‍යක්ෂණය පිළිබඳ උපාධියක් මෙන්ම බාල දියණිය නර්ථනය පිළිබඳ උපාධියක් හදාරා ඇත.

තබ්ලාව වැනි ඒකල සංගීත භාණ්ඩයක් වෙනුවෙන් ගෝලීය වේදිකාවක් නිර්මාණය කළ ඔහු සුළුපටු පුද්ගලයකු නොව. ඔහුගේ වියෝව අල් ජසීරා පුවත් සේවය වාර්තා කර තිබුණේ ශකීර් යනු ඔහුගේ කාලයේ ඉන්දියාවේ සිටි විශිෂ්ටතම තබ්ලා වාදකයා ලෙසය. උස්තාද් ශකීර් හුසේන්ගේ මරණය යුගයක අවසානයක් සනිටුහන් කළද ගෝලීය සංගීත චාරිකාවේ ඔහු තබා ඇත්තේ නොමැකෙන සළකුණකි. පැණි කුරුල්ලෙකු පියාපත් සලනා වේගය මෙන් නොපෙනෙන තරම් වේගයකින් ඇඟිලි චලනය කරමින් තබ්ලාව වැයූ ඔහු චිරාත් කාලයක් පුරාවට ඉන්දියානුවන්ගේ පමණක් නොව සංගීතයට ලොල් ලෝ වටා සැමගේම හදවත් තුළ ජීවමාන වනු ඇත.

එරංදි කෞශල්‍යා මද්දුම


advertistmentadvertistment