මීට වසර දහයකට පෙර එනම් 2014 දී ටිබෙටයේ අධ්‍යාත්මික නායක දලයි ලාමා සමග ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා ධවල මන්දිරයේදී සාකච්ඡාවක් පැවැත්වීම චීනයේ බලවත් කෝපයට හේතු විය. මේ නිසා වහාම ක්‍රියාත්මක වූ චීන ආණ්ඩුව බෙයිජින් හි ඇමෙරිකානු තානාපතිවරයා කැඳවා සිය අප්‍රසාදය පල කර තිබිණි. දලයි ලාමාතුමන් සමග පැවති හමුවේදී ටිබෙටයේ මානව හිමිකම් සුරැකීම වෙනුවෙන් තම පූර්ණ සහයෝගය දෙන බව ජනාධිපති ඔබාමා පවසා තිබිණි. දලයි ලාමාතුමන් සමග සාකච්ඡා පැවැත්වීම දෙරටේ සබඳතා දැඩි ලෙස පළුදු කිරීමට හේතුවක් වියහැකි බවට චීනය විසින් ඇමෙරිකාවට අනතුරු අඟවා තිබියදීය. වොෂින්ටනය මෙම හමුවීම සංවිධානය කළේ චීන ආණ්ඩුවට රිදවීම පිණිසමය. චීන විරෝධය නිසා ධවල මන්දිරය පැවසුවේ දලයි ලාමාතුමන් පැමිණියේ ජාත්‍යන්තර කීර්තියට පත් ආගමික හා සංස්කෘතික නායකයකු ලෙස මිස රාජ්‍ය නායකයකු ලෙස නොවන බවයි. හිටපු ජනපති බැරක් ඔබාමා හා අධ්‍යාත්මික නායක හමුවට වසර දහයක් ගෙවෙද්දී චීනය කෝපයට පත්කරන සිදුවීමක් යළිත් අසන්නට ලැබිණි. ඒ ඇමෙරිකාවේ හිටපු කථානායක නැන්සි පොලෝසි ඇතුළු පිරිසක් ඉන්දියාවේ ධර්මසාලා වෙත ගොස් දලයි ලාමාතුමන් හමුවීමය. 2022 දී නැන්සි පොලෝසි තායිවානයට ගොස් චීනයට විරුද්ධව වහසිබස් දෙඩුවාය. මේ නිසා චීනය තායිවානය වට කරමින් යුද අභ්‍යාස පවත්වා රතු එළි දැල්වූ බව අපට මතකය. මේ හිටපු කථානායිකාවරිය දලයි ලාමා හමුවීමෙන් පසුවද ප්‍රහාර එල්ල කළේ චීන නායකයාටය. පසුගිය මාස කිහිපයේ ඇමෙරිකාව හා චීනය සිය සබඳතා වැඩිදියුණු කර ගැනීමට උත්සාහ කරන මොහොතක දලයි ලාමා සමග ඇමෙරිකානු නීති සම්පාදකයන්ගේ රැස්වීම බීජිං ආණ්ඩුව කුපිත කර තිබේ. දලයි ලාමා 1989 නොබෙල් සාම ත්‍යාගලාභියා වුවද චීන ආණ්ඩුව ඔහු සලකන්නේ “බෙදුම්වාදියකු” ලෙසයි.

පසුගිය අඟහරුවාදා පැවති හමුවෙන් පසුව ඇමෙරිකානු සෙනෙට් සභික මයිකල් මැකෝල් පැවසුවේ, “යම් දවසක දලයි ලාමා සහ ඔහුගේ ජනතාව සාමයෙන් ටිබෙටයට පැමිණෙනු ඇතැයි යන්න තවමත් මගේ බලාපොරොත්තුව බවයි. ඔහු ඇමෙරිකානු දූත පිරිසේ ප්‍රධානියා ලෙස කටයුතු කළේය” ටිබෙටය චීනයේ කොටසක් ලෙස පිළිගැනීමට සහ ‘ටිබෙටයේ ස්වාධීනත්වයට’ සහය නොදැක්වීම යන කරුණුවලට අවනත වන ලෙස තමන් ඇමෙරිකාවෙන් ඉල්ලා සිටින බව නැන්සි – දලයි ලාමා හමුව පිළිබඳව ප්‍රතිචාර දක්වමින් චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශකයා සඳහන් කර තිබිණි. එසේම ටිබෙටයට සම්බන්ධ කටයුතු චීනයේ අභ්‍යන්තර කාරණයක් බවත් චීනය සිය ස්වෛරීභාවය, ආරක්ෂාව සහ සංවර්ධන අවශ්‍යතා ආරක්ෂා කිරීමට “අධිෂ්ඨානශීලී පියවර” ගන්නා බවත් අවධාරණය කර තිබිණි.

88 හැවිරිදි දලයි ලාමා සිය දණහිස් සඳහා වෛද්‍ය ප්‍රතිකාර සඳහා මේ මාසයේ ඇමෙරිකාවට යන අතර එම ගමනේදී ඇමෙරිකානු රජයේ ප්‍රධානීන් හමුවන්නේද යන්න ප්‍රකාශ කර නැත. කවරක් නමුත් ටිබෙටය සමග ආතතීන් විසඳීමට සහ කලාපයේ සංස්කෘතිය ආරක්ෂා කිරීමට චීනයට බලපෑම් කිරීම සඳහා වූ පනතක් බලාත්මක කිරීමට ජෝ බයිඩන් පාලනය කටයුතු කර ඇත. ඉදිරි පියවරක් ලෙස මේ හමුව සිදු විය.

පසුගිය වසරේදී ශ්‍රී ලංකාවෙන් වැඩම කළ බෞද්ධ දූත පිරිසක් ටිබෙටයේ අධ්‍යාත්මික නායක දලයි ලාමාට මෙරටට පැමිණෙන ලෙස කළ ආරාධනයක් පිළිබඳව බරපතළ ආන්දෝලනයක් ඇති විය. දලයි ලාමා ශ්‍රී ලංකාවේ සංචාරය කළහොත් මේ වනවිට රටක් වශයෙන් ශ්‍රී ලංකාව මුහුණ දෙන ආර්ථික අර්බුදයෙන් ගොඩඒමට යම් හිතකර තත්ත්වයක් උදාවෙනු ඇති බවට ශ්‍රී සම්බුද්ධ ශාසනෝදය සංඝ සභාවේ මහානායක අතිපූජ්‍ය වස්කඩුවේ මහින්දවංශ නාහිමියන් පැවසූ බවට ඒ දිනවල ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබිණි. එහෙත් මේ සංචාරය සිදු නොවූ අතර ලංකා ආණ්ඩුවට දලයි ලාමාට වීසා දීමට නොහැකිය. මන්ද කිසි ලෙසකින් චීනය අමනාප කරගැනීම සිදු කළ නොහැකි නිසාය. එම නිසා ටිබෙටයේ අධ්‍යාත්මික නායකයාට මෙහෙ එන්නට වරම් නැත. ටිබෙට් නායකයාට කළ ඇරයුම නිසා ද විදේශ අමාත්‍යාංශය අර්බුදයකට ලක්විය. ඇත්තෙන්ම ටිබෙට් නායකයා ලංකාවේ බෞද්ධයන් කෙරෙහි විශේෂයක් දැක්වූ අයෙක් නම් නොවේ. 2019 ජුනි මාසයේදී මුස්ලිම්වරුන් සම්බන්ධ අස්ගිරි මහනාහිමි කළ ප්‍රකාශය හෙළා දකින බව දලයි ලාමා ප්‍රකාශ කර තිබිණි.” මම බෞද්ධයෙක්. මගේ විශ්වාසය තිබෙන්නේ බුද්ධාගම කෙරෙහි. නමුත් මම අන් සියලු සම්ප්‍රදායන්ට එක සමානව ගරු කරනවා,” යනුවෙන් දලයි ලාමා පවසා තිබුණේ අස්ගිරි හිමියන් කළ ප්‍රකාශයකට එරෙහිවය. පසුගිය කාලය පුරාම දලයි ලාමා මෙරට බෞද්ධයන් විවේචනය කළා මිස කිසිම අගය කිරීමක් නොකළ බව පැහැදිලි ඇත්තකි. එසේම බුරුමයේ ථෙරවාදීන්ට එරෙහිවද නොයකුත් ප්‍රකාශ කළ අපට මතකය. 2019 දී, දලයි ලාමා බීබීසීය සමග කළ සම්මුඛ සාකච්ඡාවක දී අනාගත ස්ත්‍රී දලයි ලාමාවරියක් වේ නම් ඇය “ආකර්ශනීය” විය යුතු යැයි පැවසූ අතර, පසුව අධ්‍යාත්මික නායකයාගේ කාර්යාල මේ ප්‍රකාශය ගැන උන්වහන්සේ වෙනුවෙන් සමාව ඉල්ලා තිබිණි.

ඇමෙරිකානු නියෝජිත කණ්ඩායම ධර්මසාලා වෙත ගිය දිනයේම චීන ජනපති ෂී ජින්පින් වයඹ දිග චීනයේ ටිබෙට් බෞද්ධ විහාරයක් වෙත ගිය පුවතක් එරට මාධ්‍ය මගින් වාර්තා කර තිබිණි. ටිබෙටය නිසා යළිත් ඇමෙරිකානු – චීන ආරවුලක් මෝදු වන විට සමග චීන ජනාධිපති ටිබෙට් බෞද්ධ උරුමය සමග සම්බන්ධ වීමට සංඥා කර තිබේ. ටිබෙට් බුදුදහමේ “රටට සහ ආගමට දෙකටම ආදරය” යන සම්ප්‍රදාය ශක්තිමත් කිරීම සඳහා චීන නායකයාගේ අවධානය යොමුව තිබේ. චීනයේ බෞද්ධ විහාර තිස්තුන්දාහක් ඇති අතර එරට වෙසෙන භික්ෂූන් ප්‍රමාණය ලක්ෂ දෙක ඉක්මවයි. චීනයේ සිට පැමිණි ෆාහියන් හිමි මෙරට මුල්ම සංචාරකයා ලෙසද හඳුන්වනු ලබයි. අභයගිරි විහාරය සම්බන්ධයෙන් හැදෑරීමට ඇති වැදගත්ම මූලාශ්‍රය වශයෙන් ෆාහියන් වාර්තාවයි. ක්‍රි. ව. 410-412 අතර කාලයේදී ශ්‍රී ලංකාවට පැමිණි අනුරාධපුර අභයගිරි විහාරයේ වසර දෙකක් වැඩ සිටි චීන ජාතික ෆාහියන් හිමියන් පෙරළා චීනයට යෑමෙන් පසුව උන්වහන්සේ විසින් රචිත දේශාටන වාර්තාව තුළින් අභයගිරි විහාරයේ සමෘද්ධිය, අධ්‍යාපන තත්ත්වය, ආගමික කටයුතු වැනි වැදගත් තොරතුරු රැසක් හෙළිකර ඇත. එමඟින් මෙම විහාරය ක්‍රි. ව. 05 වන සියවසේ ලබා තිබූ දියුණුව මනාව පෙන්නුම් කෙරේ. ෆාහියන් හිමි පවසන ආකාරයට රජුගේ අනුග්‍රහය යටතේ අභයගිරියේ භික්ෂූන් වහන්සේලා 5000 ක් වැඩ සිටි බව දක්වයි. මෙම සංඛ්‍යාව අතිශයෝක්තියක් නොවන බව පුරාවිද්‍යාත්මක සාධක අනුව තහවුරු වී ඇත. චීනය සහ ශ්‍රී ලංකාව අතර සංස්කෘතික සබඳතා ගොඩනැඟීමට බෞද්ධාගම හා වෙළෙඳ සබඳතා ප්‍රධාන වශයෙන්ම බලපා ඇති බව පෙනීයයි. ඒ අනුව ශ්‍රී ලංකාව චීනය සමග සමීප සංස්කෘතික සබඳතා පැවැත් වූ බව චීන සාහිත්‍ය මූලාශ්‍ර සහ පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර තුළින් පැහැදිලිව තහවුරු වේ. එබැවින් දෙරට අතර ද්වීපාර්ශ්වික වශයෙන් සබඳතා ඇති වීම කෙරෙහි මෙකී සංස්කෘතික සබඳතා හේතු වූ බව පැහැදිලිය.

ශ්‍රී ලංකාවේ 7 වැනි නිදහස් දින සමරුවට සහභාගි වීමට ලංකාවට ගිය චීන අගමැති චව් එන් ලයි මහතා සම්බන්ධ සිදුවීමක් දෙරටේ ජනතා හදවත් තුළ මුල් බැස ගෙන තිබේ. නිදහස් දිනය වෙනුවෙන් චීන අගමැතිවරයා ලංකාවේ ජනතාව ආමන්ත්‍රණය කරමින් සිටින විට ධාරානිපාත වර්ෂාවක් ඇද හැලෙන්නට පටන් ගෙන තිබේ. ඒ අසළ සිටි ආරක්ෂකයකු චීන අගමැතිවරයාට කුඩයක් ඇල්ලීමට සැරසුන අවස්ථාවේ අගමැතිවරයා ප්‍රකාශ කළේ, මහ ජනතාව වැස්සෙන් තෙමෙන විට මට කුඩයක් අවශ්‍ය නැත. මම ද මහජනතාව මෙන්ම වැස්සෙන් තෙමෙමි, යන්නයි.

චීන ලංකා සබඳතා අවුල් කිරීම සඳහා පිරිසක් උත්සහ කරන බව පෙනී ගියේ ටිබෙටයේ අධ්‍යාත්මික නායක දලයි ලාමාට මෙරටට කළ ආරාධනය මගිනි. මේ පිටුපස තවත් විදේශ බලවේගයක් සිටින බව රහසක් නොවේ. කවර හේතුවක් මත වුවත් අප චීන බලවතා අමනාප නොකරගත යුතුය. එය ඛේදයක්ම වන්නේය. චීනය දුකට සැපට මෙන්ම සෑම අවස්ථාවකදීම ලංකාව වෙනුවෙන් පෙනී සිටින ලොව බලවතාය. ආර්ථික අර්බුදය සමයේ චීන බෞද්ධ පිරිස් ද මෙරටට ආධාර කර තිබිණි. ෆාහියන් පදනම හරහා එවූ ඩොලර් මිලියනයක මුදලින් වියළි ආහාර මලු පනස් දහසක් බෙදා දීම සිදු විය. එම කටයුත්ත ආරම්භ කෙරුණේ අභයගිරි විහාරයෙනි. වර්තමානයේ අභයගිරි විහාරයේ චීන බෞද්ධයන් විසින් ඉදිකළ ෆාහියන් හිමියන්ගේ පිළිරුවක්ද දක්නට ලැබේ. ෆාහියන් භික්ෂුව ශ්‍රී ලංකාව හැඳින්වූයේ ‘සිංහ දේශය’ යනුවෙනි. ‘සිංහ මකර’ සම්බන්ධය සදාකල් සුරැකිය යුතුය.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment