තායිවාන හමුදාව සීරුවෙන්
චීනය තායිවානයට ඇඳා ගැනීමට ඉඩ නොදෙන බවට තායිවාන ජනාධිපති විලියම් ලායි විසින් සිදු කර තිබූ ප්‍රකාශයට ප්‍රතිචාරයක් වශයෙන් චීනය ඊයේ (14දා) දිනයේ තායිවාන දූපත වටා සිය යුද නැව් හා ප්‍රහාරක ජෙට් යානා යොදාගෙන යුද අභ්‍යාසවල නිරතව සිටි බව වාර්තා වේ. චීනය විසින් සිදු කර ඇති මෙම යුද අභ්‍යාසය ස්වයං පාලනයක් පවතින තායිවානය සිය රටෙන් නිදහස් කරගැනීමට කටයුතු කරන්නන්ට එරෙහිව නිකුත් කළ අනතුරු ඇඟවීමක් ලෙස දේශපාලන විචාරකයන් විසින් හඳුන්වා දී තිබේ.
චීනයේ මෙම නවතම යුද මෙහෙයුම හේතුවෙන් එරට හා තායිවානය අතර පවතින පළුදු වූ සබඳතා තවත් නරක අතට හැරෙන ලකුණු පහළ වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. චීනයේ මෙම යුද අභ්‍යාසය හෙළා දැක ඇති තායිවාන රජය ඕනෑම අවස්ථාවකට මුහුණ දීම සඳහා සිය හමුදාවන් මුහුදේ හා ගුවන් කලාපයේ ස්ථානගත කර සිටින බව අවධාරණය කර තිබේ. චීනය තායිවානය වටා සිදු කර ඇති නවතම යුද අභ්‍යාසයට හේතු වී ඇත්තේ චීනයට කිසි දිනක තායිවානයේ මාතෘ භුමිය වීමට නොහැකි බවට තායිවාන ජනාධිපතිවරයා විසින් ඉකුත් සතියේ සිදු කළ ප්‍රකාශය බව වාර්තා වී තිබේ. මේ අතර තායිවානයේ මිතුරා වන ඇමරිකා එක්සත් ජනපදය තමන් පවතින තත්ත්වය නිරීක්ෂණය කරමින් සිටින බව පවසා තිබේ. මේ අතර තායිවානයට ඇමරිකාව විසින් ලබාදෙන සහය සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති චීනය පවසා ඇත්තේ ඇමරිකාව තායිවානය සන්නද්ධ නොකර චීනයේ ඒකීය චීන ප්‍රතිපත්තිය පිළිගත යුතු බවයි.