සියලු වගකීම් තිබුණේ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශයට
ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස
සැකකරු නොකළ යුතු දෙයක් කිරීම නිසා
රජයට කෝටි 130ක් පාඩු වුණා: කිසිම වගකීමක් නෑ කියා දැන් ඇඟ බේරාගැනීමට බැහැ
අල්ලස් කොමිසම
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ චීන සමාගමකින් ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර ගෙන්වා රජයට රුපියල් කෝටි 130ක් පාඩු කිරීම සම්බන්ධයෙන් පවරා ඇති නඩුවේ සැකකරුවකු ලෙස නම් කර සිටි හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ලබන 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය ඊයේ (19දා) නියෝග කළාය.
අත්අඩංගුවට ගැනීමට නිකුත් කළ වරෙන්තුව ආපසු කැඳවා සැකකරු අපේක්ෂිත ඇපමත මුදාහරින ලෙසට මහින්දානන්ද අලුත්ගමගේ මහතා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය එම නියෝගය කළාය. සැකකරුට එරෙහිව එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන කඩිනමින් අවසන් කර ඉදිරි නඩු දිනය වනවිට විමර්ශනවල ප්‍රගතිය තම අධිකරණයට වාර්තා කරන ලෙසට ද ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට නියෝග කළාය.
එම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන සඳහා අවශ්‍ය ප්‍රකාශ සටහන් කිරීමට පසුගිය 14 වැනිදා කොමිසම හමුවේ පෙනී සිටින ලෙසට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව සිය සේවාදායකයාට දන්වා එවූ බවත් අවශ්‍ය ලේඛන සකස් කරගැනීම සඳහා කල්වේලාව අවශ්‍ය බැවින් වෙනත් දිනයක් ලබාදෙන ලෙසට ලිඛිතව දන්වා තිබියදීත් අල්ලස් කොමිෂන් සභාව නිසියාකාරව අධිකරණයට කරුණු වාර්තා නොකර පසුගිය 15 වැනිදා ඔහු අත්අඩංගුවට ගැනීමට එම වරෙන්තු නියෝගය ලබාගෙන ඇතැයි සැකකාර මහින්දානන්ද අලුත්ගමගේ මහතා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා පැවසීය. එසේ නම් මැයි 19 වැනිදා අල්ලස් කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින්නැයි එම කොමිෂන් සභාව විසින් 14 වැනිදා පස්වරුවේ දුරකථන ඇමතුමක් ලබාදී තිබියදීත් සිය සේවාදායකයා කොමිෂන් සභාව මගහැර විමර්ශනවලට සහය නොදක්වන බව දන්වා පසුදින අධිකරණයෙන් වරෙන්තු ලබාගැනීම ස්වභාව යුක්තියට පටහැනි කරුණක් වන්නේ යැයි පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා සිය සේවාදායකයාට විමර්ශන නිලධාරීන් හෝ අධිකරණය මගහැර සිටීමට කිසිදු අවශ්‍යතාවක් නැතැයි ද කියා සිටියේය.
වරෙන්තුවක් නිකුත් කිරීම පුද්ගලයකු සතු මූලික නිදහසට සිදුකරන දැඩි බාධාවක් බව පැවසූ ජනාධිපති නීතිඥවරයා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට නීතිපතිවරයාටත් වඩා නීතිමය බලයක් ඇති බව තමා පිළිගන්නා නමුත් එකී බලය අවභාවිත නොකළ යුතු බවත් වරෙන්තුවක් ලබාගැනීමට තරම් සිය සේවාදායකයා වරදක් කර නොමැති බවත් පැවසීය.
විෂය භාර කැබිනට් අමාත්‍යවරයා ලෙස සිය සේවාදායකයා එකී කාබනික පොහොර ආනයනය කිරීමට කැබිනට් පත්‍රිකාවක් සිය අමාත්‍යාංශයේ ලේකම්වරයා මගින් ඉදිරිපත් කළ නමුත් ප්‍රශ්න ගත කාබනික පොහොර ආනයනයට අදාළ සියලු වගකීම් පැවැරී තිබුණේ රාජ්‍ය අමාත්‍යාංශයට බව ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා අධිකරණයට පෙන්වා දුන්නේය. එවකට පැවැති රජය ගත් ප්‍රතිපත්තිමය තීරණයක් අනුව ඊට අදාළ සියලු කටයුතු සිදුකළ බවත් එකී කටයුතු සිදුකරනු ලැබුවේ සැකකරු පත්කළ ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත බවත් පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා එවකට කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සිය සේවාදායකයා හෝ රාජ්‍ය අමාත්‍යවරයා එකී කමිටුවේ සාමාජිකයන් නොවන බවද පැවසීය. පොහොර සාම්පල් ප්‍රමිතියෙන් තොර බවට ලැබුණු නිර්දේශ අනුව එකී පොහොර ආනයනය කිරීමට මූලිකත්වය ගත් ලංකා පොහොර සමාගම හා කොමර්ෂල් පොහොර සමාගම කොළඹ වාණිජ මහාධිකරණය හමුවේ නඩු පැවරූ බවත් එකී සමාගම් ණයවර ගෙවීම් වැළැක්වීම සඳහා අධිකරණ නියෝග ලබාගත් අවස්ථාවේදී නීතිපතිවරයා ද එකී නඩු කටයුත්තට මැදිහත් වී සමථයක් ඇතිකරගෙන ඇති බවත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයට පැවැසීය. සිය සමාගම රටවල් 54කට අවශ්‍ය කාබනික පොහොර ආනයන කළත් ඒ කිසිදු රටක් ඒවා ප්‍රතික්ෂේප නොකිරීම නිසා ලංකා රජය ප්‍රශ්නගත කාබනික පොහොර තොගය ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුව චීනයේ එකී සමාගම නීතිමය පියවර ගෙන ණයවර ලිපි නිකුත් කළ මහජන බැංකුව ද අසාදුගත ලේඛනයට ඇතුළත් කිරීම නිසා එය රාජ්‍ය තාන්ත්‍රික බලපෑමක් ඇතිවන තත්ත්වයට පත් වූ බවද පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා සිය සේවාදායකයා ක්‍රියාකර ඇත්තේ රජයේ ප්‍රතිපත්තිමය තීරණයක් අනුව වන්නේ යැයි ද වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
ශාක නිරෝධන ආයතනය විසින් එකී කාබනික පොහොර තොගය භාවිත කිරීම නුසුදුසු බවට නිර්දේශ කර ඇත්තේ පළමු සාම්පලය පරීක්ෂා කිරීමෙන් අනතුරුව බවත් දෙවන සාම්පලය පරීක්ෂා කර ශාක නිරෝධන ආයතනයෙන් වාර්තාව ලැබීමටත් පෙර සැකකාර හිටපු අමාත්‍යවරයා පොහොර සමාගම්වල සභාපතිවරුන්ට බලපෑම් කර පොහොර මිලදී ගැනීම සඳහා ණයවර ලිපි විවෘත කිරීමට පියවර ගෙන ඇතැයි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙනුවෙන් පෙනී සිටි සහකාර අධ්‍යක්ෂ (නීති) අනූෂා සම්මන්දප්පෙරුම මහත්මිය අධිකරණයට පැවසුවාය. එලෙස බලපෑම් කර ණයවර ලිපි විවෘත නොකළේ නම් දෙවැනි සාම්පල් පරීක්ෂාකර ලැබෙන වාර්තාව මත පොහොර තොගය ප්‍රතික්ෂේප වූ විට පොහොර තොගයේ වටිනාකමින් සියයට 75ක මුදල ගෙවීමට සිදුනොවන බව පෙන්වා දුන් අනූෂා සම්මන්දප්පෙරුම මහත්මිය ගිවිසුම අනුව එකී චීන සමාගමට ගෙවිය යුතු රුපියල් කෝටි 130ක මුදල ගෙවීමට මහා භාණ්ඩාගාරය එකඟ වී ඇති බැවින් නිහඬව සිටින ලෙස පොහොර සමාගම්වල සභාපතිවරුන්ට බලපෑම් කර ඇතැයි ද පැවසුවාය.
වගකිවයුතු ඇමැති ධුරයක් භාරගෙන රට වෙනුවෙන් සේවයක් කිරීමේ වගකීම පැවරී තිබූ සැකකාර අමාත්‍යවරයා නොකළ යුතු දෙයක් සිදුකිරීම නිසා රජයට රුපියල් කෝටි 130ක පාඩුවක් සිදුවී ඇති බවත් දැන් තමාට ඒ සම්බන්ධයෙන් කිසිම වගකීමක් නොමැති බව පවසා ඇඟ බේරාගැනීමට ඔහුට නොහැකි බවත් පැවසූ සහකාර අධ්‍යක්ෂවරිය ණයවර ලිපි විවෘත නොකළේ නම් දෙවැනි සාම්පල පරීක්ෂාවෙන් පසුව එකී ගිවිසුම අවලංගුවීමක් සිදුවන්නේ යැයි ද පැවසුවාය.
පරීක්ෂණ ආරම්භ කළ අවස්ථාවේදීම සැකකරු අත්අඩංගුවට ගැනීමේ නෛතික බලය තම කොමිෂන් සභාවට තිබූ නමුත් අධිකරණයට කරුණු වාර්තා කොට අධිකරණයෙන් වරෙන්තු ලබාගැනීමට තම කොමිෂන් සභාව පියවර ගත්තේ ස්වභාව යුක්ති ධර්මය අනුව බව පෙන්වා දුන් අනූෂා සම්මන්දප්පෙරුම මහත්මිය නීතිය සියතට ගෙන නීතිය මගහැර සිටින සැකකරු රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස ඉල්ලා සිටියාය.
සැකකරු එකී ණයවර ලිපි නිකුත් කරන ලෙසට තමන්ට බලපෑම් කළ බවට ලංකා පොහොර සමාගමේ හා කොමර්ෂල් පොහොර සමාගමේ හිටපු සභාපතිවරුන් දිවුරුම් ප්‍රකාශ ලබාදී ඇති බවත් සැකකරුගේ බලපෑම් මත එකී ණයවර ලිපි විවෘත නොකළේ නම් මෙවන් පාඩුවක් රජයට සිදුනොවන බව විමර්ශන නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටි පොලිස් පරීක්ෂක මධුක මහතා අධිකරණයට පෙන්වා දුන්නේය.
නීතිඥ කාංචන රත්වත්තේ, උදය ගම්මන්පිල, මධුර විතානගේ, අජිත් වික්‍රමසිංහ, මිතුන් ඩයස්, රශානා සාලි මහත්මිය, රශ්මි ඉන්දතිස්ස මෙනවිය, නිරංජන් ඊරියගොල්ල සහ නීතිඥ මණ්ඩලය සමග ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා සැකකාර මහින්දානන්ද අලුත්ගමගේ මහතා වෙනුවෙන් පෙනී සිටියේය.
ඒ. ජේ. ඒ. අබේනායක