ඡන්ද කල් දාන රංගේගේ කතාවට බැසිල්ගේ සම්බන්ධයක් නෑ – සාගර කාරියවසම්

33

ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය වසර දෙකකින් කල් දැමිය යුතු බවට පාලිත රංගේ බණ්ඩාර මහතා කළ ප්‍රකාශයට බැසිල් රාජපක්ෂ මහතාගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවත් කිසිදු මැතිවරණයක් කල් දැමීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහයෝගය ලබා නොදෙන බවත් එම පක්ෂයේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා ඊයේ පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේ දී ඊයේ (30 දා) පැවති මාධ්‍ය හමුවේ දී ඔහු මේ බව කීවේය.

පක්ෂයක් ලෙස එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයාගේ යෝජනාව ප්‍රතික්ෂේප කර තිබියදී කියන්න දෙයක් නොමැති බංකොළොත් දේශපාලනඥයන් සහ මාධ්‍ය එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයාගේ ප්‍රකාශයට බැසිල් රාජපක්ෂ මහතා සම්බන්ධ කිරීමට උත්සාහ දරන බවත් සාගර කාරියවසම් මහතා පැවසීය. පාර්ලිමේන්තු මැතිවරණය කලින් පැවැත්වීම සුදුසු බවට බැසිල් රාජපක්ෂ මහතා අදහස් ප්‍රකාශ කර ඇතත් කිසිදු අවස්ථාවක මැතිවරණ කල් දැමිය යුතු බවට ඒ මහතා අදහස් ප්‍රකාශ කර නොමැති බවත් කාරියවසම් මහතා පැවසීය. රාජපක්ෂවරුන්ට මැතිවරණ කලින් පැවැත්වීම සම්බන්ධයෙන් චෝදනා ඉදිරිපත් වී ඇතත් කිසිදාක මැතිවරණ කල්දැමීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී නොමැති බවත් මහලේකම් කාරියවසම් මහතා පැවසීය. සමගි ජනබලවේගය සමග කටයුතු කළ නොහැකිව එම පක්ෂයෙන් කැඩී වෙන්වීමට සිටින පුද්ගලයන් මෙබඳු පදනම් විරහිත චෝදනා කරන බවත් කාරියවසම් මහතා පැවසීය.

ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ මහ ලේකම් සාගර කාරියවසම් මහතා සඳහන් කර සිටියේ එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා මැතිවරණ වසර දෙකකින් කල් දැමිය යුතු බවට කළ ප්‍රකාශය කාගේ අදහසක් ද යන්න සම්බන්ධයෙන් එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අදහස් දක්වන්නේ නම් වඩාත් සුදුසු බවයි.

එරික් ගාමිණී ජිනප්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment