ජගත් සමූපකාර ආසියා පැසිපික් කලාපීය(T’CA’-A’P) වාර්ෂික මහා සම්මේලනය මෙවර ශ්‍රී ලංකාවේදී

32
සමූපකාර මණ්ඩලයේ සභාපති සරත් වීරසිරි

ජාත්‍යන්තර සමූපකාර සංවිධානයේ ආසියා පැසිපික් කලාපීය(T’CA’-A’P) වාර්ෂික මහා සම්මේලනය මෙවර ශ්‍රී ලංකාවේ කොළඹ දී පැවැත්වීමට එම සම්මේලනය තීරණය කර ඇත.

පිලිපීනයේදී පසුගියදා පැවති රැස්වීමේදී මෙම තීරණය ගත් බව ජාත්‍යන්තර සමූපකාර සංධානයේ ආසියා පැසිපික් කලාපීය අධ්‍යක්ෂ ශ්‍රී ලංකා ජාතික සමූපකාර මණ්ඩලයේ සභාපති සරත් වීරසිරි මහතා පවසයි.

ඒ අනුව මෙවර සම්මේලනය නොවැම්බර් මස 24-28 දක්වා උත්කර්ෂවත් අයුරින් කොළඹදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බවත් මීට සමගාමීව ජාත්‍යන්තර සමූපකාර සහ වෙළෙඳ ප්‍රදර්ශනයක්ද පැවැත්වීමට බලාපොරොත්තු වන බවත් සභාපතිවරයා පවසයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 2025 වසර “සමූපකාර වසර”‍ ලෙස ප්‍රකාශයට පත් කර ඇත. ජාත්‍යන්තර සමූපකාර සංවිධානයේ වැඩිම සාමාජිකත්වයක් හිමි වන්නේ ආසියා පැසිපික් කලාපයටයි. මෙම කලාපයට රටවල් 29 ක් ඇතුළත් වන අතර සාමාජික සංවිධාන 107ක් ඇත.

ශ්‍රී ලංකාවේ දැනට සමූපකාර සාමාජිකයන් ලක්ෂ 80ක් පමණ සිටින අතර සමූපකාර සමිති 15000ක් පමණ තිබේ. පනස් දහසක් පමණ සේවයේ නියුතු සමූපකාර ව්‍යාපාරය මෙරට දැවැන්ත සංවිධානයකි.

මෙවර සමුළුව මෙරට පැවැත්වීම තුළින් මෙරට සමූපකාර ව්‍යාපාරයට හා ශ්‍රී ලංකාවට ප්‍රතිලාභ රැසක් හිමි වේ.


advertistmentadvertistment