නියමිත ඖෂධ ගෙන්වා ගැනීමට නොහැකිව හම්බන්තොට රෝහල් රැසක් දැඩි අර්බූදයක

91

රෝහල්වලට අත්‍යවශ්‍ය බෙහෙත් ඇනවුම් කිරීම සඳහා මෙතෙක් පැවති ක්‍රමවේදය හිටි හැටියේම නතර කිරීම හේතුවෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ රෝහල් රැසකට අත්‍යවශ්‍ය බෙහෙත් ගෙන්වා ගැනීමට නොහැකිව ඖෂධ පාලකවරුන් දැඩි අර්බුදයකට පත් වී ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.

රෝහල් සඳහා ගබඩාකර තබා ගැනීමට ප්‍රමාණවත් තරම් ඖෂධ කිසිසේත් නොලැබෙන නිසා හදිසි අවශ්‍යතාවයන් සඳහා ඖෂධ ඇනවුම් කිරීම ඔන්ලයින් ක්‍රමවේදයකට සිදුකර බවත් එම ප්‍රොන්ට් ක්‍රමවේදය හිටිහැටියේ වසා දැමීම හේතුවෙන් මෙම දැඩි අර්බුධකාරී තත්වය උද්ගත වී ඇති බව රෝහල් බලධාරියකු ගෙන් කළ විමසීමකදී සඳහන් කළේය.

මේ වන විට ‘ස්වන්ස්තා’ නමින් නව ඖෂධ ඇනවුම් කරන ක්‍රමවේදයක් ආරම්භ කළත් එම ක්‍රමවේදය සඳහා බොහෝ රෝහල් ඇතුළත් කර නොමැති බවද හෙතෙම සඳහන් කළේය. රෝගීන්ගේ ජීවිත අවදානම නොතකා ඖෂධ සැපයුම් අංශය විසින් ගනුලැබූ අමන තීරණ හේතුවෙන් එදිනෙදා රෝගීන්ට නිකුත් කරනු ලබන සාමාන්‍ය ඖෂධ වර්ග පවා මේ වන විටත් රෝහල්වල නොමැති බව ඖෂධ පාලකවරුන්ගෙන් කළ විමසීමකදී සඳහන් කළේය.

මේ පිළිබඳව හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලේ කළ විමසීමකදී සඳහන් කළේ දිස්ත්‍රික් මහ රෝහල නිසා සමහර ඖෂධ වර්ග ගබඩාවේ අවශ්‍ය තරම් ඇති බැවින් මහ රෝහල් සඳහා මෙම තත්ත්වය බල නොපාන බවය. එහෙත් මූලික රෝහල සහ ප්‍රාදේශීය රෝහල් සඳහා ඖෂධ ගෙන්වාගැනීම මේ වන විට ගැටලුවක් වී ඇතැයි කීය. මෙම තත්ත්වය නිසි ක්‍රමවේදයකට යාවත්කාලීන කිරීමට නොහැකි වුවහොත් රෝගීන්ගේ ජීවිත දැඩි අවදානමකට පත්වනු ඇති බව රෝහල් බලධාරීන් සඳහන් කළේය.
තිස්සමහාරාම – අමිල සම්පත් ශ්‍රී

advertistmentadvertistment
advertistmentadvertistment