ජනතාව පාරට බැහැලා ඉල්ලූ සිස්ටම් චේන්ජ් එක අමාත්‍යාංශයක් ලෙස කළා – ඇමැති මනූෂ නානායක්කාර

63

ජනතාව පාරට බැහැලා කෑගහලා ඉල්ලා සිටි සිස්ටම් චේන්ජ් එක, ක්‍රමයේ වෙනස අමාත්‍යාංශයක් ලෙස කර ඇති බවත්, ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිමය වෙනස පසුගිය වසර දෙකක කාලය පුරා ගෙන ඇති බවත් කම්කරු හා විදේශ රැකියා ඇමැති මනූෂ නානායක්කාර මහතා පැවසීය.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ සිංහල – හින්දු අලුත් අවුරුදු සැමරුම වෙනුවෙන් සංවිධානය කර තිබූ විශේෂ උත්සවයට (17 දා) දින සහභාගී වූ අවස්ථාවේදී ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

අපි විගමනික ප්‍රතිපත්තිය සකස් කළා. ඒ වගේම කම්කරු ප්‍රතිපත්තිය ගැන යළිත් අවධානය යොමුකර සාකච්ඡා කර තිබෙනවා. ඒ වගේම ආරක්ෂිත වැඩ පරිසරයක් ඇති කිරීමට අදාළ ප්‍රතිපත්තිය හඳුන්වා දුන්නා. කම්කරු නීතිය වෙනස් කරන්නත් අපි සමත් වුණා. විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත වෙනස් කරලා ප්‍රතිපත්තිමය වෙනසක් ඇති කරන්නත් අපට හැකියාව ලැබුණා.

ඒ වගේම ඩිජිටල්කරණය කරන්නත්, එමගින් විදේශ සේවා නියුක්ති කාර්යාංශය වගේම කම්කරු දෙපාර්තමේන්තුවත් ඩිජිටල්කරණය කරන්න අපිට හැකියාව ලැබුණා. සුද්දගේ කාලයේවත් හිතපු නැති සෑම ශ්‍රමිකයෙකුටම ගරුත්වයක් ලබාදෙන ගරුසරු වැඩසටහන දියත් කරන්නත් හැකියාව ලැබුණා.

අපිට ක්‍රමයේ වෙනසක් ඇති කරන්න අවශ්‍ය වන මූලිකම කාරණය වන ප්‍රතිපත්තිමය වෙනසක් ඇති කිරීමට හැකියාව ලැබුණා. ඒකට අමාත්‍යාංශයේ සියලුදෙනා කැපවී කටයුතු කළා. මේක තමයි සැබෑ අරගලය. ඒ කියන්නේ ක්‍රමයේ වෙනසක් ඇති කිරීමට රාජ්‍ය සේවකයින් සියලුදෙනා එකට එකතුවෙලා මහන්සිවෙලා වැඩකරන එක තමයි අරගලය කියන්නේ.

වැඩකරලා රට ගොඩනැගීම තමයි සැබෑ අරගලය වෙන්නේ. අවුරුදු ගානක් කරන්න බැරිවුන දේවල් මේ වසර දෙක තුළ කරන්න අපිට හැකියාව ලැබුනා යැයි පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment