90% ක් බදු මත යැපෙන අයවැයක් එයි – නොවැම්බර් 14

296

මෙවර අයවැයෙන් රාජ්‍ය ආදායමේ සියයට 65 ක වර්ධනයක් අපේක්ෂා කරන අතර ඉන් සියයට 90 ක් බදු ආදායම ලෙස ලබා ගැනීමට අපේක්ෂා කරන බව ද මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

මේ අනුව රටේ ආදායම දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව සියයට 8.5 ක් 13 ක් දක්වා වර්ධනය කර ගැනීම මෙවර අයවැයේ අපේක්ෂාව වන බව ද, ඒ සඳහා රාජ්‍ය ආදායම පසුගිය වසරට සාපේක්ෂව රුපියල් බිලියන 875 සිට 900 දක්වා ඉහළ නංවා ගත යුතු බව ද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.

නිදහස් ශ්‍රී ලංකාවේ අභියෝගාත්මකම අයවැය ලබන 14 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද, මෙරට ආර්ථික ස්වෛරීත්වය ආරක්ෂා කර ගනිමින් ජනතාව ජීවත් කරවීමේ අභියෝගයට ජනපති ප්‍රමුඛ රජය මෙවර අයවැයේදී මුහුණ දෙන බව ද ඇමැතිවරයා සඳහන් කළේය.

මාධ්‍ය හමුවකට එක් වෙමින් ඊයේ (31දා) සියඹලාපිටිය අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. රටේ බදු ආදායම ඉහළ නංවා ගැනීම සඳහා ඉදිරිපත් කළ පළමු කෙටුම්පතට එරෙහිව මේ විට නඩු අටක් පවරා ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා මේ අසීරු අවස්ථාවේ විපක්ෂය ද සාම්ප්‍රදායික ලෙස කටයුතු කිරීම කනගාටුවට කරුණක් බව කියා සිටියේ ය.

2023 වසර සඳහා රජයේ සමස්ත වියදම රුපියල් බිලියන 7885ක් ලෙස ඇස්තමේන්තු ගතකර තියෙනවා. එය 2022 වසර සඳහා ඇස්තමේන්තු ගත වියදම වූ රුපියල් බිලියන 6100ක වඩා බිලියන 1785ක වැඩිවීමක්. එහෙමත් නැත්නම් 29.2%ක වැඩි වීමක්. සෞඛ්‍ය සඳහා රුපියල් බිලියන 432ක්, අධ්‍යාපනය සඳහා රුපියල් බිලියන 504ක්, ආරක්ෂක වියදම ලෙස රුපියල් බිලියන 367ක් ලෙස ඇස්තමේන්තු ගත කර තිබියදී වැඩි වන වැය ශීර්ෂය වන රුපියල් බිලියන 572 සමාජ ආරක්ෂණය වෙනුවෙන් වෙන් කරල තියෙනවා. ඒ පවුල් ලක්ෂ 68න් ලක්ෂ 40ක් හෙවත් 69%ක් ජීවත් වීම සඳහා රජයෙන් ආධාර ඉල්ලා සිටින තත්ත්වයක් තුළ තමයි මේ සියල්ල සිදු වෙන්නේ” යැයි අමාත්‍යවරයා පැවසීය.
ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment