ජනතා පරමාධිපත්‍යයේ සීමා

811

පෙරේදා දිවුරුම් දුන් අලුත් ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය ලංකා ඉතිහාසයේ වඩාත්ම විද්‍යානුකූල කැබිනට් මණ්ඩලය ලෙස කෙනකුට තර්ක කළ හැකිය. ඒ තර්කය බිඳීම ඉතා දුෂ්කරය. මෙයට පෙර මේ රටේ සිටි හොඳම කැබිනට් මණ්ඩලය ලෙස සලකන ලද්දේ ගෝඨාභය රාජපක්‍ෂ විසින් පත් කරන ලද කැබිනට් මණ්ඩලය වේ. ඉතාම විද්‍යාත්මක ලෙස පෙරා, තෝරා, ආසවනය කර ඉතුරු වූ ස්පිරිතුවෙන් ද හොඳම ටික හැටියට ගලපා ගත් මේ කැබිනට් මණ්ඩලය අන්තිමේ දී පොටෑසියම් සයනයිට් මෙන් විෂ තත්ත්වයකට පත් විය. 1977 දී ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන පත් කරන ලද කැබිනට් මණ්ඩලයත්, ගෝඨාභයගේ කැබිනට් මණ්ඩලයත් අතර පැවැතියේ ස්වල්ප වෙනසක් පමණි. එහෙත් ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන තම කැබිනට් මණ්ඩලය පොටෑසියම් සයනයිට් බවට පත් වීමට කිසිසේත්ම ඉඩ නොදුන්නේ දේශපාලන ක්‍රමෝපායයක් මගිනි. එනම් හෙතෙම සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ගෙන්ම දින නොදැමූ ඉල්ලා අස්වීමේ ලිපි ලබාගෙන තිබිණ. කිසියම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු හෝ කැබිනට් ඇමැතිවරයකු තමා අභිබවා පිස්සු කෙලින්නේ යැයි ජේ. ආර්. ජයවර්ධනට කල්පනා වුණු සැණින් පෙර කී ඇමැතිවරයාගේ හෝ මන්ත්‍රීවරයාගේ ඉල්ලා අස්වීමේ ලිපියට දිනය දමා ඔහු තනතුරෙන් පහ කරන ලදී. මේ ඉල්ලා අස්වීමේ ලියුම් ක්‍රමය ප්‍රජාතන්ත්‍රවාදී ලෝකයේ අත්හදා බලන ලද පළමු වැනි අවස්ථාව ජයවර්ධන පාලන සමය බව දැන ගැනීමට තිබේ. එය ඉතා පහසු වැඩපිළිවෙළකි. අමනාප වූ මන්ත්‍රීතුමා නෙරපා හැරීම සඳහා ඉතා ලෙහෙසි සහ ප්‍රජාතන්ත්‍රවාදී මාර්ගයක් ලෙස මේ ලියුම් කඩදාසිය පාවිච්චි කරන ලදී. ගෝඨාභය රාජපක්‍ෂ තම අමාත්‍ය මණ්ඩලයෙන් හෝ මන්ත්‍රීවරුන්ගෙන් මෙවැනි ලියුම් කඩදාසි ලබාගෙන තිබුණේ නැත. ඒ නිසා ඔහුට තම අමාත්‍ය මණ්ඩලයෙන් ද, මන්ත්‍රීවරුන්ගෙන් ද ගැලවීමක් නැති විය.

ශ්‍රී ලංකාවට කාබනික පොහොර හඳුන්වා දී ගෝඨාභය රාජපක්ෂ කෙරෙහි පළමු වන අප්‍රසාදය ඇති කරන ලද්දේ ඔහුගේම ඇතැම් කැබිනට් පිස්සන් විසිනි. මේ පිස්සන් චූන් කිරීම සඳහා දොස්තරවරු ද, විද්වත්තු ද සිටියහ. ඇත්තටම මේ විද්වත්තු ප්‍රායෝගික ලෝකය ගැන දැන සිටි විද්වත්තු නොවෙති. ඔවුන් දුන්නෙන් විදීමට පමණක් දැන සිටි ‘විද්දත්’ හු වූහ. අනුර දිසානායක සතුව ලොකු දේශපාලන වාසියක් තිබේ. ඒ ඔහුගේ කැබිනට් මණ්ඩලය සැබෑ විද්වතුන්ගෙන් සහ ප්‍රායෝගික මිනිසුන්ගෙන් සමන්විත වීමය. ඒ දෙකටම අමතරව ඔවුන් තුළ සුවිශේෂ දේශපාලන විනයක් ද තිබේ. ඇත්තටම ඔවුන් එම දේශපාලන විනය ක්‍රියාත්මක කිරීමට පටන් ගත්තේ ආණ්ඩු බලය හරියටම තහවුරු කර ගැනීමෙන් පසුවය.

ලංකාවේ දේශපාලන ඉතිහාසය සර්කස්කාරයන්ගෙන් පිරී ඉතිරී ගිය බංකොලොත් සර්කස් එකකි. මේ සර්කස්කාරයන්ට කළ හැකිව තිබුණේ ජෝකර්ලා ලෙස ඇඳගෙන බඩපිණුම් ගැසීම පමණි. තනි කඹයේ බයිසිකල් පැදීමට ගිය හෝ මාරක ළිඳේ මෝටර් සයිකල් පැදීමට ගිය විට ඔවුහු සිය වාහනයත් සමගම පෙරලුනාහ. මෙහිදී වාහනයත් කැඩී, සර්කස්කාරයාගේ අතපයත් බිඳී, සර්කස් එකේ හොඳ නම විනාශ විය. ඇතැම් විට සර්කස් එකේ සෙල්ලම් පෙන්වන සිංහයා කුලප්පු වී ප්‍රේක්‍ෂකයන් මරාගෙන කන්නට පටන් ගත්තේය. කාර් රේස් එකක දී අධිවේගී රේසින් කාරය ට්‍රැක් එකෙන් පිට පැන්න විට කාරය කුඩුවී ඩ්‍රයිවර් මියගොස් බලා සිටින හත්, අට දෙනෙක් ද මිය යති. අනුර දිසානායකගේ දේශපාලන සර්කස් එක මේ සියලු අතීත පාඩම්වල සමුච්චයක් බව අපගේ වැටහීමය. ජනතා විමුක්ති පෙරමුණ යනු දෙපාරක්ම පන පිටින් පුළුස්සන ලද දේශපාලන ව්‍යාපාරයකි. 88/89 භීෂණයේ දී මේ පුවත්පත සෘජු මතවාද ප්‍රචාරය කළ හෙයින් තව ටිකෙන් අපට සිදුවන්නේ ද රාජ්‍ය භීෂණයේ ගිනි ජාලාවෙන් පිළිස්සී මිය යෑමටය. අද වන විට මේ රටේ එවැනි රාජ්‍ය භීෂණයක් නැත. චන්ද්‍රිකාගේ ආණ්ඩුව සහ රාජපක්‍ෂ ආණ්ඩුව යටතේ එය සුළු වශයෙන් පැවැති නමුදු පසුකාලයේ දී සම්පූර්ණයෙන්ම නැති විය. රනිල් වික්‍රමසිංහ ජනාධිපති වූ පසු ඕනෑම කෙනකුට ආණ්ඩුවට බැනීමටත්, ෆේස් බුක් මගින් ආණ්ඩුවට සහ දේශපාලනඥයන්ට මඩ ගැසීමටත් ඉඩ ලැබිණ. අප මේ විවේචන කලාවට සියයට සියයක්ම පක්‍ෂ නැත. අන්තර්ජාලය මගින් කෙනකුට මඩ ගසා ඔහු ඉවර කළ විට ඔහුට නැගීසිටීමට තව විශාල කාලයක් ගත වෙයි. ජනාධිපති අනුර දිසානායකගේ අලුත් ආණ්ඩුව නිතරම කියන්නේ තමන්ට ලැබුණු අසීමිත බලයේ සීමාව තමන් දන්නා බවය. එසේම ජනතා පරමාධිපත්‍යයේ සීමාව ද මේ රටේ ඡන්ද දායකයා දැන ගත යුතුය. මේ ආණ්ඩුව බලයට පත් වුණේ අපේ ඡන්දය නිසා යැයි කියමින් කිසිවකුටත් පිස්සු කෙළීමට බැරිය. උදාහරණයක් වශයෙන් දැනටමත් සමහර යූ ටියුබ් පඩංගු ආණ්ඩුවේ බලය අතට ගෙන නටන්නට පටන්ගෙන සිටිති. මේ රටේ ජනයා කවදාවත් හොඳ රටක් දැක නැත. ඒ හොඳ රට පෙන්වීමට අනුර දිසානායකට හැකි නම් ඔහු මේ රටේ දේශපාලනය තුළ සදාකාලික මහා පුරුෂයකු වනවා ඇත. ඒ පිළිබඳ විශ්වාසය තැබිය හැක්කේ රටට වැඩක් කළ හැකි විද්වත් වෘත්තිකයන් මේ කැබිනට්ටුව තුළ අද සිටින හෙයිනි.


advertistmentadvertistment