ජනපති, අනුරට රාජ්‍ය අනුග්‍රහය හරහා දැවැන්ත අවස්ථාවක් ලබාදීලා – ආචාර්ය හර්ෂ ද සිල්වා

121

ජනාධිපති විසින් අනුර දිසානායක මහතාට රාජ්‍ය අනුග්‍රහය හරහා දැවැන්ත අවස්ථාක් ලබාදෙන බවත් ඔහුට රජයේ මාධ්‍ය ඔස්සේ ජනතාව ඇමතීමට කටයුතු කර ඇති බැවින් රනිල් සහ අනුරගේ ඒකාබද්ධ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවක් මෙයින් පැහැදිලි යැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.

සමගි ජන සන්ධාන කාර්යාලයේ පෙරේදා (05දා) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ මන්ත්‍රීවරයා මේ බව කී අතර එහිදී වැඩිදුරටත් මෙසේද කීය.

සජිත් ප්‍රේමදාස මහත්තයාට අනුර දිසානායකව පරද්දන්න නොහැකියි කියලා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මහියංගනයේ පැවැති ජන රැළියකදී ප්‍රකාශ කර තිබෙනවා. ඒ වගේම සජිත් ප්‍රේමදාස මහත්තයාට ඡන්දය දෙන්න එපා තමන්ට ඡන්දය දෙන්න කියලා එක්සත් ජාතික පාක්ෂිකයන්ටත් ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.

මීට පෙර ආණ්ඩු පක්ෂය බලාගත්තේ අගමැතිවරයා බවත් විපක්ෂය බලාගත්තේ විපක්ෂ නායකතුමා බවත් කවදාවත් තුන්කොන් සටහන් තිබිලා නෑ කියලත් ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා. කෙසේ නමුත් ජනාධිපතිවරයා සම අත්වැල් බැඳගත් පිරිස දේශපාලනිකව අතරමං වෙන්න යන තත්ත්වයක් මේ වනවිට ඇති වෙලා තිබෙනවා.

විපක්ෂයේ කාර්යයභාර්ය විපක්ෂ නායකතුමා බලාගත යුතුයි කියලා ජනාධිපතිවරයා පැවැසුවත් අවාසනාවට එක්සත් ජාතික පක්ෂයේ කාර්යය භාරය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට බලාගන්න නොහැකි වුණා. රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ වැඩපිළිවෙළ හේතුවෙන් පසුගිය වතාවේ පැවැති මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට කිසිදු මන්ත්‍රී ආසනයක් දිනා ගැනීමට නොහැකි වුණා. අවසානයේ ජනාධිපතිවරයාත් පාර්ලිමේන්තුවට ආවේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයකින්. රනිල් වික්‍රමසිංහට තමන්ගේ පක්ෂයවත් ආරක්ෂා කර ගන්න නොහැකි වුණා.

කෙසේ නමුත් අනුර දිසානායක සහ රනිල් වික්‍රමසිංහ අතර යම් දේශපාලනික ගනුදෙනුවක් තිබෙන බව පෙනෙන්නට තිබෙනවා. සජිත් ප්‍රේමදාස මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා එකතු වෙන්න යන බවට අසත්‍ය පුවත් සමාජගත කරමින් සමගි ජනබලවේගය සමග එකතු වී සිටින එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ මානසික මට්ටම බිඳවට්ටන්න රනිල් වික්‍රමසිංහගේ කණ්ඩායම උත්සාහ කරනවා.

ජනාධිපති සටනේ ඉදිරියෙන්ම සිටින්නේ සජිත් ප්‍රේමදාස මහතා බවත්, දෙවැනි තැන අනුර දිසානායක බවත් , තෙවැනි තැන රනිල් වික්‍රමසිංහ බවත් සමීක්ෂණ වාර්තා අනුව හොඳින්ම සනාථ වෙලා තිබෙනවා. ඒ නිසා රනිල් වික්‍රමසිංහ මහත්තයාට ඡන්දය දුන්නොත් ඡන්දය අපතේ යන එක විතරයි වෙන්නේ. ජනාධිපති සටහනින් ජයගන්න හැකියාව තිබෙන්නේ සජිත් ප්‍රේමදාස මහතාට, ඒ නිසා සජිත් ප්‍රේමදාස මහතා සමග එකතුවෙන්න කියලා සියලු දෙනාටම ආරාධනා කරනවා.

අකිත පෙරේරා


advertistmentadvertistment