ජනාධිපතිවරණය 2024: ගැසට්ටුව සූදානම්

541

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමේ ගැසට් නිවේදනය අද හෝ හෙට (24, 25) නිකුත් කිරීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග පවසයි.

ගැසට් නිවේදනය මේ වනවිට සූදානම් කර අවසන්ව ඇති අතර කොමිෂන් සභාව රැස්වී අනුමත කිරීමෙන් අනතුරුව ප්‍රකාශයට පත් කිරීමට රජයේ මුද්‍රණාලයට යැවීමට නියමිතය.

ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා පත්‍ර භාර ගැනීමේ දිනය හා වේලාවන් ජනපතිවරණ දිනයක් එම ගැසට් නිවේදනයට ඇතුළත් කර ඇත.

රනිල් ධර්මසේන

දිනය කිව්වාම අපේ කෙනා කියන්නම් – හිටපු ජනපති මහින්ද කියයි

ජනාධිපතිවරණය 2024: ගැසට්ටුව සූදානම්

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කළ පසු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ප්‍රකාශයට පත් කරන බව එම පක්ෂයේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේ දී පැවති එම පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමකින් අනතුරුව හිටපු ජනාධිපතිවරයා මාධ්‍ය වෙත ඊයේ (23දා) එසේ පැවසීය.

ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පැවති එම හමුවෙන් අනතුරුව තවදුරටත් අදහස් දැක්වූ මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ, ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් ඉදිරිපත් කරන අපේක්ෂකයා පිළිබඳව තවමත් අවසන් තීන්දුවක් ගෙන නොමැති බවයි. සුදුසු අවස්ථාවේදී සිය පක්ෂයේ අපේක්ෂකයා ඉදිරිපත් කරන බවද හෙතෙම පැවසීය.

එරික් ගාමිණි ජිනප්‍රිය

රනිල් හැර වෙන අයෙක් එපා

පොහොට්ටුවේ දිස්ත්‍රික් නායකයෝ 12 ක් තදින්

ජනාධිපතිවරණය 2024: ගැසට්ටුව සූදානම්

ජනාධිපතිවරණය සඳහා වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හැර වෙනත් අපේක්ෂකයකු ඉදිරිපත් කළහොත් ඊට එරෙහිව කටයුතු කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික්ක 12 ක නායකයන් තීරණය කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.

එම ආරංචි මාර්ග පවසන ආකාරයට කොළඹ මලලසේකර මාවතේ රාජ්‍ය අමාත්‍යවරයකුගේ නිවසේ 22 වැනිදා රාත්‍රියේ මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ. මෙම සාකච්ඡාව සඳහා දිස්ත්‍රික්ක 12 ක පොහොට්ටු නායකයන් සහභාගි වී ඇත. එහිදී ඔවුන් තීරණය කර ඇත්තේ බහුතර මතයට පිටින් යමින් පක්ෂය වෙනත් අපේක්ෂකයකු නම් කළහොත් ඊට එරෙහිව යමින් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමටය.

ඒ සඳහා දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන පොහොට්ටු මන්ත්‍රීවරු 75 කට ආසන්න පිරිසකගේ සහාය ද ඔවුන්ට ලැබී ඇති බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.

දිස්ත්‍රික් මට්ටමින් එම මන්ත්‍රීවරුන් ද, අදාළ දිස්ත්‍රික්කවල පළාත් පාලන ආයතන ප්‍රධානීන් හා මන්ත්‍රීවරුන් ද සම්බන්ධ කරගෙන රනිල් වික්‍රමසිංහ මහතාගේ මැතිවරණ ව්‍යාපාරය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සංවිධාන කටයුතු සිදු කිරීමට ද මෙහිදී තීරණය කර ඇතැයි දේශපාලන ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

චමින්ද සිල්වා

රජයෙන් කිසිම බලපෑමක් නෑ – රාජ්‍ය ඇමැති ජානක වක්කුඹුර

ජනාධිපතිවරණය 2024: ගැසට්ටුව සූදානම්

ඉදිරි ජනාධිපතිවරණය පැවැත්වීමට රජය කිසිම බාධාවක් නොකරන බවත් නියත වශයෙන්ම එම මැතිවරණය බාධාවකින් තොරව නිසි කලට පවත්වන බවත් රාජ්‍ය ඇමැති ජානක වක්කුඹුර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (23දා) පැවසීය.

පත් කළ මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් විසින් ජනාධිපතිවරණය නිසි කලට පවත්වන්නේදැයි සහ පාර්ලිමේන්තුව වහාම විසුරුවා හරින්නේ දැයි 27/2 යටතේ අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව කීය. ජානක වක්කුඹුර මහතා එහිදී වැඩිදුරටත් මෙසේද කීය.

“ජනාධිපතිවරණය පවත්වන්න රජය කිසිම බාධාවක් කරන්නේ නෑ. නියත වශයෙන්ම ජනාධිපතිවරණය පවත්වනවා. මේ සතියේ ඊට අදාළ නිවේදනය නිකුත් කරන බව මැතිවරණ කොමිසම කියා තිබෙනවා. පසුගිය 17 දා සිට බලය ගිහින් තිබෙන්නේ මැතිවරණ කොමිසමටයි. ඒක නවත්වන්න කාටවත් බෑ. රජයත් එය නවත්වන්නේ නෑ. මැතිවරණයට අවශ්‍ය මුදල් ලබා දී තිබෙනවා. ඒ නිසා මැතිවරණ කොමිසම විසින් ජනාධිපතිවරණය ඉතාම ආසන්න කෙටිම දිනකදී පවත්වනවා.

පාර්ලිමේන්තුව විසුරුවා හරින්න දැන්ම අවශ්‍යතාවක් නෑ. ලබන වසරේ අගෝස්තු මස 20 වෙනතුරු පාර්ලිමේන්තුව පවත්වාගෙන යන්න පුළුවන්. ඊළඟට පවත්වන ජනාධිපතිවරණයෙන් පසුව කාට හරි පාර්ලිමේන්තුව විසුරුවා හරින්න පුළුවන්. දැනට විසුරුවන්න බලාපොරොත්තුවක් නෑ.

පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයට පැවැත්විය යුතුයි කියා යෝජනාවක් තිබෙනවා. අපිත් ඒකට කැමතියි. පළාත් පාලන මැතිවරණය ගැන නඩු හතරක් තිබෙනවා. ඉතා ඉක්මනින් ඒ ගැන තීරණයක් ලබා දෙයි. තීන්දුව ලැබුණු පසුව ඒ තීන්දුවට ගරු කරලා කටයුතු කරනවා.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන


advertistmentadvertistment