විධායක සභාවට 33 දෙනෙක්:
මුලින්ම අයි.එම්.එෆ්. එකෙන් ඉවත් වෙන්න ඕනෑ – වසන්ත මුදලිගේ
ජන අරගල සන්ධානය එළි දැක්වීමේ මාධ්‍ය හමුව
ජන අරගල සන්ධානය ඉදිරි සෑම මැතිවරණයකටම තරග කරන බවත් අරගලයේ අභිලාෂයන් වෙනුවෙන් පෙනී සිටින බවත් ජන අරගල සන්ධානයේ විධායක සභික දුමින්ද නාගමුව මහතා පැවසීය.
වාමාංශික දේශපාලන පක්ෂ ගණනාවක් සහ 2022 අරගලයේ ප්‍රමුඛ ක්‍රියාකාරීන් ගණනාවක් එක්ව ගොඩ නැඟූ ජන අරගල සන්ධානය නම් නව දේශපාලන සන්ධානය එළිදැක්වීම ඊයේ (19 දා) උදේ කොළඹ 07, විජේරාම මාවතේ, සිංහ සමාජ ශාලාවේදී පැවැති අවස්ථාවේදී නාගමුව මහතා මෙම අදහස් පළ කළේය.
එහිදී අරගලයේ ක්‍රියාකාරී වසන්ත මුදලිගේ, නව ප්‍රජාතන්ත්‍රවාදී මාක්ස් ලෙනින්වාදී පක්ෂයේ වී. මහේන්ද්‍රන්, නීතිඥ ස්වස්තිකා අරුල්ලිංගම්, මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර, ආචාර්ය කල්ප රාජපක්ෂ, සමාජවාදී ජනතා සංසදයේ ධර්මසිරි ලංකාපේලි, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුව, අරගල ක්‍රියාකාරී වීරේ වීරසිංහම්, ස්ත්‍රීවාදී සංවිධානයේ සුරේඛා සමරසේන, අරගල ක්‍රියාකාරී රාජ් කුමාර් රජීව්ඛාන්, ධීවර සංවිධාන එකමුතුවේ ජූඩ් නාමල්, පරිසර මධ්‍යස්ථානයේ වෑකඳවල රාහුල හිමි, නීතිඥ නුවන් බෝපගේ, ක්ෂුද්‍ර මූල්‍ය ණය වින්දිතයන්ගේ ජාතික මධ්‍යස්ථානයේ නිරෝෂා ගුරුගේ, ලහිරු වීරසේකර, රංගන ශිල්පී ජෙහාන් අප්පුහාමි, වතු කම්කරු මධ්‍යස්ථානයේ මාක්ස් ප්‍රභාකර්, අරගල ක්‍රියාකාරිනී නූර් මොරීන්, ප්‍රදීපන් ඇතුළු තිස්තුන්දෙනකුගෙන් යුත් විධායක සභාවක් පත්කර ඇති බව ද සංවිධායකයෝ පැවසූහ.
නාගමුව මහතා මෙසේද කීවේය.
අපිට තියෙනවා ඕනෑම ප්‍රතිපත්ති ප්‍රශ්නයකට උත්තර දෙන්න පුළුවන් පැහැදිලි වැඩපිළිවෙළක්. අයි.එම්. එෆ්. එකෙන් ඉවත් වෙන්න ඕනිද? ඔව් ඉවත් වෙන්න ඕනි. ජාතික
ගැටලුවට උත්තරය? ස්වයං පාලනය. අපි ජන අරගල සන්ධානය විදිහට ඉදිරි ජනාධිපතිවරණයට, මහ මැතිවරණයට දෙකටම ඉදිරිපත් වෙනවා. අරගලයේ අපේක්ෂාවන් ඉදිරියට ගෙනයනවා. අපි රනිල්ට කියනවා ඡන්ද නොතියා වෙට්ටු දාන්න ලෑස්ති වෙන්න එපා.
වසන්ත මුදලිගේ මහතා අදහස් දක්වමින් මෙසේ කීවේය.
රනිල් – රාජපක්ෂ ආණ්ඩුව අර්බුදය විසඳනවා කියමින් අර්බුදය උග්‍ර කරනවා. රනිල් බලයට එනවිට රටේ ණය ප්‍රමාණය තිබුණේ ඩොලර් බිලියන 84යි. දැන් ඒක ඩොලර් බිලියන 100ට වැඩි වෙලා. ඒ කියන්නේ මේ වසර දෙක ඇතුළේ රට තවත් වළපල්ලට යවලා. එහෙම තියෙද්දී මතයක් හදන්න හදනවා ආර්ථිකය යථා තත්ත්වයට පත්වුණා කියලා. මුලින් කිව්වා රට වැල් පාලමෙන් එගොඩට අරන් යන්න පොඩි කාලයක් දෙන්න කියලා. අන්තිමට වෙලා තියෙන්නේ මොකක්ද? රනිලුයි, රාජපක්ෂලායි, ගජ මිතුරු ධන කුවේරයෝ ටිකයි, අදානිලා අම්බානිලා වගේ ගෝලීය ධනවතුන් ටිකයි එකතු වෙලා, අත් අල්ලාගෙන වැල් පාලමෙන් එගොඩ වෙනවා. ඒ රටේ ජනතාව වැල් පාලමෙන් අගාධයට ඇද දමලා.
රටේ නිෂ්පාදනය විනාශ වෙලා රට ණය උගුලක හිර වෙනවා. ඒ වගේම ගෝලීය බලවතුන්ගේ බල පොරයක හිර වෙනවා. මේ විනාශකාරී වැඩපිළිවෙළ වහාම හකුළුවන්න ඕන. අපි ඒ ගැන සාකච්ඡා කළා. මුලින්ම අයි. එම්. එෆ්. එකෙන් ඉවත් වෙන්න ඕන, ඉන්දියානු උගුලේ ලංකාව පටලවන එක නතර කරන්න ඕන, ජනතාවගේ දැවෙන ගැටලුවලට විසඳුම් ඕන, රටේ ආර්ථිකය ගොඩ නගන්න ඕන. ඒ සඳහා පුළුල් දේශපාලන වෙනසක් ඕන. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඕන. ජනතාවට දේශපාලන තීන්දු ගැනීමේ බලය ඕන. සැබෑ ක්‍රම වෙනසක් සඳහා ගමන පටන් ගන්න වෙන්නේ එහෙම. ඒ සඳහා වාමාංශික මූලධර්ම මත පදනම් වැඩපිළිවෙළක් මේ වනවිට හදලා තියෙනවා. අද ‘ජන අරගල සන්ධානය‘නමින් එළිදැක්වෙන්නේ එම වැඩපිළිවෙළ. පාර්ලිමේන්තුවෙන් එළියේ ජන බලය ගොඩ නගන්න වගේම ඒ ජන බලයේ නියෝජනයක් පාර්ලිමේන්තුව තුළ ශක්තිමත් කරන්න අපි මැදිහත් වෙනවා.
අරගලයේ ක්‍රියාකාරී වීරසිංහම් මහතා මෙසේ පැවසීය.-
පසුගිය කාලෙ පුරාම ලංකාවෙ මලෙයිහ මක්කල් නැත්නම් කඳුකර දෙමළ ජනතාව බරපතල අසාධාරණයකට ලක් වුණ ප්‍රජාවක්. කිසිම අයිතියක් ලබාදෙන් නැතිව අපිව වහල්ලු වගේ පාවිච්චි කරනවා. මෙතන තියෙනවා මලෙයිහ මක්කල් ජනතාව ගැන නව අදහසක්. ඔවුන්ට නිදහස ලබා දෙන දේශපාලන වැඩපිළිවෙළක්. සම අයිතිය ලබාදෙන වැඩපිළිවෙළක් මෙතන තියෙනවා. මේ ක්‍රමය වෙනස් විය යුතුයි. ඒ නිසා අපි මේකට සහයෝගය දෙනවා.
තවත් කීපදෙනෙක් ම අදහස් දැක්වූහ.
අනුරාධ හිරිපිටියගේ