මීට පස්සේ දේශපාලනඥයින්ට කෝප් කමිටුවේ නඩු අහන්න බෑ

2782

කෝප්, කෝපා ඇතුළු පාර්ලිමේන්තු කමිටු වෙත යද්දී රජයේ නිලධාරීන් කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කිරීමට ජනාධිපති ලේකම් සමන් ඒකානායක මහතා සැලසුම් කර තිබේ.

ජනාධිපති ලේකම්වරයා මෙම තීරණය ගෙන ඇත්තේ පාර්ලිමේන්තුවේ කමිටුවල සභාපතිවරුන්ගෙන් ලද පැමිණිලි හා ඊට අදාළව කළ නිදහසට කරුණු විමසීමේ දී නිලධාරීන් දුන් පිළිතුරු සැලකිල්ලට ගැනීමෙන් පසුවය.

කෝප් සහ කෝපා යන කමිටුවලින් ජනපති ලේකම් සමන් ඒකනායක මහතාට පැමිණිලි ලැබී ඇත්තේ මෙම කමිටුවලට පැමිණෙන නිලධාරීන්ගෙන් බොහෝදෙනකු ඊට නිසි සූදානමින් නොපැමිණෙන බව කියමිනි. අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු ප්‍රධාන ලේකම්වරුන් අදාළ ආයතනයවල විගණන කමිටුවට සහභාගි නොවී විගණකාධිපතිගේ දැනුම්දීම් ගැන අධ්‍යයනයකින් තොරව පාර්ලිමේන්තු කාරක සභා වෙත පැමිණ පිළිතුරු දෙන නිසා කමිටුවල කාලය අපතේ යන බව එහි සභාපතිවරුන් ජනාධිපති ලේකම් වෙත දැනුම් දී තිබේ.

මේ ගැන ජනාධිපති ලේකම්වරයා අදාළ අමාත්‍යාංශ ලේකම්වරුන්ගෙන් විමසීමේ දී පාර්ලිමේන්තුවට කැඳවා නඩු අසන ලීලාවෙන් මන්ත්‍රීවරුන් ප්‍රශ්න කිරීමත් ඒවා පසුව මාධ්‍ය වෙත නිකුත් කිරීමත් නිසා නිලධාරීන් අපහසුතාවට පත් වන බවට ඔවුන් දුක් ගැනවිලි ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව දෙපාර්ශ්වයටම ගැටලුවක් නොවන ආකාරයට මාර්ගෝපදේශ මාලාවක් සකස් කිරීමට ජනපති ලේකම්වරයා සැලසුම් කර ඇති අතර ඉදිරියේදී එය සකස් කිරීමෙන් පසු සියලු අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත යොමු කරනු ඇත.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment