ජාජබ සාමාජිකයාට පහරදුන් සජබ ක්‍රියාකාරීහු පහක් රිමාන්ඩ්

444

ගිරිබාවේ ජාතික ජනබලවේගයේ සාමාජිකයකුට අතින් පයින් පහරදී තුවාල සිදුකළ සමගි ජනබලවේගයේ පස්දෙනෙක් අද (18 දා) දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගතකර ඇත.

ඉකුත් 14දා පාර්ලිමේන්තු මහ මැතිවරණය පැවති දිනයේ සිය ඡන්දය ප්‍රකාශ කිරීමට ගොස් ආපසු නිවසට පැමිණෙමින් සිටි ජාතික ජන බලවේගයේ ප්‍රබල ක්‍රියාකාරී සාමාජිකයෙකුට බරපතළ ලෙස අතින් පයින් පහරදී තුවාල සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගිරිබාව පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ ‘සමගි ජන බලවේගය පක්ෂයේ‘ ක්‍රියාකාරී සාමාජිකාවන් දෙදෙනකු ඇතුළු සැකකරුවන් 6 දෙනකු අතරින්, එක් සැකකාරියක් සහ සැකකරුවන් සිව්දෙනකු ඇතුළු 5 දෙනෙකු අද (18 දා) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ගල්ගමුව වැඩබලන මහෙස්ත්‍රාත් ටිරෝනි ලක්මාලි මහත්මිය නියෝග කළාය.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගතකළේ, එන්. සී. නිමල් ඥානරත්න, ආර්. එම්. ධනුෂ්ක පුෂ්ප කුමාර, එම්. නිරෝෂා උදුලා කුමාරි, ආර්. පී. අජිත් සුසන්ත විජේරත්න සහ බී කේ. සරත්චන්ද්‍ර යන සැකකරුවන්ය. මෙහිදී ඉසුරි අයේෂා මධුෂානි ශ්‍රී නිමල් නමැති සැකකාරිය පමණක්, ඇයට පවතින අසනීප තත්ත්වය සැලකිල්ලට ගෙන ශරීර ඇපමත මුදා හැරීමටද වැඩ බලන මහෙස්ත්‍රාත් ටිරෝනි ලක්මාලි මහත්මිය තව දුරටත් නියෝග කරනු ලැබුවාය.

සියලු සැකකරුවන් ගිරිබාව, සාලිය අශෝක පුර, දම්සෝපුර, යාය තුන ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.

ජාතික ජන බලවේගයේ ගිරිබාව ප්‍රදේශයේ ක්‍රියාකාරී සාමාජිකයකු වන ඩී. ජී. අජිත් යන අයට තදබල ලෙස අතින් පයින් පහර දී තුවාල සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම සැකකරුවන් ගිරිබාව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබිණ.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් ගිරිබාව පොලිසිය සඳහන් කළේ, සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන තවමත් අවසන්ව නොමැති නිසා සියලු සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.

පහර කෑමට ලක්වූ බව කියන එන්.පී.පී. සාමාජිකයාගේ අයිතිවාසිකම් වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් නීතිඥ රන්දුණු සේනාරත්න මහතා සඳහන් කළේ සැකකරුවන්ගේ පහරකෑමට ලක් වූ තම සේවාදායකයා මුලින් ගිරිබාව රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව, වැඩිදුර ප්‍රතිකාර සඳහා ගල්ගමුව මූලික රෝහලට අතුළත් කර ඇති බවයි. ඒ අනුව සැකකරුවන්ට ඇප ලබාදීම සම්බන්ධයෙන් සිය විරෝධය පළකරන බවද නීතිඥ රන්දුණු සේනාරත්න මහතා තවදුරටත් පවසා සිටියේය.

වැඩබලන මහෙස්ත්‍රාත් ටිරෝනි මහත්මිය සැකකරුවන් හයදෙනාගෙන් පස් දෙනකු අද දින (18 දා) දක්වා බන්ධනාගාර ගතකරන ලෙසත්, එක් සැකකාරියක් පමණක් ශරීර ඇපමත මුදා හරින ලෙසත් නියෝග කළාය.

පැමිණිල්ල වෙනුවෙන් ගිරිබාව පොලිසියේ නිලධාරින් පෙනී සිටි අතර අගතියට පත් පාර්ශ්වයේ අයිතිවාසිකම් වෙනුවෙන් නීතිඥ රන්දුණු සේනාරත්න මහතාත් සැකකරුවන් වෙනුවෙන් නීතිඥ හිමාල් චන්දන කහඳවල මහතාත් පෙනී සිටියේය.

මිහින්තලේ – රංග චතූ


advertistmentadvertistment