ජාතික පාසල් 4ක විදුහල්පති ධුරවලට ඉහළම ලකුණු ගත් සුදුස්සන් පත් කරන්න

721

ලංකා ගුරු සංගමයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

ජාතික පාසල් 34ක පැවැති පුරප්පාඩු පිරවීම සඳහා මේ වනවිටත් පවත්වා ඇති සම්මුඛ පරීක්ෂණවලින් ඉහළ ලකුණු ලබාගත් විදුහල්පතිවරුන් සිවුදෙනකු කොළඹ රාජකීය, කොළඹ මහානාම, මොරටුව වේල්ස් කුමර හා කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයට පත් කිරීමට නියෝගයක් කරන්නැයි ඉල්ලා ලංකා ගුරු සංගමය හා එහි මහ ලේකම් ජෝශප් ස්ටාලින් මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.

නීතිඥ නිලුකා දිසානායක මෙනෙවිය මගින් ගොනුකර තිබූ එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා, රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සභාපතිවරයා හා ලේකම්වරයා ඇතුළු සාමාජිකයන්, පෙර කී විදුහල්වල වැඩබලන විදුහල්පතිවරුන් හා නීතිපතිවරයා ඇතුළු 21 දෙනකු නම් කර තිබිණි.

ජාතික පාසල් 34ක පැවැති විදුහල්පති ධුරවලට ස්ථිර පත්වීම් ලබාදීම සඳහා පසුගිය වසරේ ජූලි මස සිවු දිනක් පුරා සම්මුඛ පරීක්ෂණ පවත්වා සුදුස්සන් තෝරාගෙන තිබියදීත් සම්මුඛ පරීක්ෂණය සඳහා අයැදුම් නොකළ වෙනත් ජාතික පාසලක විදුහල්පති ධුරයක් දැරූ අයකු රාජකීය විද්‍යාලයේ වැඩබලන විදුහල්පතිවරයා ලෙසත් තවත් තිදෙනකු පෙර කී විදුහල්වල වැඩ ආවරණ විදුහල්පතිවරුන් ලෙසත් පත්කිරීම යුක්ති සහගත නොවන බව හෙතෙම එමගින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙන්වා දී තිබිණි.

එම සම්මුඛ පරීක්ෂණයේදී තෝරාගත් පිරිස අතරින් 30 දෙනකුට පුරප්පාඩු පැවැති විදුහල්පති ධුරවලට ස්ථිරව පත්වීම් ලබාදී තිබියදීත් පෙර කී ජාතික පාසල් හතර සඳහා වැඩබලන විදුහල්පතිවරුන් පත්කිරීම මගින් වගඋත්තරකාර අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රමුඛ බලධාරීන් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කොට ඇති බවත් පෙත්සම්කරු එමගින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙන්වා දී තිබිණි.

එකී පාසල් හතරට ස්ථිර විදුහල්පතිවරුන් පත් නොකිරීමට හේතු පාදක වූ කරුණු හෝ එම පරීක්ෂණවලදී ඉල්ලුම්කරුවන් ලබාගත් ලකුණු ඇතුළු තොරතුරු ඉල්ලා සිටියත් බලධාරීන් ඒවා භාරදීම ප්‍රතික්ෂේප කොට ඇති බවත් එසේ තිබියදීත් පුරප්පාඩු පවතින්නේ යැයි කියන තවත් ජාතික පාසල් පහක විදුහල්පති ධුරවලට ස්ථිර පත්වීම් ලබාදීමට යැයි පවසමින් පසුගිය පෙබරවාරි 28 වැනිදා නැවත සම්මුඛ පරීක්ෂණ පැවැත්වීම සඳහා අයැදුම්පත්‍ර කැඳවා ඇති බවත් හෙතෙම එමගින් ශ්‍රේෂ්ඨාධිකරණයට වැඩිදුරටත් පෙන්වා දී තිබිණි.
ඒ.ජේ.ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment