සැප්තැම්බර් සහ ඔක්තෝබර් වැඩිහිටි – වකුගඩු හා ආබාධිත දීමනා තාමත් හමස් පෙට්ටියේ – විමල් වීරවංශගෙන් නිවේදනයක්

110

සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාස සඳහා වන වකුගඩු රෝගීන්ගේ දීමනාව, ආබාධිත දීමනාව හා අඩු ආදායම්ලාභී වැඩිහිටි දීමනාව මෙතෙක් ගෙවීමට ආණ්ඩුව අසමත් වීමෙන් එම ප්‍රතිලාභීන් ඉමහත් අසරණ තත්ත්වයකට ඇදවැටී ඇති බව උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශ මහතා (පා.ම.) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එම නිවේදනයේ මෙසේද දැක්වෙයි.

රටෙහි මුළුමහත් ජනතාවම ආර්ථික අර්බුදයක් හමුවේ අනේකවිධ දුෂ්කරතාවලට මුහුණ පා සිටින මොහොතක දරිද්‍රතා රේඛාවෙන් පහළම සිටින ඉහත කී පිරිස පත්ව ඇති දුෂ්කරතාව ගැන කවර කතා ද? ලබා දෙන දීමනාව ‘සොච්චමක්’ වුව එය මේ මොහොතේ ඔවුනට ‘මහමෙරකි’. මේ වගකීම් විරහිත ආණ්ඩුව ඉහත කී දීමනා මීට පෙර ප්‍රමාද කළේ ව්‍යාජ ‘අස්වැසුමක්’ මවා පා නව ගෙවීම් ක්‍රමවේදයක් සකසන බව කියමිනි. නමුත් අගෝස්තු මස අවසානයේ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා මාධ්‍ය හමුවේ පවසා ඇත්තේ මෙම දීමනා පෙර පැවැති ක්‍රමයටම ගෙවීමට පියවර ගන්නා බව ය. ඒ අනුව මේ අන්ත අසරණ පිරිසට ජූලි මාසයේ තම දීමනාව ලැබී ඇත්තේ ද අගෝස්තු මස අවසානයේ හෝ සැප්තැම්බර් මුල ය.

කෙසේ වෙතත් රජයේ සංඛ්‍යාලේඛන අනුව, අප සමාජයෙහි අත්වැලක් අත්‍යවශ්‍යව සිටින 6,47,683ක පිරිසකට මෙම දීමනා ගෙවනු ලබයි. ඒ 5,17,692කට වැඩිහිටි දීමනාවත් 88,602කට ආබාධිත දීමනාවත් 41,119කට වකුගඩු රෝගී දීමනාවත් ආදී වශයෙනි. ඒ වෙනුවෙන් මාසිකව රුපියල් මිලියන 2684ක මුදලක් වැය කිරීමට සිදුව තිබේ. මෙය අප සමාජයක් ලෙස දැරිය යුතුම වැය බරක් නොවන්නේ ද?

අප රට ආර්ථික අර්බුදයක කරවටක් ගිලී සිටියත් තමන්ට හිමි සියලු වරප්‍රසාදයක්ම කිසිදු අඩුවකින් තොරව භුක්තිවිඳින මේ වගකීම් විරහිත පාලකයන් තවමත් යන්නේ, ‘ණයට අරන් – සැපට කාලා – ජොලියෙ ඉඳීමේ’ මාවතේම ය. ‘යළි ණය ලබා ගැනීමේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහතිකය’ දෙස පමණක් නෙත් යොමු කරමින් යන මේ ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවට එම අරමුදලේ නියෝග හැර අන් කිසිවක් පෙනෙන්නේ නැත. රාජ්‍ය සේවකයන්, වෘත්තිකයන්, මැද පන්තියේ පිරිස් ජීවන වියදම දරාගත නොහැකිව සිටියදී බදු පිට බදු ගහන්නේ ඒ නිසාය. ඉහත කී අත්‍යවශ්‍ය සුබසාධන දීමනා ප්‍රමාද කරමින්, අවසානයේ එම ප්‍රතිලාභී පිරිස් කප්පාදුවට පාර කපාගන්නේ ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිනවීමට හැර අන් යමකට නොවේ.

advertistmentadvertistment
advertistmentadvertistment