දේශපාලක ගෙවල් ගිනිගැනීම: පොලිස් මාරු කිරීමටවල එරෙහිව නීති ක්‍රියා

227

දේශපාලනඥයන්ගේ නිවාස දේපොළ ගිනි තැබීම් වළක්වා ගැනීමට කටයුතු නොකළ බවට චෝදනාකරමින් පොලිස් ස්ථානාධිපතිවරුන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මාරුකර යැවීමට පොලිස් මූලස්ථානය ගෙන ඇති ක්‍රියාමාර්ගය ඉතාම අසාධාරණ බවත් එයට අප්‍රසාදය පළකරන බවත් පොලිස් නිලධාරීහු ප්‍රකාශ කරති.

මෙම මාරුවීම් නතර නොකළහොත් ඊට එරෙහිව නීතිමය පියවර ගැනීමටද පොලිස් නිලධාරීහු පිරිසක් කටයුතු කරමින් සිටිති.

මැයි 09 වැනිදා රට පුරා ඇතිවී තිබූ භීෂණ තත්ත්වය පාලනය කිරීමට නොහැකි තත්ත්වයක් උදාවී තිබියදී තමන්ගෙන් පමණක් මේ ආකාරයට පළිගැනීම ඉතාම අසාධාරණ බව මාරුවීම් ලැබ ිසිටින නිලධාරීහු පවසති.

මේ ආකාරයට මාරුවීම් ලැබ සිටින නිලධාරීන්ගෙන් බහුතරයක් ඉතාම දක්‍ෂ අපක්‍ෂපාතිව රාජකාරි කළ නිලධාරීන් බව පොලිස් ආරංචිමාර්ග පවසයි.

මෙම නිලධාරීන් සියලු දෙනා දඬුවම් මාරුවීම් ලැබ සිටින අතර එම ක්‍රියාමාර්ග එම නිලධාරීන්ගේ උසස්වීම්වලට මෙන්ම කීර්තිනාමයටද තදින් බලපාන බව ආරංචිමාර්ග වැඩිදුරටත් කියා සිටියි.

පොලිස් ස්ථානාධිපතිවරුන් 23 දෙනෙකු පසුගියදා වහාම ක්‍රියාත්මක වන පරිදි මාරුකර යවා තිබිණි.

පොලිස් ආරංචිමාර්ග කියාසිටියේ මෙම මාරු කිරීම්වලින් බහුතරයක් කර තිබුණේ දේශපාලනඥයන්ගේ දේපොළ ගිනි තැබීම් වළක්වා ගැනීමට කටයුතු නොකළ නිලධාරීන් යැයි කියමින් බවයි.

කෙසේ වෙතත් මෙම නිලධාරීන් මාරුකර ඇත්තේ හිතුමතේ බවත් එම ක්‍රියා මාර්ගය ඉතාම අසාධාරණ එකක් බවත් පවසන පොලිස් නිලධාරීහු එය නතර කිරීමට කටයුතු නොකළොත් ඉදිරියේදී පොලිස් නිලධාරීන් තව තවත් මන්දොස්සාහී වනු ඇති බව ද කියා සිටිති.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment