– අනුරාධපුර වන ජීවි අඩවි නිලධාරී එම්.ජී. පෙරේරා
අනුරාධපුර මොරගොඩ ප්‍රදේශයේදී පසුගිය ජූලි 03 වැනි දින රාත්‍රී රංගන ශිල්පි ජැක්සන් ඇන්තනි මහතා ගමන් ගත් වාහනයේ ගැටීමෙන් අනතුරට පත් වූ වන අලියා පිළිබඳව මෙතෙක් කිස`ිදු තොරතුරක් අනාවරණය කරගැනීමට නොහැකි වූ බව අනුරාධපුර වන ජීවි අඩවි නිලධාරී එම්.ජී. පෙරේරා මහතා “දිවයින”ට පැවසීය.
මේ සම්බන්ධයෙන් “දිවයින” අනුරාධපුර වන සත්ව අඩවි ආරක්ෂක නිලධාරිවරයාගෙන් කළ විමසීමේදී ඔහු වැඩිදුරටත් මෙසේද පැවසීය.
“මෙතෙක් මෙම වන අලියා සොයා ගැනීමට නොහැකි වුණා. මේ බව අප අධිකරණයටද කරුණු වාර්තා කර තිබෙනවා. අනතුරට පත් වන අලියා සොයාගෙන තුවාල සිදු වී ඇත් නම් වහාම
ප්‍රතිකාර කිරීම සඳහා පියවර ගැනීමට වන ජීවි නිලධාරීන් මහත් වෙහෙසක් ගත්තා. අපි අනතුර සිදු වූ දින සිටම එක දිගටම දින තුනක් තිස්සේ දිවා රාත්‍රි වෙහෙසෙමින් වන ජීවි කාර්යාල තුනක නිලධාරීන් එක්ව විශාල මෙහෙයුමක් කළා. එහෙත් කිසිම හෝඩුවාවක් මේ දක්වා අනාවරණය වුනේ නැහැ. වන අලියාට සිදු වූ තුවාල නිසා ඇවිද
ගැනීමට නොහැකිව කිසියම් ස්ථානයක වැටී සිටි බවට තොරතුරක් හෝ සොයා ගැනීමට ලැබුණේ නැහැ. අපගේ අත්දැකීම් හා නිරීක්ෂණ අනුව මෙම වන අලියාට අනතුරින් තුවාල සිදු වූවා නම් අලියා ගමන් ගත් මාර්ගයක ලේ පැල්ලමක් හෝ සොයා ගැනීමට හැකි වෙනවා. එහෙත් එවැනි කිසිඳු ලේ පැල්ලමක් සොයා ගැනීමට තිබුණෙ නැහැ. එසේම මෙවැනි අලියකුට පෑගෙන තණ කොළවලින් පවා අලියා ගමන් ගත් මාර්ගය හා එම අලියා කිසියම් අපහසුතාවයකින් ගමන් කළේදැයි සොයා ගැනීමේ හැකියාව ඇති අත්දැකීම් බහුල වන ජීවි නිලධාරීන් අප සතුව ඉන්නවා. අනතුරින් පසුව මෙම වන අලියා රංචුව අතහැර ගියත් දිගු කාලයක් තනිව සිටින්නේ නැහැ. ඉතා ඉක්මනින් නැවත රංචුවට එක් වෙනව. නමුත් මේ වන විට මාසයකට අධික කාලයක් ගත වෙලා ඒනිසා ඌ රංචුව හැර ගොස් ඇති බවටද ස්ථිරවම නිගමනය කරන්න බැහැ. එසේම නිරීක්ෂණයට ලක් කළ වන අලි රංචු අතර එවැනි අනතුරකට පත්වූ අලියෙකු පිළිබඳව කිසිඳු හෝඩුවාවක් සොයා ගැනීමට නොහැකි වීම අත්දැකීම් ඇති වනජීවි නිලධාරීන්ටද බරපතළ ගැටලුවක්. වාහනයේ වන අලියා ගැටුණු බවට ඇසින් දුටු සාක්ෂි දෙකක් තිබෙනවා. කෙසේ වෙතත් තවදුරටත් වන අලියා සොයා ගැනීමට සිදු කරන මෙහෙයුම් අඛණ්ඩව සිදු කරගෙන යනවා”.
නොච්චියාගම-එම්.එම්.පී.ජී. පෙරේරා