ජනතාව දවන ගිනි දැල් නිවන්නට නව ජනපති ඉදිරියේ ඇති අභියෝගය

196

පවතින උග්‍ර ආර්ථික අර්බුදය හමුවේ උත්සන්න වූ මහජන පීඩාවන් නිසා පසුගිය කාලය පුරා ඇති වූ විරෝධතා ක්‍රියාමාර්ගවල උච්චතම අවස්ථාව වූයේ ඉකුත් ජූලි 09 වැනි දින ජන අරගලය යි. එදින විරෝධතාවෙන් පසු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රටින් පැන මාලදිවයිනට ගියේය. ඒ ජනපති ධුරයෙන් ඉල්ලා අස්වන්නේ ද නැතිවය. ඉන්පසු ව්‍යවස්ථානුකූලව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩබලන ජනාධිපති ලෙස පත් විය. ගෝඨාභය රාජපක්ෂ මහතා මෙන්ම ඔහු විසින්ම පත් කළ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ද ගෙදර යා යුතු බවට විරෝධතාකරුවෝ කියා සිටියහ. එහෙත් රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් නොවීය. පසුව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිංගප්පුරුවට ගිය පසු තම ඉල්ලා අස්වීම කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ට එවා ඔහු විසින් එය නිල වශයෙන් රටට නිවේදනය කළේය. ඒ අනුව ද රනිල් වික්‍රමසිංහ මහතා වැඩබලන ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන් අතර ඉන්පසුව පාර්ලිමෙන්තුවේ යෝජනා සම්මතයෙන් අනුප්‍රාප්තික ජනාධිපතිවරයකු පත් කරගත යුතුව තිබිණි. පාර්ලිමේන්තුවේදී ඊයේ (20 දා) පැවැතියේ ඒ සඳහා ඉදිරිපත් වූ අපේක්ෂකයන් අතරින් රහස් ඡන්දයෙන් නව ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ඡන්ද විමසීමයි. රට ම මේ දෙස ඉතා උනන්දුවෙන් බලා සිටියේය. මේ ඡන්ද විමසීමේදී බැලු බැල්මට තියුණු තරගයක් තිබෙන බව පෙනෙන්නට තිබුණත් වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉතා පහසු ජයග්‍රහණයක් ලබාගෙන අනුපාත්තික ජනපතිවරයා ලෙස පත් විය.

මේ අනුව ඊයේ (20 දා) දිනයේ පාර්ලිමේන්තුවට පැමිණි මන්ත්‍රීවරුන් අතරින් දෙදෙනෙක් ඡන්ද දීමෙන් වැළකී සිටියේය. ඒ අනුව ප්‍රකාශ වූ ඡන්ද ප්‍රමාණය 223ක් වන අතර ඉන් ඡන්ද හතරක් ප්‍රතික්ෂේප විය. ඒ අනුව ඊයේ ප්‍රකාශිත වලංගු ඡන්ද ප්‍රමාණය 219 කි.

ඉන්ද ඡන්ද 134ක් ලබා රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කළේ වැඩි ඡන්ද 52කිනි. එය ඉතා විශාල වැඩි ඡන්ද ප්‍රමාණයකි. ඩලස් අලහප්පෙරුම මහතාට ලබාගත හැකි වූයේ ඡන්ද 82ක් පමණි. අනුර කුමාර දිසානායක මහතා ඡන්ද තුනක් ලබා ගත්තේය. මේ ඡන්දය ජය ගැනීමෙන් පසු රනිල් වික්‍රමසිංහ වැඩබලන ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව අමතමින් කීවේ බෙදුන කාලය අවසන් බවත් දැන් සියලු දෙනාම එකතු වී අලුත් ක්‍රමවේදයක් අනුව කටයුතු කරමු යැයි කියා ය. අපත් සිතන්නේ වැටී ඇති ආර්ථිකය යහපත් තත්ත්වයට පත්කර ගැනීම සඳහා කිසියම් අන්තර් කාලයකට සියලු වාද භේද අමතක කර එක්ව කටයුතු කළ යුතු බවයි. එසේම අනුර කුමාර දිසානායක මහතා පවසන පරිදිම පාර්ලිමේන්තුවේ මේ ඡන්දයෙන් ප්‍රකාශිත පිළිබිඹුව මේ මොහොතේ රටේ මහජනයාගේ අපේක්ෂාව එලෙසින්ම නිරූපණය වීමක් නොවන බව ද අමතක නොකළ යුතුය. මේ ප්‍රතිවිරුද්ධ අදහස් සහ මහපොළොවේ යථාර්ථය වෙනම දෙයකි. ව්‍යවස්ථානුකූලව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශාල වැඩි ඡන්ද ප්‍රමාණයකින් ශ්‍රී ලංකාවේ 08 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස යථා පරිදි රනිල් වික්‍රමසිංහ මහතා දැන් තේරී පත්ව අවසන්ය. රටත්, ජනතාවත් මේ උග්‍ර ආර්ථික අර්බුදයෙන් ගොඩගැනීම සඳහා ස්ථාවර රජයක් ඇතිකර ගනිමින් සියලු දෙනා සමග එක්ව කටයුතු කිරීමට හැකිවනු ඇතැයි අපි අභිනව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සුබ පතමු.

රට බලවත් ආර්ථික අගාදයක ගිලී මහජනයා අසීමිතව පීඩාවට පත්ව තිබුණත් මේ තත්ත්වය සමනය කර ගැනීම සඳහා පුළුල් දේශපාලන සම්මුතියකින් කටයුතු කිරීමට අපේ දේශපාලනඥයන් හෝ දේශපාලන පක්ෂ පසුගිය කාලයේ සමත් වූයේ නැත. පසුගිය කාලයේ මෙන්ම තවමත් එය අපි අත්විදිමින් සිටිමු. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඉල්ලා අස් වීමෙන් පසු පුරප්පාඩු වූ ජනපති ධුර කාලයේ ඉතිරි කාලය සඳහා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ බහුතර ජන්දයෙන් ඊයේ (20දා) අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක් පත් කරගත්තේය. රනිල් වික්‍රමසිංහ මහතා සහ ඩලස් අලහප්පෙරුම මහතා අතර තියුණු සටනකින් පසු රනිල් වික්‍රමසිංහ මහතා අවසානයේ ජනපති ධුරයට පත්ව සිටී. කවුරු පත්වුවත් රට මුහුණ දී සිටින මේ බලවත් ආර්ථික අගාදයෙන් ගොඩගැනීම ඉතා ඉක්මනින් කළ හැකි පහසු කටයුත්තක් නොවේ. එනම් මේ බලවත් විදේශ විනිමය අර්බුදය විසඳා ගැනීම තරමක කාලයක් ගත වන නමුත් අප සිතන්නේ මහජනයා අසීමිතව පීඩාවට පත්ව තිබෙන තත්ත්වය සමනය කර ගැනීම සඳහා පියවර ගත හැකි බවය. ජනපති කවුරු වුවත් අප සිතන්නේ පත් කරගත යුත්තේ සර්ව පාක්ෂික අන්තර්කාලීන රජයක් බවයි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා එවැනි සර්ව පාක්ෂික අන්තර්කාලීන රජයක් පිහිටුවා ගැනීමට ප්‍රමාණවත් උත්සාහයක් නොගෙන රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ලෙස පත්කර පිහිටු වූ අන්තර්කාලීන රජය සාර්ථක නොවූ අතර ජනතාව මුහුණ දී සිටි ප්‍රශ්න තවත් වර්ධනය විය. මහජන විරෝධතා වර්ධනය වී අවසානයේ ඉකුත් ජුලි 09 දින පැවති මහජන අරගලයෙන් පසු ගෝඨාභය රාජපක්ෂ ජනපතිවරයා රටින් පැන ගියේය. මේ කරුණු සියල්ලම අපි දනිමු. එහෙත් දැන් අවශ්‍ය කරන්නේ ස්ථාවර රජයක් ඇති කරගෙන මේ අඳුරු ආර්ථික අගාදයෙන් රට ඉක්මනින් ගොඩ ගැනීමට අවශ්‍ය පියවර ගැනීමයි.

නව අනුප්‍රාප්තික ජනාධිපතිවරගේ පත්වීමෙන් පසු දැන් අවශ්‍ය කරන්නේ ඉතාම ඉක්මනින් ස්ථාවර රජයක් ඇති කර ගැනීමයි. දේශපාලන අරමුණු ජය ගැනීම සඳහා කුමන හෝ අන්තර්කාලීන රජයක් අටවාගෙන යෑමට දරන උත්සාහය තුළ සිදුවනු ඇත්තේ ආර්ථික අගාදයෙන් රට ඉක්මනින් ගොඩ ගැනීමට අපහසු වීමයි. එසේම ජනයා ආර්ථික අගාදයෙන් විඳින පීඩා තවත් වර්ධනය වීමයි. පසුගිය කාලය පුරාම එය සිදු විය. ජනතාව වඩාත් පීඩාවට පත් වූ තෙල්, ගෑස් ඇතුළු පෝලිම් තත්ත්වය හෝ සමනය කර ගැනීමට රජය අසමත් වූ අතර ඒ නිසාම ජනතා විරෝධය ද වර්ධනය විය. තාවකාලිකව රට යම් කිසි මට්ටමකට ඉහළට ඔසවා ගන්නා තෙක් හෝ පොදු එකඟත්වයකින් කටයුතු කිරීමට අසමත් වීම තුළ සිදු වූයේ දිගින් දිගටම දේශපාලන අස්ථාවරත්වයකට රටට මුහුණ දීමට සිදුවීමයි. පසුගිය ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය පැවති අවස්ථාවට වඩා විශාල ලෙස වෙනස් වූ ජනමතයක් මේ මොහොතේ තිබේ. ඒ නිසා එදා පත් වූ වත්මන් පාර්ලිමේන්තුවේ තිබෙන ඔළු ගෙඩි අද ජනමතය නියෝජනය නොකරන බැවින් ඉතා ඉක්මනින් මැතිවරණයකට යෑමට ද අවශ්‍ය වන බව මේ ලියුම්කරුගේ අදහසයි. එදා මහ මැතිවරණයේදී ජනයා ලබා දුන් ජනවරම සහ ඒ මහජන අපේක්ෂාවන්ට පටහැනිව මේ මොහොතේ දේශපාලන පක්ෂ ක්‍රියා කරමින් සිටී. ඒ නිසා තම ජන්ද වරම ගෙන එම ජනවරම පාවාදෙමින් දේශපාලන නියෝජිතයන් කටයුතු කරන ආකාරය දෙස බලන විට ජන්දදායක මහජනයා මුහුණ දෙමින් සිටින්නේ බලවත් අප්‍රසන්න අත්දැකීමකට බව රහසක් නොවේ. ඒ තත්ත්වයන්ට මහජනයා ඉදිරි මැතිවරණයකින් පිළිතුරු ලබා දෙනු ඇත. මෙසේ අර්බුදයෙන් රට ගොඩ ගැනීමට මෙන්ම මහජන පීඩා අවම කිරීමට සමත් ස්ථාවර රජයක් බිහිකර ගැනීමට ද මෙතෙක් නොහැකි වූයේ අන් කිසිවක් නිසා නොව මේ දේශපාලන අරමුණු සහ තම පැවැත්ම උදෙසා බලලෝභීව කටයුතු කිරීම නිසාය. පක්ෂ අතර පවා සම්මුතීන් ඇති කරගනුයේ ද රට මේ දරුණු අර්බුදයෙන් ගොඩ ගැනීමේ අරමුණින් නොව ඔවුන්ගේ දේශපාලන පැවැත්ම උදෙසාම බව ද පැහැදිලිය. ඒ නිසා එදා මහජනයා අවංකව දුන් ජනවරම බරපතළ ලෙස ලෙස අවභාවිත කරමින් ගහන දේශපාලන ගේම් නිසා අවසානයේ නම් සිදුවනු ඇත්තේ ඒ ජන්දදායක ජනයා විසින් ඉදිරි පළමු මැතිවරණයේදීම හොඳ පාඩමක් ඒ අයට ඉගැන්වීමයි. ඒ නිසා ජනවරම පවා දෙමින් මහජන අපේක්ෂාවන්ට පටහැනිව ගහන මේ දේශපාලන ගේම් නිසා ආර්ථික අගාදයෙන් රට ගොඩ ගැනීමට අවශ්‍ය පුළුල් දේශපාලන සම්මුතියක් ඇති කර ගැනීමට ද බාධාවක් විය හැකිය.

එසේම ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගැනීමට අනුගමනය කරන ක්‍රියාවලිය ප්‍රමාද වීම ද සිදුව ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මූල්‍ය පහසුකමක් ලබා ගැනීමේ ක්‍රියාවලියට ද බාධා සිදු වී එය ප්‍රමාදයකට ලක්වන බව රහසක් නොවේ. ඒ තුළ ජනතාවට විඳවීමට සිදුවන කාලය සහ ඔවුන් විඳින පීඩාවේ ප්‍රමාණය වැඩි වනු ඇත. මේ නිසා අපගේ ඉල්ලීම වන්නේ දැන්වත් පුළුල් දේශපාලන සම්මුතියක් සහිත සර්ව පාක්ෂික (ස්ථාවර) රජයක් ඇති කර ගැනීමට පියවර ගන්නා ලෙසයි. එහිදී අතීතය අමතක කර කැමති අකැමැති සියලු දෙනා සමග රට සහ මහජනයා වෙනුවෙන් යම් කාලයක් (ඊළඟ මැතිවරණය දක්වා හෝ) එක්ව සාමූහිකව කටයුතු කිරීමට සිදුවනු ඇත. ඒ සඳහා සූදානම් ද යන්න අපි රජයෙන් මෙන්ම සියලු දේශපාලන පක්ෂ නියෝජිතයන්ගෙන් ද ප්‍රශ්න කරමු. මෙහිදී අප බොහෝ විට දේශපාලනඥයන්ට සහ දේශපාලන පක්ෂවලටම දොස් කීවත් මහජනයාට ද වගකීමක් තිබේ. ඔවුන් ද බොහෝ ඉවසීමකින් මේ අමාරු කාලය විඳ දරා ගැනීමට සූදානම් විය යුතු බවයි. එහිදී ස්ථාවර රජයක් ඇති කරගෙන පුළුල් දේශපාලන සම්මුතියකින් ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගැනීම සඳහා විශ්වාසවන්ත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට දේශපාලන බලධාරීන් සමත් වන්නේ නම් බහුතර මහජනයාගේ සහාය අනිවාර්යෙන්ම ලැබෙනු ඇති බව කිව හැකිය. ඒ නිසා මේ අර්බුදයෙන් අපට ගොඩ ආ හැක්කේ බහුතර මහජන විශ්වාසය දිනාගන්නා සහ ඔවුන්ගේ ද සහාය ලබන සාමුහික ප්‍රයත්නයකින් පමණකි. එහිදී මහජනයා තවදුරටත් අන්දන්නේ නැතිව ඔවුන්ට නොසඟවා රජය විසින් අනුගමනය කරන ක්‍රියාවලිය ගැන නිරන්තරයෙන් දැනුවත් කිරීමද අවශ්‍ය වේ. ඒ තුළ රටේ ආර්ථික ප්‍රශ්න ක්‍රමයෙන් සමනය වන විට මහජන නොසන්සුන්තා අවම වී මහජන විරෝධතා ක්‍රමයෙන් අවම වනු ඇත. දේශපාලන අරමුණු ඇතිව විපක්ෂ කණ්ඩායම් හා සංවිධාන විසින් කරන විරෝධතා කවදත් තිබේ. එහෙත් පුළුල් දේශපාලන සම්මුතියක් සහිත සර්ව පාක්ෂික (ස්ථාවර) රජයක් ඇති කරගෙන මෙම අන්තර්කාලීන රජය අර්බුදයෙන් ගොඩ ඒමට සියලු දෙනා සමග සාමූහිකව කටයුතු කරන්නේ නම් එම විරෝධතාවලට ලැබෙන පොදු මහජන සහාය ද අඩුවනු ඇත. ජුලි 09 විරෝධය විශාල පොදු ජන පදනමක් සහිත විරෝධතාවක් වූයේ ද ඒ වන විට පැවති ගෝඨාභය – රනිල් අන්තර්කාලීන රජය එලෙස කටයුතු නොකළ නිසාත් ජනතාව මුහුණ දී සිටි ආර්ථික පීඩාවන් දිනෙන් දින වර්ධනය වූ නිසාත්ය. ඒ නිසා මේ මොහොතේ වඩා වැදගත් වන්නේ පුද්ගල සාධක නොව අනුගමනය කරන වැඩපිළිවෙළයි. කවුරු රජය කළත් මේ මොහොතේ බොහෝ විකල්ප නැත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ආරම්භ කළ සාකච්ජා ක්‍රියාවලිය නව ආණ්ඩුව විසින් ද වේගවත් කර ඉදිරියට ගමන් කිරීම අනිවාර්ය කරුණකි. අපට එම ගමන ආපසු හැරීමට පුළුවන් කමක් නැත. මේ ගැන ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ද පවසා ඇත. එසේම මේ ලියුම්කරු සිතනුයේ වත්මන් බලවත් ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා බහුවිධ ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට අපට සිදුවන බවත් එම බහුවිධ ක්‍රියාමාර්ග අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ගැනීම මේ මොහොතේ අත්‍යවශ්‍ය ප්‍රධාන පියවරක් බවයි. එහෙත් එය එකම විසඳුම ද නොවනු ඇත. ඩොලර් ආදායම් වර්ධනය කර ගැනීම සඳහා අපටම තවත් බොහෝ දේවල් කිරීමට සිදුවනු ඇත. විදෙස්ගත ශ්‍රමිකයන්ගේ බිඳවැටී ඇති විශ්වාසය ක්‍රමයෙන් දිනා ගනිමින් විදෙස්ගත ප්‍රේෂණ වර්ධනය කර ගැනීම ද අපට තවත් අයිඑම්එෆ් වැඩසටහනකින් මුදල් ලැබෙන්නාක් මෙන් මේ ප්‍රශ්නයෙන් මිදීමට විශාල ශක්තියක් වනු ඇත. මෙලෙස අපට අයිඑම්එෆ් සහාය ගැනීමට අමතරව රට මුහුණ දී සිටින උග්‍ර විනිමය අර්බුදයෙන් මිදීමට අනුගමනය කළ හැකි සහ අනුගමනය කළ යුතු තවත් බොහෝ අත්‍යවශ්‍ය පියවරයන් ගැන ප්‍රකාශ කළ හැකිය.

● ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]


ආර්ථිකය ගොඩගන්න ස්ථාවර රජයක් අවශ්‍යයි

ජනතාව දවන ගිනි දැල් නිවන්නට නව ජනපති ඉදිරියේ ඇති අභියෝගය

ආචාර්ය නන්දලාල් වීරසිංහ
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති

මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පසුගිය දා බී බී සී සේවය සමග පැවති සම්මුඛ සාකච්ජාවකදී පළ කර තිබූ අදහසක් මෙසේය.

ප්‍රශ්නය – ශ්‍රී ලංකාවේ පවතින දේශපාලන අස්ථාවරභාවය ශ්‍රී ලංකාවේ ආර්ථිකයට බලපාන්නේ කොහොමද ?

පිළිතුර – ඇත්ත වශයෙන්ම මේ රටේ ආර්ථිකය ස්ථාවර කරන්න, දැනට පවතින ආර්ථික අමාරුකම් ජනතාව විඳින පීඩාව අවම කිරීමට නම් අපට ස්ථාවර දේශපාලන තත්ත්වයක් අනිවාර්යෙන්ම අවශ්‍ය වෙනවා. ස්ථාවර දේශපාලන තත්ත්වයක් නැතුව ආර්ථිකය මේ තියෙන අමාරු තත්ත්වයෙන් ගොඩ ගැනීම ඉතාමත් අපහසුයි. ඒක පළවෙනි අවශ්‍යතාව. ඒ නිසා මම ඉල්ලා සිටින්නේ මේ ජනතාවගෙන් හැමෝම එකතු වෙලා ජනතාව, ඊට පසු ඔය විරෝධතා කරන පිරිස්, ජනතා නියෝජිතයන්, පාර්ලිමේන්තුවේ නියෝජිතයන් සහ සියලුම දේශපාලන පක්ෂ එකතු වෙලා මේ අවස්ථාවේ දී කරන්න තියෙන වැදගත් දේ තමයි ස්ථාවර දේශපාලන ක්‍රමයක් හැකි ඉක්මනින් ගොඩ නැගීම. ඒ ගොඩනැගුනට පසුව අපට ආර්ථිකය ශක්තිමත් කිරීමේ, ආර්ථිකය යම් කිසි ආකාරයක යථා තත්ත්වයට පත් කිරීමේ උත්සාහයට ඒකත් අවශ්‍ය දෙයක්. ඒක ප්‍රමාද වුණොත් ඇත්ත වශයෙන්ම ඊට පස්සේ ජනතාව විඳින මේ පීඩාව තවදුරටත් වැඩි වෙයි.

advertistmentadvertistment
advertistmentadvertistment