රටවල් කිහිපයකට ඇමෙරිකානු ජනපතිවරයා ‘අන්‍යොන්‍ය තීරුබද්ද’ වශයෙන් හඳුන්වා ඇති තීරුබදු ක්‍රමය ගෝලීය වශයෙන් ජාත්‍යන්තර වෙළෙඳාමට සහ ශ්‍රී ලංකාවට බලපාන ආකාරය සම්බන්ධයෙන් කැලණිය විශ්වවිද්‍යාලයීය ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ අංශාධිපති මහාචාර්ය සේමසිංහ වන්නිනායක මහතා සමග පැවැත්වූ සංවාදයක් ඇසුරින් සකස් කළ ලිපියකි.
ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා විසින් ඇමෙරිකානු ඉතිහාසයේ සිදු කළ විශාලතම තීරුබදු පැනවීම අප්‍රේල් 2 දින ප්‍රකාශයට පත් කළා. ‘අන්‍යොන්‍ය තීරුබද්ද’ වශයෙන් හඳුන්වා ඇති මෙම තීරුබදු ක්‍රමය අප්‍රේල් මාසයේ 9 වැනි දින සිට ක්‍රියාත්මක වීමට නියමිතය. බදු අනුපාත ගණනය කර ඇත්තේ ඇමෙරිකාව සහ එක් එක් රට අතර වෙළෙඳාමේ දී පවතින වෙළෙඳ හිඟය ඒ ඒ රටෙන් සිදු කරන මුළු ආනයනවල ප්‍රතිශතයක් වශයෙන් ගණනය කර එයින් සියයට 50ක් වන පරිදි ය. රටවල් සහ ස්වාධීන රාජ්‍ය 180ට වැඩි ප්‍රමාණයකට මෙම බදු සංශෝධනය අදාළ වේ. අවම බදු අනුපාතය සියයට 10ක් වන අතර උපරිම අනුපාතය 50කි. ශ්‍රී ලංකාවට පනවා ඇති අනුපාතය සියයට 44කි. එක පෑන් පහරකින් බොහෝ දෑ කළ හැකි බව ට්‍රම්ප් පෙන්වා දී ඇත.
මෙම බදු සංශෝධනය මුළුමනින්ම ආර්ථික හෝ මුළුමනින්ම දේශපාලනික හෝ අරමුණු මත ගත් තීරණයකට වඩා ඇමෙරිකානු ආර්ථිකයේ හා භූ දේශපාලනයේ බලාධිකාරය නැවත ගොඩනඟා ගැනීමේ අරමුණින් ආරක්‍ෂණවාදයට යොමුවීම සඳහා ගත් පියවරක් වශයෙන් සැලකිය හැකිය. මෙතෙක් ඔවුන් අදහන ලද නිදහස් වෙළෙඳාම, ගෝලීය ප්‍රාග්ධන සංචලනය යනාදී මතවාද බැහැර කර ඇත. ඒ වගේම මෙය ආර්ථික සදාචාරය, ප්‍රබල රටවල ජත්‍යන්තර වගකීම් කිසිවක් මායිම් නොකරමින් ගන්නා ලද තීන්දුවකි. අන්තර්ජාතික වෙළෙඳාමේදී බදු අනුපාත අඩු කරන ලෙසත් විවෘතභාවය වැඩිකර නිදහස් වෙළෙඳාමට අවකාශ සලසන ලෙසත් අනෙක් රටවලට උපදෙස් දෙන WTO වැනි සංවිධානවලට මෙය කනේ පහරකි.
මෙම බදු සංශෝධනයේ දිගුකාලීන අරමුණ ‘ඇමෙරිකාව නැවත ශ්‍රේෂ්ඨත්වයට පත් කිරීම’ යන ට්‍රම්ප්ගේ මැතිවරණ පොරොන්දුව ඉටු කිරීමයි. 1960-70 දශකවල ලෝකයේ නිෂ්පාදන ආර්ථිකය තුළ ඇමෙරිකාවේ පංගුව 50%ක් තරම් වුව ද මේ වන විට එය සියයට 15ක් පමණ දක්වා අඩු වී ඇත. වාර්ෂිකව ඇමෙරිකාවේ අපනයන ඩොලර් ටි්‍රලියන 3.2ක් පමණ වන විට ආනයන ඩොලර් ටි්‍රලියන 4.1ක් පමණ වන හෙයින් වෙළෙඳ අවාසිය වාර්ෂිකව ඩොලර් බිලියන 900ක් පමණ වේ. ඔවුන්ගේ තර්කය වන්නේ ජාත්‍යන්තර වෙළෙඳාමේදී ඇමෙරිකාව මුහුණදී සිටින මේ අවාසිය මඟහැරවිය යුතුය යන්නයි. එම අරමුණ කෙතරම් දුරකට ඉටුකර ගැනීමට හැකිවේ ද යන්න තීරණය වන්නේ අනෙක් රටවල් මෙම බදු සංශෝධනවලට දක්වන ප්‍රතිචාර අනුව ය. මන්ද යත් ලෝක ආර්ථික බලතුලනය 1960-70 දශකවලට බොහෝ සෙයින් වෙනස් වෙමින් නව බලවතුන් ගොඩනැඟී ඇති බැවිනි. එසේම ඇමෙරිකානු සමාජය මේ සමග ඇතිවන තත්ත්වයන්ට කෙසේ ප්‍රතිචාර දක්වයිද යන්නත් මෙහිදී වැදගත් වේ. මේ බදු සංශෝධන ඇමෙරිකානු වෙළෙඳපොළ තුළ ආනයනික භාණ්ඩවල මිල විශාල වශයෙන් ඉහළ යෑමටත් උද්ධමනය ඉහළ යෑමටත් හේතුවනු ඇත. දැනටමත් ඇමෙරිකානුවන් මෙයට විරෝධය දක්වන බව වාර්තා වේ.
නව බදු සංශෝධන ගෝලීය ආර්ථිකයට දැඩි ලෙස සහ ඍජුවම අහිතකර බලපෑම් ඇති කරනු ඇත. ඇමෙරිකානු වෙළෙඳපොළ ලෝකයේ බොහෝ රටවල ප්‍රධානතම අපනයන ගමනාන්තය වේ. විශේෂයෙන්ම නව බදු අනුපාතිකවලට හැඩගැසුම් සහ පිළියම් සඳහා කිසිදු ඉඩක් නොතබා ක්‍ෂණිකවම ක්‍රියාත්මක වන බැවින් ඇමෙරිකාව තුළ ආනයනික භාණ්ඩ මිල ඉහළ යෑම නිසා ඒවායේ ඉල්ලුම අඩුවීම හේතු කොටගෙන භාණ්ඩ අපනයන කරන රටවල විදේශ විනිමය ඉපැයීම් පහත වැටීමත් සමාගම්වල ලාභ ආන්තිකය පහළ යෑමත් මෙහි ඍජු ප්‍රතිවිපාක වේ. ඒවායේ ප්‍රතිඵල වශයෙන් ජාත්‍යන්තර වෙළෙඳාම යම් ප්‍රමාණයකින් සංකෝචනය වන අතර අනෙක් රටවල් ඇමෙරිකාවට සිදු කරන අපනයන හරහා වාර්ෂිකව උපයනු ලබන ඩොලර් ටි්‍රලියන 4 ඉක්මවූ විදේශ විනිමය ආදායමින් සැලකිය යුතු ප්‍රමාණයක් එම රටවලට අහිමි වනු ඇත. ඒ හරහා එම රටවල ගෙවුම් ශේෂ සහ අයවැය තුලනය වගේම විදේශ ණය සේවාකරණය අර්බුදයට ලක්වනු ඇත. එය වක්‍රාකාරව සෙසු රටවල් මෙන් ම මූල්‍ය ආයතන ද අර්බුදය කරා ගෙනු යනු ඇත. මේ වන විටත් ලෝකයේ බොහෝ රටවල කොටස් වෙළෙඳපොළ විශාල වශයෙන් පසුබැසීමට ලක්ව ඇත. මෙම බදු සංශෝධන කෙටිකාලීනව ලෝක නිෂ්පාදනය, වෙළෙඳාම, ආයෝජන සහ මූල්‍ය වෙළෙඳපොළ සංකෝචනය කිරීමටත් ඒ හරහා ගෝලීය ආර්ථිකයේ සංකෝචනයක් ඇති කිරීමටත් තුඩුදිය හැකි අතරම බොහෝ රටවල මෙන්ම ඇමෙරිකාවේ ද සමාජීය සහ දේශපාලන ස්ථාවරත්වය ද අර්බුදයට ලක් විය හැකි ය.
ශ්‍රී ලංකාවට පනවා ඇති බදු අනුපාතය සියයට 44කි. එය 6 වැනි වැඩිම අනුපාතය වන අතර දකුණු ආසියාවේ රටකට පනවා ඇති ඉහළම බදු අනුපාතිකයයි. ශ්‍රී ලංකාවේ අපනයනවලට මෙතෙක් පැවති බද්ද සියයට 12ක් තරම් අඩු අගයකි. අපනයන ක්‍ෂේත්‍රයට මෙය කෙසේ බලපායි ද යන්න තක්සේරු කළ හැක්කේ ශ්‍රී ලංකාවේ අපනයන වෙළෙඳපොළ තුළ ඇමෙරිකානු සාධකය කෙතරම් වැදගත් වේද යන්න මතයි. 2024 වර්ෂයේ ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඩොලර් මිලියන 12705ක් පමණ වූ අතර එයින් මිලියන 2909ක් ඇමෙරිකාවට සිදු කළ අපනයනවලින් උපයා ඇත. ප්‍රතිශතයක් වශයෙන් එය සියයට 23කි. මේ බිලියන 3ට ආසන්න ඉපැයීම්වලින් මිලියන 1900ක් පමණ උපයා ඇත්තේ රෙදිපිළි සහ ඇඟලුම් අපනයනයෙනි. එය ප්‍රතිශතයක් වශයෙන් සියයට 63කි. සෙසු අපනයන අතර ආහාර, ටයර් අතුළු රබර් නිෂ්පාදිත, පොල් ආශ්‍රිත නිෂ්පාදිත, ප්ලාස්ටික් නිෂ්පාදිත සහ මැණික් ප්‍රධාන තැනක් ගනී. ඇඟලුම් අපනයන වැඩිම බලපෑමට ලක්වන බව මෙයින් පැහැදිලි වේ. මෙම බද්ද නිසා ඇමෙරිකානු වෙළෙඳපොළ තුළ ශ්‍රී ලංකාවේ ඇඟලුම්වල මිල ඉහළ යන නිසා ඒ සඳහා ඇති ඉල්ලුම අඩු වේ. මේ නිසා ඇමෙරිකානු ආනයනකරුවන් සාපේක්‍ෂව අඩු මිලක් ඇති අනෙක් රටවල් කරා යොමු වේ. විශේෂයෙන්ම කලාපයේ ඇඟලුම් සඳහා තරගකරුවන් වන බංග්ලාදේශය, ඉන්දියාව, පාකිස්ථානය, තායිලන්තය යන රටවලට පනවා ඇති බදු අනුපාතය සැලකිය යුතු ලෙස අඩු ය. ඒ නිසා ඇමෙරිකානු වෙළෙඳපොළ තුළ මෙරට නිෂ්පාදිතවල තරගකාරීත්වය අඩු වේ. එබැවින් ඇමෙරිකානු සමාගම් එම රටවලින් ඇඟලුම් ලබාගනු ඇත. අනෙක් අපනයන සඳහා තත්ත්වය ද මීට සමාන ය. මේ බලපෑම හේතුවෙන් ඩොලර් බිලියන 3ක් පමණ වන අපගේ අපනයනවල ඇමෙරිකානු පංගුව සැළකිය යුතු ප්‍රමාණයකින් අඩු වනු ඇත. විශේෂයෙන්ම මෙරට මහා පරිමාණ ඇඟලුම් ආයතනවල ලාභ ආන්තිකය අඩුවන නිසා එම ආයතන නිෂ්පාදනය සීමා කිරීම, සේවකයන් අඩු කිරීම වැනි පියවරවලට ද සමහර විටෙක අඩු බදු අනුපාතයක් සහ සාපේක්‍ෂව ඉහළ තරගකාරීත්වයක් සහිත වෙනත් රටවලට මාරුවීමට ද ඉඩ ඇත. ඒ හැර සුළු හා මධ්‍ය පරිමාණ ඇඟලුම් ආයතන වැසී යෑමේ අනතුරක් ද ඇත. වෙනත් රටවලට සාපේක්‍ෂව විදුලිය, ජලය යනාදී අනෙකුත් යෙදවුම් සඳහා වූ පිරිවැය ඉහළ යෑමද මෙයට බලපායි. ලක්‍ෂ 10ක් පමණ වන ඇඟලුම් අංශයේ ඍජු සහ වක්‍ර සේවා නියුක්තිකයන්ගෙන් සැලකිය යුතු ප්‍රමාණයකට රැකියා අහිමි විය හැකිය. එය රට තුළ සමාජ අර්බුදයක් නිර්මාණය කිරීමට ද හේතුවිය හැකි ය.
චීනය වැනි ශක්තිමත් ආර්ථිකයක් මෙන්ම විකල්ප අවස්ථා ඇති රටවලට මෙය බරපතළ හානි ඇති නොකරන නමුත් තවමත් ආර්ථික අර්බුදය සමහන්වී නැති තත්ත්වයක් යටතේ මෙම බදු ඉහළ නැංවීම මෙරට ආර්ථිකයට මරු පහරක් වනු ඇත. මාධ්‍ය තුළ සිදු කෙරෙන සමහර සංවාදවලදී දේශපාලනඥයන් ඇතුළු බොහෝ දෙනකු මෙහි බරපතළකම වටහා ගත් බවක් නොපෙනේ. ඍජුවම මෙය අපනයන ඉපැයීම් පහළ යෑමටත් දැනටමත් අහිතකර වෙළෙඳ ශේෂය තවදුරටත් පුළුල්වීමටත් හේතුවනු ඇත. මීට අමතරව මේ වර්ෂයේ අපේක්‍ෂිත ඩොලර් බිලියන 16ක අපනයන ආදායම් ඉලක්කය සපුරාගත නොහැකි වනු ඇත. එමෙන්ම විදේශ වෙළෙඳාම මත පනවන බදු මගින් උපයා ගැනීමට අපේක්‍ෂිත බදු ආදායම ද අඩු වනු ඇත. අපේක්‍ෂිත ආදායම් ඉලක්ක සපුරාගත නොහැකි වුවහොත් මේ වසරේ අයවැය ඉලක්ක සපුරා ගැනීම ද අසීරු වනු ඇත. අනෙක් අතට විදේශ විනිමය ඉපැයීම් අඩුවන විට විදේශ විනිමය අනුපාතය පිරිහීමට ද එය හේතු වේ. එය තවත් වටයකින් මෙරට ආර්ථිකයට අහිතකරව බලපානු ඇත. විශේෂයෙන්ම මෙරට අභ්‍යන්තර වෙළෙඳපොළ ඉතාමත් කුඩා වන නිසා මහා පරිමාණ නිෂ්පාදන ආයතන ඉලක්ක කරන්නේ අන්තර්ජාතික වෙළෙඳපොළයි. එබැවින් ඇමෙරිකාවට භාණ්ඩ අපනයනය කරන සමාගම්වල ආයෝජන අධෛර්යවත් වන අතරම එම ආයෝජන මත ඇති කෙරෙන පීඩනය නිසා කොටස් වෙළෙඳපොළේ බරපතළ අර්බුද හටගන්නා අතරම මෙරට ඍජු විදේශ ආයෝජනවලට ද අහිතකර ලෙස බලපායි. 2030 වන විට ඩොලර් බිලියන 30 මෙරට අපනයන ආදායම් ඉලක්කය ඉතා අසීරු වනු ඇත.
මෙරට ආර්ථික අර්බුදය දීර්ඝ කාලයක් පුරා සිදු කළ වැරදි ප්‍රතිපත්ති තේරීම්, අකාර්යක්‍ෂම කළමනාකරණය, ඉහවහා ගිය දූෂණය සහ සෑම අංශයක් පුරාම පැතිර පැවති දේශපාලනීකරණය යනාදී හේතු රාශියක ප්‍රතිඵලයකි. මේ අවස්ථාවේ එවැනි දැඩි අවදානමක් නොතිබුණ ද ඉතා කල්පනාකාරීව පියවර නොගතහොත් දැඩි අසීරුතාවකට මුහුණදීමට සිදු වනු ඇත. තවමත් ආර්ථිකය ප්‍රමාණවත් තරම් ශක්තිමත් වී නොමැති වීමත් විශේෂයෙන්ම 2028 වර්ෂයේ සිට නැවත විදේශ ණය ගෙවීම් ආරම්භ කිරීමට නියමිතව තිබීමත් නිසා අසීරු තත්ත්වයක් උදාවිය හැකි ය.
මේ තත්ත්වය කළමනාකරණය පහසු නැත. විශේෂයෙන් ම අප රටට පවත්නා විකල්ප වෙළෙඳපොළ අවස්ථා සීමිත වීමත් අපනයන විවිධාංගීකරණයකට යොමු වීමට ද තරමක කාලයක් ගත වන නිසාත් බදු ඉහළ යෑම නිසා බලපෑමට ලක්ව ඇති ක්‍ෂේත්‍රවලට යම් සහනයක් ලබාදීමට පියවර ගැනීම කෙටිකාලීන පියවරකි. විශේෂයෙන්ම නිෂ්පාදන සමාගම්වල පිරිවැය තරමකින් හෝ අඩු කිරීමට හැකි වන පරිදි විදුලිය ගාස්තු, පනවා ඇති විවිධ බදු අඩු කිරීමට පියවර ගැනීම යෝග්‍ය වේ. අප්‍රේල් 9 දින සිට නව බදු අනුපාත ක්‍රියාත්මක වේ. ඒ අනුව දැනටමත් ඇණවුම් කර ඇති භාණ්වලට පවා මෙම අනුපාත ක්‍රියාත්මක වේ. මේ නිසා දැනට ඇනවුම් කර ඇති භාණ්ඩ තොග සම්බන්ධයෙන් සහනයක් ලබා ගැනීමට සාකච්ඡා කිරීම ක්‍ෂණිකව ගත යුතු ක්‍රියාමාර්ගයකි. ජනාධිපතිවරයා විසින් මේ සඳහා ගතයුතු පියවර පිළිබඳ නිර්දේශ ලබාදීමට කමිටුවක් ද පත් කර ඇත. චීනය ඇමෙරිකානු භාණ්ඩ සඳහා පනවා ඇති බදු ඉහළ දැමීමට පියවර ගෙන ඇති අතර සමහර රටවල් ඇමෙරිකාවට අදාළව ඔවුන්ගේ බදු අනුපාත අඩු කිරීමට පියවර ගෙන ඇත. මෙය තරමක ඵලදායී පියවරකි. එයට අමතරව දීර්ඝකාලීන පියවර වශයෙන් ඇමෙරිකාවෙන් පරිබාහිර නව වෙළෙඳපොළ සොයා ගැනීමට පියවර ගැනීම අත්‍යවශ්‍යය. මෙහිදී කලාපයේ විශාල වෙළෙඳපොළ සහිත ඉන්දියාව, චීනය වැනි රටවලටත් මැදපෙරදිග සහ නැගෙනහිර ආසියාවේ පවත්නා විභවතා පිළිබඳවත් අවධානය යොමු කිරීම ඵලදායී වේ. එම රටවල් සමග නිදහස් වෙළෙඳ ගිවිසුම් කරා යොමුවීමට ඇති හැකියාව සොයා බැලිය යුතු ය.
පවත්නා තත්ත්වය යටතේ රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් ගත හැකි පියවර ඉතා සීමිතය. විශේෂයෙන්ම ට්‍රම්ප් ජනාධිපතිවරයා බොහෝ විට තීරණ ගන්නේ ඔහු තෝරා ගත් කණ්ඩායමක් සමගිනි. අපට කළ හැකි වන්නේ අපගේ විකල්ප යෝජනා සමග එරට අදාළ ආයතන සමග සාකච්ඡා කර යම් සහනයක් ලබා ගැනීමට ප්‍රයත්න දැරීමයි. මේ සඳහා මෙරට සිටින ඇමෙරිකානු තානාපතිගේ ද එරට සිටින ශ්‍රී ලංකා දූත මණ්ඩලවල ද සහාය ලබා ගත හැකි ය. මේ සම්බන්ධයෙන් තරමක සුබදායක තොරතුරක් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබිණි. ඒ ඔවුන් අදාළ රටවල් සමග සාකච්ඡා කිරීමට සූදානම් බවයි. එය සත්‍ය නම් අපගේ විකල්ප යෝජනා සමග මෙරට පවත්නා සුවිශේෂී ආර්ථික තත්ත්වය යටතේ යම් සහනයක් ලබාගත හැකි වනු ඇත.
රුවන් පුෂ්ප කුමාර
සන්නිවේදන හා මාධ්‍ය ඒකකය
කැලණිය විශ්වවිද්‍යාලය.