ශ්‍රී ලංකාවේ ලෝක වාර්තා ලකුණු පුවරුවෙන් බංග්ලාදේශයට හති වැටෙන ලකුණු

1297

ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය තුළ ශතකයක් වාර්තා නොකර කණ්ඩායමක් විසින් රැස් කරන ලද ඉහළම ලකුණු සංඛ්‍යාවේ ලෝක වාර්තාව තමන් වෙත ලියා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම රැස් කරන ලද 534 ක දැවැන්ත ලකුණු පුවරුව හඹා යන සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම දෙරට අතර දෙවන ටෙස්ට් තරගයේ දෙවන දිනය වූ ඊයේ (31 වැනිදා) දිනය අවසන් වන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 55 ක් රැස් කරගෙන සිටියේය.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා ලකුණු 476 ක් පසුපසින් බංග්ලාදේශ කණ්ඩායම සිටින අතර තවත් කඩුලු 9 ක් ඔවුන් අතැතිව තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායම විසින් ඊයේ බිඳ දමන ලද්දේ 1976 වසරේ දී ඉන්දීය කණ්ඩායම විසින් කිසිදු ශතකයක් වාර්තා නොකර නවසීලන්තයට එරෙහිව ලකුණු 524ක් රැස් කර තබා තිබූ වාර්තාවයි.

ශ්‍රී ලංකා කණ්ඩායම එම ලෝක වාර්තාව තබද්දී කමිඳු මෙන්ඩිස් අතින්ද ලෝක වාර්තාවක් ගිලිහී ගිය අතර කෙසේ වෙතත් ලෝක ටෙස්ට් ක්‍රිකට් පිටියේ පළමු ඉනිම් හතර තුළ වැඩිම ලකුණු ලාභියාගේ ලෝක වාර්තාව සම කිරීමට කමිඳුට හැකි විය.

ඒ අනුව කමිඳු විසින් ඊයේ නොදැවී ලබා ගත් ලකුණු 92 ත් සමග මීට වසර 48කට පෙර පාකිස්තානයේ ජාවේඩ් මියැන්ඩාඩ් විසින් පළමු ඉනිම් 4 තුළ ලකුණු 419 ක් ලබා පිහිටුවා තිබූ ලෝක වාර්තාව සම කළේය.

මියැන්ඩාඩ් 1976 වසරේදී නවසීලන්තයට එරෙහිව ක්‍රීඩා කළ ඉනිම් හතරේදී ලකුණු 419 (163, නොදැවී 25, 25, 206)ක් රැස්කර ඇත.

කමිඳු සිය ටෙස්ට් පිටියේ පළමු ඉනිම් හතර තුළ ලකුණු 61,102,164 සහ 92 ක් ලෙස රැස් කරමින් ලකුණු 419 ක් රැස් කර තිබේ.

මේ වන විට ඉනිම් 4ක් සිය ටෙස්ට් දිවියේ දී ක්‍රීඩා කර ඇති කමිඳු එම සෑම ඉනිමකදීම ලකුණු 50 ඉක්මවා රැස් කර තිබෙන අතර එවැනි දක්ෂතාවයක් දැක් වූ ලොව තෙවැනි ක්‍රීඩකයා බවටද කමිඳු වාර්තා අතරට එක් වී ඇත.

අසිත ප්‍රනාන්දු ඉනිමේ අවසන් කඩුල්ල ලෙස දුවද්දී දැවී යෑම හේතුවෙන් කමිඳුට අඛණ්ඩව සිය තෙවැනි ටෙස්ට් ශතකය වාර්තා කිරීමේ අවස්ථාව මෙන්ම මියැන්ඩාඩ් ගේ ලෝක වාර්තාව පසු කිරීමේ අවස්ථාවද අහිමිව ගියේය.

කමිඳු මෙන්ඩිස් ඊයේ නොදැවී ලබා ගත් ලකුණු 92 සඳහා හයේ පහර 2ක් සහ හතරේ පහර 7ක් ඇතුළත් විය.

කුසල් මෙන්ඩිස් ලකුණු 93ක්, දිමුත් කරුණාරත්න ලකුණු 86ක්, ධනංජය ද සිල්වා ලකුණු 70ක්, දිනේෂ් චන්දිමාල් ලකුණු 59ක්, නිශාන් මදුෂ්ක ලකුණු 57ක් බැගින් රැස් කළහ.

ඊයේ දිනය ආරම්භ කරන විට තරගයේ පළමුව පන්දුවට පහර දෙමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 4 ක් දැවී ලකුණු 314 ක් ලබා සිටියේය.

නායක ධනංජය ද සිල්වාද එක දිගට ශතක තුනක වාර්තාවකට යමින් සිටියද ලකුණු 70 දී ඔහුගේ ඉනිම නිමාවට පත් විය.

බංග්ලාදේශයේ පළමු කඩුල්ල ලෙස ළහිරු කුමාර යොමුකළ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් මහමුදුල් හසන් ලකුණු 21 කට දැවී ගියේය.

බංග්ලාදේශයේ චැත්‍රගොං ක්‍රීඩා පිටියේදී මෙම තරගය පැවැත්වෙන අතර තරගයේ තෙවන දිනය අදයි.

ශ්‍රී ලංකාවේ ලෝක වාර්තා ලකුණු පුවරුවෙන් බංග්ලාදේශයට හති වැටෙන ලකුණු
advertistmentadvertistment
advertistmentadvertistment