‘ඩයලොග් රිදී රැයක් 2021’ දෙසැම්බර් 31 රාත‍්‍රී 9 සිට ස්වර්ණවාහිනියෙන්’

124

‘Dialog රිදී රැයක් 2021’ එළිදැක්වීමේ අවස්ථාවේදී ඩයලොග් ආසිආටා පීඑල්සී හි ජ්‍යෙෂ්ඨ සාමාන්‍යාධිකාරී – සන්නාම හා මාධ්‍ය – හර්ෂ සමරනායක මහතා විසින් සිනෙස්ටාර් පදනමේ සභාපති – ආචාර්ය ජයන්ත ධර්මදාස මහතා වෙත සමරු චෙක්පත පිළිගැන්වූ මොහොත.

රිදී තිරය බබලන තරු රංගනයෙන් එක්වන මෙරට විනෝදාස්වාද දර්ශන තලයේ විශිෂ්ටතම රැඟුම් ගැයුම් මුසු වූ කීර්තිමත් ප‍්‍රාසාංගික වැඩසටහනක් වන ‘ඩයලොග් රිදී රැයක් 2021’ මෙවරත් අති උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට සියලූ කටයුතු සම්පාදනය කොට ඇත. වර්තමානයේ පවතින කොවිඞ් – 19 තත්ත්වය යටතේ පෙර මෙන් සජීව අයුරින් සංවිධාන කිරීමට නොහැකි බැවින් මෙවර ප‍්‍රසංගය දෙසැම්බර් 31 වැනිදා රාත‍්‍රී 9 සිට ස්වර්ණවාහිනී නාලිකාව ඔස්සේ පටිගත කළ වැඩසටහනක් ලෙස විකාශය කිරීමට කටයුතු සලසා ඇත.

ලාංකීය පේ‍්‍රක්ෂකයන් වෙත නැවුම් අත්දැකීමක් එක් කරමින්, සිය සිනමා තාරකාවන්ගේ ආකර්ෂණීය ප‍්‍රාසාංගික අත්දැකීම් විඳගැනීමට මනා අවස්ථාවක් නිර්මාණය කරමින් සංවිධානය කිරීමට යොමු වූ මෙම ‘ඩයලොග් රිදී රැයක්’ ප‍්‍රසංගය යනු ලාංකීය ප‍්‍රාසාංගික කලාවේ සුවිශේෂී අනන්‍යතාවයක් හිමිකරගත් වැඩසටහනකි. විශේෂයෙන් වාර්ෂික ප‍්‍රාසාංගික වැඩසටහන් නාමාවලියේ ප‍්‍රමුඛතම ස්ථානය හිමිකරගත් මෙම ‘ඩයලොග් රිදී රැයක්’ ප‍්‍රසංගය සෑම වසරකම දෙසැම්බර් 31 වන දිනයේ ඉහළ පේ‍්‍රක්ෂක ආකර්ෂණයක් දිනාගත් රූපවාහිනී ප‍්‍රාසාංගික වැඩසටහනද වේ.

වසර ගණනාවක් පුරාවට මෙරට රසික සම්භාවනාවට පාත‍්‍රවී තිබෙන මෙම විචිත‍්‍රවත් ප‍්‍රසංගය සඳහා 7 වැනි වතාවටත් අනුග‍්‍රහය දැක්වීමට ඩයලොග් ආසිආටා සමාගම ඉදිරිපත්වී සිටී. 320කට අධික දේශීය සිනමා තාරකාවන්ගේ සුබසිද්ධිය පිණිස කැපවූ සිනෙස්ටාර් අරමුදල ගොඩනැංවීමේ අරමුණින්, සිනෙස්ටාර් පදනම විසින් මෙම ප‍්‍රසංගය ඉදිරිපත් කරනු ලබයි. රිදී රැයක් ප‍්‍රසංගය මගින් උපයනු ලබන මුදලින් සිනෙස්ටාර් සාමාජිකයන් හට වෛද්‍ය හා ජීවිත රක්ෂණාවරණ පිරිනැමෙන අතර, වියපත් ශිල්පීන් හට මාසික දීමනාවන් ලබාදීමට සිනෙස්ටාර් පදනම කටයුතු කරයි.

සිංහල සිනමාවේ දීර්ඝකාලීන සම්ප‍්‍රදාය ගෞරවාන්විතව ඉදිරියට රැගෙන යමින් 19 වෙනි වරටත් ඉදිරිපත් කරන ‘ඩයලොග් රිදී රැයක් 2021’ ප‍්‍රසංගයේදී චන්න උපුලී නර්තන කණ්ඩායම සමඟ එක්ව විවිධ යුගවල ජනප‍්‍රිය වූ ගීතයන්ට මිහිරි නර්තනාංග රැසක් ඉදිරිපත් කිරීමට වත්මන් රිදී තිරයේ ජනකාන්ත සිනමා තරු පොකුරක් සැදී පැහැදී සිටිති. ජීවන් කුමාරණතුංග, ක්ලීටස් මෙන්ඩිස්, ශ‍්‍රියානි අමරසේන, වීණා ජයකොඩි, බන්දු සමරසිංහ, ශ‍්‍රියන්ත මෙන්ඩිස්, යශෝධා විමලධර්ම, දිල්හානි ඒකනායක, සංගීතා වීරරත්න, චන්න පෙරේරා, අනූෂා දමයන්ති, නිලන්ති ඩයස්, මංජුලා කුමාරි, උපේක්ෂා ස්වර්ණමාලි, රොෂාන් පිලපිටිය, සුරාජ් මාපා, පුබුදු චතුරංග, සාරංග දිසාසේකර, රොෂාන් රණවන, වසන්ත කුමාරවිල, චිලී තිලංක, විශ්ව කොඩිකාර, සචිනි අයේන්ද්‍රා, අනුජ් රණසිංහ, ජනිත් වික‍්‍රමගේ, කාවිංග පෙරේරා, උදාර රත්නායක, දිනක්ෂි ප‍්‍රියසාද්, සෙනාලි ෆොන්සේකා, උදාරි පෙරේරා, තාරුකා වන්නිආරච්චි, චුලක්ෂි රණතුංග, විනූ සිරිවර්ධන, මාෂි සිරිවර්ධන, කැලූම් ආර්යන්, ඉරේෂා අසංකි ඇතුළු බොහෝ පිරිසක් මෙම තරු පොකුරට අයත් වෙති.

advertistmentadvertistment
advertistmentadvertistment