හෙනහුරා පාත්තරේටම වැටෙයි…දවස ගාණේ මිල තීරණය කරන තෙල් සූත්තරයක්!

බහුජාතික සමාගම්වලට නතුවන තෙල් වෙළෙඳාම

සිපෙට්කෝ මිල සත පහක් අඩු කරන්නේ නෑ

සංස්ථාවේ අතපය ගැටගසා සමාගම්වලට වාසි දීලා

තෙල් නියාමන අධිකාරියක් නෑ

රජය ව්‍යාපාර කළයුතු නැත. ඒක සහතික ඇත්තකි. නිදහසින් පසු අපේ රටේ පාලකයන් කළේ රජය මැදිහත් වී ව්‍යාපාර කිරීමය. පුද්ගලික අංශය සතුව තිබූ ව්‍යාපාර රජයට පවරා ගෙන රාජ්‍ය යාන්ත්‍රණය හරහා ඒ ව්‍යාපාර ආරම්භ කළේ පොදු මහජනතාවට සාධාරණ මිල ගණන් යටතේ ඒ සේවා සැපයීමටය. ඒ තීරණය එදාට ගැළපුන බව ද ඇත්තකි. සමාගම් යටතේ තිබූ මගී බස් සේවාව ජනසතු කළ හැටි මතකය. කැල්ටෙක්ස් ආදී සමාගම් සතුව තිබූ ලිහිසි තෙල්, ඉන්ධන ව්‍යාපාර රජයට ගෙන ලංකා ඛනිජ තෙල් සංස්ථාව ස්ථාපිත කොට සපුගස්කන්ද පිරිපහදුවෙන්, බොරතෙල් පිරිපහදු කර රටට හොඳ පාරක් කැපූ ඒ යුගය නිමා වූයේ දේශපාලනයට රිංගාගත් ජාවාරම්කාරයන්ගේ කෙරුවාව නිසා බව ද පිළිගත යුතු දෙයකි. දැන් රට සුද්දන්ගෙන් නිදහස ලබා වසර හැත්තෑ පහකි. ගෙවී ගිය වසර හැත්තෑ පහේ මේ රට පාලනය කළ උන් රට ම සුද්දකර දැමුවා මිස පොදු මහජනතාව වෙනුවෙන් කළ සෙතක් නැතැයි ඉතා පැහැදිලිය. ඇති නැති පරතරය අහස පොළොව මෙන් ප්‍රසාරණය වී හමාරය. දැන් රට ම බංකොලොත්ය. තුන් වේල පිරිමසාගත නොහැකිව හූල්ලන ලක්‍ෂ සංඛ්‍යාත පිරිසක් සිටිය දී සියයට දහයක් විස්සක් අති සුඛෝපභෝගී ජීවිත ගෙවන බව ද සැබෑවකි. මේ සුරසැප විඳින අතලොස්සක් වූ පවුල් ඒකක අතර දේශපාලනඥයන් ද ඒ දේශපාලනඥයන්ගේ ගෝල බාලයන් ද සිටින වග නොරහසකි. දැන් අශ්වයා පැන ගොසිනි. ඉස්තාලය වසා දමන්නට තීරණය වන්නේ රටේ ඇති වූ ජන අරගලයෙන් පසුවය.

මේ සටහන තබන මොහොතේ දී මෙම වසරේ තුන්වැනි වරටත් විදුලි ගාස්තුව සියයට දහඅටකින් වැඩි වී ඇත. ඒ අනුව දින තුන්සිය හැටපහක් ගතවීමට පෙර මේ රටේ විදුලි ගාස්තුව සියයට සියයකට ආසන්න ගණනකින් වැඩි වී ඇත. මාසික වැටුප සත පහකින්වත් වැඩි වී නැති මොහොතක කී නොකී සෑම දෙයකම මිල ගණන් ඩබල්, ට්‍රිබල් වී ඇත. ජනතාව ඉන්නේ කබලෙන් ළිපට වැටිලා ය. ශාප කරනවා හැර ජනතාවට ඊට එරෙහිව සටන් කිරීමට තාමත් අවස්ථාවක් ද ලබාදී නැත.

රජය ව්‍යාපාරවලින් ඉවත්ව යෑම කාලෝචිතය. මහා භාණ්ඩාගාරය රජයේ කිසිදු ආයතනයකට දැන් මුදල් පොම්ප කරන්නේ නැත. විදුලිබල මණ්ඩලය, තෙල් සංස්ථාව ආදී රටේ ආර්ථිකයටත්, සමස්ත පොදුජනතාවටත් දරුණුවටම බලපාන ආයතන ඔවුන් විසින්ම මුදල් උපයාගත යුතුව ඇත. විදුලි ගාස්තු ඉහළ යන්නේ එනිසා ය. තෙල් මිලත් ඉහළ යන්නේ එබැවිනි. මෙහි නැවතීමේ තිතක් නැත. මින් තැලී පෙලී පොඩිපට්ටම් වී යන්නේ පොදුජන ජීවිතය ය. මෙතෙක් කලක් දේශපාලනඥයන් කළේ රජයේ ආයතනවලට දේශපාලන හිතවතුන් දුසිම් ගණන් ගෙනැත් දැමීමය. විදුලිබල මණ්ඩලයත්, තෙල් සංස්ථාවත් පමණක් නොව අනෙකුත් රාජ්‍ය සංස්ථා, මණ්ඩල හා ව්‍යවස්ථාපිත මණ්ඩලවල ඉකුත් වසර හැත්තෑ පහක කාලයේ සේවය කළේ ඒ ඒ දේශපාලනඥයන්ට කඩේ ගිය දේශපාලන බත් බැලයන් යැයි පැවසීම පිළිබඳ කිසිවකු උරණ විය යුතු නැත.

මේ සියල්ල පසෙක තිබිය දී ලංකා ඛනිජ තෙල් සංස්ථාවට සිදුවන්නට යන වින්නැහිය පිළිබඳ සටහන් කරන්නේ සෙසු රාජ්‍ය ආයතන සියල්ල ම ඒ සන්තෑසියට මුහුණ දෙන හැටි ඉන් වටහාගත හැකි නිසාය.

මේ වනවිට ශ්‍රී ලංකාව තුළ තෙල් වෙළෙඳාමට විදෙස් සමාගම් දෙකක් පැමිණ සිටී. එකක් ඉන්දියන් තෙල් සමාගමය. අනෙක චීන සයිනොපෙක් තෙල් සමාගමය. ආර්. එම්. පාර්ක් නමැති ඇමෙරිකානු තෙල් සමාගමක් ද මෙරටට ඒමට නියමිතව ඇත.

මේ වනවිට සිපෙට්කෝ නමින් ක්‍රියාත්මක තෙල් සංස්ථාවට අයත් ඉන්ධනහල් ඇත්තේ එක්දහස් පනහකි. ඉන්දියන් තෙල් සමාගමට ඉන්ධන හල් දෙසිය අසූවක අයිතිය හිමිව ඇත. චීන සයිනොපෙක් සමාගමට ඉන්ධනහල් එකසිය පනහක් අයිතිය. දැනට සංස්ථාව යටතේ තිබෙන ඉන්ධනහල් එක්දහස් පනහෙන් එකසිය පනහක් ඇමෙරිකානු ආර්. එම්. පාර්ක් සමාගමට ලබාදීමට නියමිතය. විදෙස් සමාගම්වලට පිටරටින් ඉන්ධන මෙරටට ආනයනය කර, බෙදාහැර අලෙවි කිරීමට ඉඩ දුන්නේ තරගකාරීත්වය මත ඉන්ධන මිල ගණන් තීරණය වන්නට ඉඩ හරිමිනි. තරගකාරිත්වය මත කිසි කලක ඉන්ධන මිල අඩුවේ යැයි සිතීම සුරංගනා කතාවක් වීමට පුළුවන. මේ මොහොතේ රටේ පෙට්‍රල්, ඩීසල් ලීටරයක මිල ගණන් දකින කල තරගකාරිත්වයෙන් සත පහක සෙතක් රටේ ජනතාවට අත්වී නැත. නමුත් එකක් සිදුවී තිබේ. මේ වනවිට චීන සයිනොපෙක් සමාගම අලෙවි කරන සෑම පෙට්‍රල් ලීටරයකින්ම රුපියල් හතක මිලක් අඩුකර ඇත. ඒ රුපියල් හතෙන් රුපියල් හතරක් ම හිමිවන්නේ ඔවුනට අයත් අදාළ ඉන්ධනහල් හිමියන්ටය. පාරිභෝගිකයන්ට රුපියල් තුනක් අඩුවෙන් ලබාදීම ද සිදුවේ. ඉන්දියන් තෙල් සමාගම හා සිපෙට්කෝ ඉන්ධන හල්වල පෙට්‍රල් ලීටරය, සයිනොපෙක් පෙට්‍රල් ලීටරයකට වඩා රුපියල් තුනක් අමතරව ගෙවීමට ඒ අනුව පාරිභෝගිකයන්ට සිදුවී ඇත. තරගකාරිත්වයේ තාවකාලික සැප ලීටරයකට රුපියල් තුනකි. මෙය කොතෙක් කල් පාරිභෝගිකයන්ට හිමිවන්නේ දැයි අප දන්නේ නැත.

දැන් ප්‍රශ්නය වී ඇත්තේ සිපෙට්කෝ ඉන්ධනහල්වල තෙල් අලෙවිය සියයට විස්සකින් පමණ අඩු වී යෑම පමණකි. තරගකාරිත්වයට පැමිණි විදෙස් සමාගම් පෙට්‍රල් හා ඩීසල් මිල ලීටරයකට රුපියල් තුනක් අඩුවෙන් විකුණද්දී විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය, තෙල් සංස්ථාවේ අතපය ගැටගසා දමා ඇතැයි සංස්ථාවේ ප්‍රධානීන් කරන චෝදනාවකි. තෙල් සංස්ථාවට හිමිවිය යුතු ඉන්ධන මිල තීරණය කිරීමේ බලය තාමත් ඇත්තේ අමාත්‍යාංශ ලේකම්වරයා යටතේය. පවතින තත්ත්වය හමුවේ සිපෙට්කෝ ඉන්ධනහල්වලටත් පෙට්‍රල් ලීටරයක් රුපියල් හතකින් හෝ ඊට ආසන්න ගණනකින් පහත හෙළිය හැකි බව සංස්ථා ප්‍රධානීහු විෂය භාර ඇමැතිට හා අමාත්‍යාංශයට දැනුම් දී ඇත. ඩීසල් ලීටරයක මිල ද රුපියල් තුන හතරකින් පහත හෙළිය හැකි බවද පෙන්වා දී ඇත. නමුත් අමාත්‍යාංශය තදින්ම කියා සිටින්නේ සංස්ථාවේ ණය බර පියවා ගැනීමට අවශ්‍ය නිසා සංස්ථාවෙන් අලෙවි කරන පෙට්‍රල් ඩීසල් මිල සත පහකින්වත් අඩුකර දැමිය නොහැකි බවය. රජය ව්‍යාපාරවලින් ඉවත්ව සිටීම ප්‍රතිපත්තිය වුවත් තාමත් ණය උගුල නිසා මේ තෙල් ව්‍යාපාරය සංස්ථාවට ම භාරකර අතපිස දමා ගැනීමට රජයට නොහැකි වී ඇත. එයින් සිදුවන්නේ විදෙස් සමාගම් තරවී, සංස්ථාව සොහොන සොයා යෑම පමණකැයි සංස්ථාවේ නිලධාරීන්ගේ මතයයි.

ලංකාවට තෙල් ආනයනය කිරීමේදී නෞකාවේදී සිදුවන වාෂ්පවීම් ක්‍ෂයවීම් ආදිය සැලකිල්ලට ගෙන සියයට තුනක ප්‍රමාණයක් නොසලකා හැරීම සාමාන්‍ය ක්‍රමවේදය යි. නමුත් බොර තෙල් හෝ පිරිපහදු කළ තෙල් නෞකා වෙත පටවනවිට තිබෙන ටොන් ප්‍රමාණයට ම සම්පූර්ණ මුදල ගෙවීම ද සාමාන්‍ය ක්‍රමවේදයයි. ඉකුත් වසර විස්සක කාලයේ දී එලෙස සංස්ථාව ගෙවා තිබෙන මුදල් ප්‍රමාණය බිලියන ගණනකි. මේ සම්බන්ධයෙන් තෙල් සංස්ථා හිටපු සභාපති මොහොමඩ් උවයිස් මහතා කියා ඇත්තේ සියයට තුනක ප්‍රතිශතයක් නොසලකා හැර ඒවාටත් මුදල් ගෙවීම නොකළ යුතු දෙයක් බවකි. නමුත් මෙරටට තෙල් සැපයූ සමාගම්වලට හා ඒවාට සම්බන්ධ පාර්ශ්වවලට ඉන් ලැබුණ කොමිස් මුදල් කොපමණ දැයි සෙවීමට කිසිවකු ක්‍රියාකර ද නැත. ඒ එකක් පමණකි.

කෙසේ හෝ වේවා තෙල් සංස්ථාව යටතේ ක්‍රියාත්මක ඉන්ධන හල් ක්‍රම ක්‍රමයෙන් අර්බුදයකට යමින් තිබේ. ඉන්ධන හා ඉන්ධන මිල පාලනය විදෙස් සමාගම්වලට නතුවෙමින් තිබෙන බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ චෝදනාවකි. මේ වනවිට සිපෙට්කෝ ඉන්ධනහල්වලට ඉන්ධන ඇනවුම් කිරීමේ දී ඒ සඳහා මුදල් ඒ මොහොතේම බැර කළ යුතුව ඇත. සාමාන්‍යයෙන් ලීටර් 6600ක් අඩංගු ඩීසල් බවුසරයක් සඳහා ඉන්ධනහල් හිමියෙක් රුපියල් විසිනවලක්‍ෂ හාරදහසක මුදලක් සංස්ථාවට ගෙවිය යුතුය. ඔවුන්ට ඒ ඩීසල් තොගය අලෙවි කළ පසු ලැබෙන්නේ රුපියල් අසූහත් දහස් එකසිය විස්සක කොමිස් මුදලකි. ඒ ලැබෙන මුදලින් ඉන්ධන හල පවත්වාගෙන යෑම, අලුත්වැඩියා කිරීම, සේවක පඩිනඩි ආදිය මෙන්ම විදුලි ගාස්තු ඇතුළු සියල්ල පියවා ගැනීමට සිදුව ඇත. නමුත් විදෙස් සමාගම්වලට අයත් ඉන්ධනහල්වලට යම්කිසි සහන කාලයක් යටතේ ඇනවුම් සඳහා මුදල් ගෙවීමට ඉඩ සලසා ඇත. ඉන්ධනහල්වලට විශේෂ කොමිස් මුදල් ලබාදෙමින් තිබේ. මේ ඇතිවී තිබෙන තත්ත්වය හමුවේ සංස්ථාවේ පාලනය යටතේ ඇති සිපෙට්කෝ ඉන්ධනහල් හිමියෝ දැඩි අර්බුදයකට ලක්ව සිටිති. තරගකාරිත්වය කෙසේ වෙතත් සිපෙට්කෝ ඉන්ධනහල් වැසී යන තැනට පත්ව යන බවට ඔවුන් පවසන්නේ ඒනිසා ය. දැනටමත් සංස්ථාවට අයත් “සිපෙට්කෝ” ඉන්ධනහල්වල අලෙවිය සියයට විස්සකින් පහළ බැස හමාරය. තෙල් සංස්ථාව ද ක්‍රම ක්‍රමයෙන් හැකිළෙමින් තිබෙන බව කියන්නේ තෙල් සංස්ථා සේවකයන්මය. හෙට අනිද්දාට විදුලිබල මණ්ඩලය ද ප්‍රතිව්‍යුහග කරන්නට නියමිතය. අනෙක් රාජ්‍ය ආයතන ද ඒ ආකාරයට ප්‍රතිව්‍යුහගත කරන්නට සියල්ල සැකසෙමින් තිබේ. මේ රාජ්‍ය ආයතන සියල්ලම පාහේ පාඩු ආයතනය ය. රටේ ආර්ථිකයට බරකි. ඒවා ප්‍රතිව්‍යුහගත කිරීමේ වරදක් නැත. රාජ්‍ය සේවාව ම අකර්මණ්‍යයය. මේවා සියල්ල යාවත්කාලීන කර කාර්යක්‍ෂම කළ යුතුමය. නාස්තිය, දූෂණය, වංචා නතර කළ යුතුය. නමුත් එය කළ යුත්තේ රටේ උන්නතිය පිණිසය. පොදු මහජනතාවට සෙත සැලසෙන පරිදිය.

නමුත් මේ වනවිට සිදුවෙමින් තිබෙන්නේ කාලයක් තිස්සේ මුදල් විනාශ කළ මේ ආයතනවල සියලු පව් ජනතාව මත පතිත කිරීමය. විදුලිය, ඉන්ධන මිල ගණන් ඉහළ දමන්නේ ඒ පව් පියවා ගැනීමටය. එනිසා රාජ්‍ය සම්පත් මෙයාකාරයට වළපල්ලට දමා රජය රාජ්‍ය ව්‍යාපාරවලින් ඉවත් වීමට පෙර පවතින අඩුපාඩු සොයා බැලීම අතිශය වැදගත් බව ද කිව යුතුව තිබේ.

‘මීට අමතරව දෛනිකව තෙල් මිල සංශෝධනය කරන බවද ඇමැති කංචන විජේසේකර මහතා පවසයි. මිල සංශෝධනය යනු බොහෝ විට මිල ගණන් ඉහළ දැමීමකි. ඊශ්‍රායලය ආරම්භ කර ඇති ගාසා තීරය විනාශ කර හමාස්වරු සමූලඝාතනය කිරීමේ යුද්ධය ද ඉදිරියට ඇදෙමින් ඇත. මැදපෙරදිග රටවල් පමණක් නොව ඇමෙරිකාව, ප්‍රංශය, රුසියාව ආදී රටවල් ද කඳවුරු දෙකකට ගාල්වෙමින් සිටිති. මේ තත්ත්වය තුළ ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන් ඉහළ යෑමේ අවදානමක් ද මතුව ඇත. ඉන්ධන මිල දෛනිකව උච්චාවචනය කරන්නට සමාගම්වලට බලය ලබාදීමේ ආදීනව කීමට අප කලබල වන්නේ නැත. නමුත් මේ වනවිටත් ඉන්ධන මිල ගණන් දරාගත නොහැකිව තිබේ. දෛනික මිල උච්චාවචනය මත පාරිභෝගික ජනතාවට වන සෙතට වඩා සිදුවන අගතිය වැඩි වුවහොත් ඒ ගැන පුදුම විය යුතු නැත.

එදා බහුජාතික සමාගම් යටතේ පාලනය වූ තෙල්, ලිහිසි තෙල්, විදුලිය, ගමනා ගමනය දශක ගණනකට පසු සමාගම් යටතටම පත් කිරීමට සියල්ල සකසා හමාරය. එකක් පැහැදිලිය. බංකොලොත් රට ඉන් ගලවාගන්නට ගහන මේ තුරුම්පු වැරදී ගිය හොත් ආයෙත් හදන එක ලෙහෙසි පහසු නොවනු ඇත. එදාට මේ පාලකයන් බලයේ නොසිටින්නට පුළුවන. ඇතමුන් ජීවිතවලින් සමුගෙන තිබෙන්නට පුළුවන. නමුත් රට වළපල්ලෙන් ප්‍රපාතයක නම් මතු පරපුර මේ ඔලමොට්ටල තීරණ ගත් උදවියට හෙණ ඉල්ලන බව නම් නිසැකය. අදටත් ජනතාව හෙණ ඉල්ලන්නේ රට පාලනය කළ කාගෙ කාගෙත් තීන්දු තීරණ රට බංකොලොත් කර ඇති හෙයිනි.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment