ඩුබායි ග්‍රෝන් ෆ්‍රී ජාත්‍යන්තර තරගාවලියට මීටර් 100×4 කණ්ඩායම අද ඩුබායි නුවරට

39

ලෝක ශූරතා මිශ්‍ර සහාය දිවීමට මීටර් 400×4 කණ්ඩායම හෙට චීනයට

එක්සත් අරාබී එමීර් රාජ්‍යයේ ඩුබායි නගරයේ දී ක්‍රියාත්මක කෙරෙන ඩුබායි ග්‍රෝන් ෆ්‍රී ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරගාවලියට සහභාගි වීම අරමුණු කර ගනිමින් ශ්‍රී ලංකා පිරිමි මීටර් 100 × 4 සහාය දිවීමේ කණ්ඩායම අද (07) රාත්‍රී දිවයිනෙන් පිටත්ව යති.

මෙවර තරගාවලිය (09 දා) ඩුබායි පොලිස් ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ දී ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත.

ක්‍රීඩකයන් සය දෙනකුගෙන් සමන්විත වන ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරුවන් ලෙස සුමුදු ඉෂාන් මහතා සහ ක්ලාඩියෝ මහතා කටයුතු කරති.

ඉතාලියේ සිට පුහුණුවීම් වල නිරත වන යුපුන් අබේකෝන් ඇතුළුව චමෝද් යෝධසිංහ, මෙරොන් විජේසිංහ, දෙනෙත් වීරරත්න සහ චමෝද් දිසානායක යන ක්‍රීඩකයන් ඩුබායි ග්‍රෝන් ෆ්‍රී ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරගාවලියේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරති.

මේ අතරවාරයේ දී ලෝක ශූරතා සහාය දිවීමේ ශූරතාවලියට නම් කර ඇති ශ්‍රී ලංකා මීටර් 400 × 4 මිශ්‍ර සහාය දිවීමේ කණ්ඩායම (08දා) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් පිටත්ව යති.

ක්‍රීඩක ක්‍රීඩිකාවන් සය දෙනකුගෙන් සැඳුම්ලත් වන ශ්‍රී ලංකා මිශ්‍ර සහාය දිවීමේ කණ්ඩායමේ පුහුණුකරු ලෙස ඩබ්ලිව්.ජී.එම්. තුෂාර මහතා කටයුතු කරයි.

මෙම තරගාවලිය චීනයේ ගුවැංෂු පුරවරයේ දී ක්‍රියාත්මක කිරීමට ජාත්‍යන්තර මලල ක්‍රීඩා සම්මේලනය පියවර ගෙන තිබේ.

මෙවර තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම කාලිංග කුමාරගේ, අරුණ දර්ශන, සදෙව් රාජකරුණා, නිශේන්ද්‍රා ප්‍රනාන්දු, සයුරි මෙන්ඩිස් සහ නදීෂා රාමනායක යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් නියෝජනය කරති.

අනුරුද්ධ හේරත් බණ්ඩාර


advertistmentadvertistment