ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා

පසුගිය 26 වැනි දා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාතිය අමතා කළ කතාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා දැක්වූ අදහස් පහත පරිදි වේ.

ප්‍රශ්නය – ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසු ගිය 26 වැනි දා ජාතිය අමතමින් ප්‍රකාශ කළා රට බංකොලොත්බවින් මිදී ඇති බව. නමුත් පසු ගිය දෙසැම්බර් මාසයේ දී මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළා රට බංකොලොත් යනුවෙන් ප්‍රකාශ නොකළ බව.එම ප්‍රකාශයන් පිළිබඳව සඳහන් කළ හැක්කේ කුමක් ද ?

පිළිතුර – ඇත්ත මෙතැන ලොකු පටලැවිල්ලක් තියෙනවා, මේ බංකොලොත්බාවය(Bankruptcy) කියන වචනය භාවිත කිරීම සම්බන්ධයෙන්. මේක පසුගිය දවසක මුදල් රාජ්‍ය ඇමැතිවරයා සහභාගීවූ රූපවාහිනි වැඩසටහනක දී එතුමා ද පිළිගත්තා, බංකොලොත් කියන එක සාමාන්‍ය ව්‍යවහාරයේ භාවිත වන වචනයක් නිසා ඒක යොදාගැනීම පිළිබඳ දැන් ගැටලු රැසක් තියෙනවා කියලා. එතුමා මේ විෂය පිළිබඳ හොඳ අවබෝධයක් තියෙන කෙනෙක්. 26 වැනි දා ජාතිය අමතලා ජනාධිපතිතුමා කීවෙත් ඒක ලේබලයක් කියලා. අපේ රටේ ඇත්ත සමාජගත වෙන්නේ බොහෝම අඩුවෙන්. කවුරුවත් හොයල බැලුවේ නෑ මෙහෙම කියන එක හරි ද කියලා. සමහරුන් කතා පවත්වනවිට අතින්දාලා වඩා රසවත් විදිහට කියනවා. මෙතැනදි තමයි, අර විශ්ලේෂණශීලි මාධ්‍යකරණය වැදගත් වෙන්නේ. කවුරු හරි ගහපු අර පෝස්ටරයත් එහෙම එකක්. දැන් මිනිස්සු අහනවා මොකක්ද සුබ පණිවුඩේ කියලා. එක එක විකාර අර්ථ දැක්වීම සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වෙනවා. අපිට තිබුණේ රජයේ නිලනිවේදනය බලන්න. එකේ එහෙම එකක් කියල තිබුණේ නැහැ.

ප්‍රශ්නය – ඇත්තටම ආර්ථික විද්‍යාවට අනුව රටක් බංකොලොත්බාවයට පත්වීම යනු කුමක් ද?

පිළිතුර – සාමාන්‍ය ව්‍යවහාරයේ රාජ්‍යය බංකොලොත්බාවයට පත්වීම (A state bankruptcy) යනුවෙන් හඳුන්වන්නේ රජයකට සිය ණය සහ පොලී නියමිත කාලය තුළ ගෙවීමට අසමත් වීමයි.

එමෙන්ම, ණය හිමියන්ට ගෙවිය යුතු ණය ගෙවීමට අපොහොසත් වීම පිළිබඳව, රජය විසින් නිල නිවේදනයක් මගින් හෝ සමහරවිට නිල නිවේදනයක් පළ කිරීමකින් තොරව සිදු කළ හැකියි. කොහොම වුණත් පුද්ගලික ව්‍යාපාරයක් බංකොලොත් යැයි ප්‍රකාශ කරන අකාරයට රටකට බංකොලොත්බාවය ප්‍රකාශ කළ නොහැකියි. ඒක තරමක සංකීර්ණ ක්‍රියාවලියක්. අපි 26 වැනිදා තමා ප්‍රතිව්‍යුහගතකරණය සඳහා වන ගිවිසුම් අත්සන් කළේ. එයට හේතුව තමයි රටක් බංකොලොත් කියනවා වෙනුවට ඕනෑම රජයකට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියක් ආරම්භ කිරීමට හැකියාව තිබීම. එයින් අදහස් කරන්නේ ලබාගත් ණයවල කොන්ත්‍රාත් කොන්දේසි සියලුම ණය හිමියන් සමග එකවර හෝ වෙන් වෙන් වශයෙන් නැතිනම් ණය වර්ග කර ඒ අනුව ගිවිසුම් සහ වෙනයම් කොන්දේසි වේනම් ඒවා නැවත සාකච්ඡා කිරීමයි.

2022 අප්‍රේල් 12දා ලක් රජය විසින් නිවේදනයක් නිකුත් කළා, අප්‍රේල් 12දා වනවිට සියලුම විදේශ ණය ආපසු ගෙවීම තාවකාලිකව අත්හිටුවන බවත් එවැනි පියවරක් ගනු ලැබුවේ විදේශ ණය සේවා සැපයීමේ නොහැකියාව සහ මුළු ඩොලර් බිලියන 51ක විදේශ ණය තිරසාර නොවීම හේතුවෙන් බව සඳහන් කරමි. එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබන ඉදිරි ආර්ථික ආධාර වැඩසටහනට අනුකූලව බාහිර ණය බැඳීම් ‘පිළිවෙළින් සහ එකඟතාවයෙන්’ ප්‍රතිව්‍යුහගත කිරීමට සූදානම් බවත් එහිදී සඳහන් කර තිබුණා.

තව බොහෝ විස්තර ඒ නිවේදනයේ තිබුණා. ඒත් කොතැනකවත් “රටේ ආර්ථිකය බංකොලොත්බාවයට පත්වුණා කියල” සඳහන් වෙලා තිබුණේ නෑ. මේ ගැන මුදල් ලේකම්වරයාගෙන් අවස්ථා ගණනාවකදී අපි පාර්ලිමේන්තුවේදී විමසා සිටියා. එම අවස්ථාවලදී ඔහු සඳහන් කර සිටියේ, තෝරාගන්නා ලද සමහර විදේශ ණය ආපසු ගෙවීම තාවකාලිකව අත්හිටුවන බවත් එවැනි පියවරක් ගනු ලැබුවේ විදේශ ණය සේවා සැපයීමේ නොහැකියාව නිසා බවයි”.

මහ බැංකු අධිපතිවරයා සහ මුදල් ලේකම්වරයා ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා සමග පැවැති සාකච්ඡාවකදී නැවත නැවතත් සඳහන් කරනවා “ඒක තාවකාලික අත්හිටුවීමක් මිස රටේ ආර්ථිකය බංකොලාත් වීමක් ලෙස අර්ථ දැක්වීම වැරදි බව”.

දැන් ප්‍රශ්නය වන්නේ කවුද ඇත්ත කියන්නේ කියන එක නෙමේ. දැන් ප්‍රශ්නය තමයි මුදල් ලේකම්වරයා සහ මහ බැංකු අධිපති නෑ අපි එහෙම කිව්වේ නෑ කියනවා නම්, රට බංකොලොත් කියන බොරුව සමාජ ගතකළේ කවුද කියන එක.

එම නිසා අප විස්වාස කරනවා බංකොලොත්බාවය (Bankruptcy) යන වචනය හරි අවබෝධයක් නොමැති පිරිසක් විසින් වැරදි අර්ථ කථනයක් දී දේශපාලන වාසි ලබාගැනීම සඳහා සමාජ ගතකරන ලද ලේබලයක් කියලා. සජිත් ප්‍රේමදාස මහතා ඒ අතරින් ප්‍රමුඛයි. එතුමාට ඒ සම්බන්ධයෙන් කිසිම අවබෝධක් නැහැ. එතුමා කතා සාගරයක් පමණයි.

ප්‍රශ්නය – ණයවර ලිපියක්වත් නොපිළිගන්න තත්ත්වයක තිබූ රට වසර දෙකක් තුළ මුදාගත් බවත් ජනාධිපතිවරයා සඳහන් කළා. ඒ සම්බන්ධයෙන් සඳහන් කිරීමට තිබෙන්නේ කුමක් ද?

පිළිතුර – ජනාධිපතිවරයා එහෙම කීවානම් එකේ ලොකු ඇත්තක් තියෙනවා. ඒකට හේතුව 26 වැනි දා අපි ණය හිමියන් සමග ගිවිසුම් ගතවෙනකල් අපේ ණයවර ලිපියක්වත් පිළිගත්තෙ නැහැ. අපි අරන් තිබුණු ණයවලින් සමහර ඒවා ගෙවන්න බෑ කියල අපි ණය හිමියන් දැනුවත් කරලනේ තිබුණේ. දැන් ආණ්ඩුව අයි.එම්.එෆ්. සංවිධානයේ මැදිහත්වීමෙන් ණය ප්‍රතිව්‍යුහගත කරගෙනනෙ ඉන්නේ. ඉතින් ඒක හොඳයිනේ.

ඇත්තටම වුණේ රට බංකොලොත්බාවයෙන් මුදා ගැනීමක් නොවේ. අපි ගත්ත ණය ගෙවන්න බැරි නිසා ප්‍රතිව්‍යුහගත (restructure) කිරීම සඳහා වන ගිවිසුම් ණය හිමියන් සමග අත්සන් කළා. එමගින් විදේශ රටවල් සමග ඇති සියලුම ද්විපාර්ශ්වික ණය ගෙවීම් 2028 දක්වා කල් දැම්මා. මීට අමතරව, සහනදායී කොන්දේසි මත මෙම ණය ආපසු ගෙවීමට ශ්‍රී ලංකාවට 2043 දක්වා කාලය දීල තියෙනවා.

ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ ගැන කියන විදිහට ඩොලර් බිලියන 10ක ද්විපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා චීනය සහ අනෙකුත් ණය දෙන රටවල් සමග ශ්‍රී ලංකාව ඇති කරගත් ගිවිසුම් ණය තිරසාරබව යථාතත්ත්වයට පත්කිරීමට හේතුවී තියෙනවා.

ප්‍රශ්නය – මීට පෙර 16 වතාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගියත්, සාර්ථක වූයේ මෙම අවස්ථාවේ දී පමණක් බවත් ජනාධිපතිවරයා සඳහන් කළා. ඒ සම්බන්ධයෙන් සඳහන් කිරීමට තිබෙන්නේ කුමක් ද ?

පිළිතුර – ජනාධිපතිතුමා අවුරුදු 50කට කිට්ටු කාලයක් දේශපාලනය කරනවා. කැබිනට් ඇමතිවරයකු, අගමැතිවරයකු සහ දැන් අනුප්‍රාප්තික ජනාධිපතිවරයා විදිහට අතිවිශාල අත්දැකීමක් තියෙන කෙනෙක්නේ. එතුමා මේ විදිහටම අයි.එම්.එෆ් සංවිධානයත් සමග අවස්ථා ගණනාවකදී කතා කරල ඇති. ඒත් අයි.එම්.එෆ්. සංවිධානය අපේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම සඳහා කර ඇති යෝජනා මුළුමනින්ම ක්‍රියාවට නංවනකල් එවායේ ප්‍රතිඵල පිළිබඳව පුරෝකථනයක් කරන්න අමාරුයි. ක්‍රියාවට නංවන කොට යම් යම් බාධක එනවා, ප්‍රතිවිරෝධතා ගොඩනැඟෙනවා, ආණ්ඩු මාරු වෙනවා එතකොට ඉතින් යම් යම් සංශෝධන එනවා. සමහරවිට මුල් යෝජනා ක්‍රියාත්මක වීම ඇනහිටිනවා. පහුගිය 16 වතාවෙම එහෙම තමා වුණේ.

අපේ සමහර අය හිතාගෙන ඉන්නේ අපිට විතරයි ගත්ත ණය ගෙවන්න බැරි වුණු එකම රට කියලා. අපේ අය දන්නේ නැතිවුණාට යුරෝපා මහද්වීපයේ රටවල්වලින් අඩකට ආසන්න ප්‍රමාණයක්, අප්‍රිකාවේ රටවලින් 40%ක් සහ ආසියාවේ රටවල්වලින් 30%ක් පසුගිය සියවස් දෙක තුළ බංකොලොත්බව ප්‍රකාශ කර තිබෙනවා. ඉක්වදෝරය 10වතාවක් එරට බංකොලොත්බව ප්‍රකාශ කර තිබෙනවා. බ්‍රසීලය, මෙක්සිකෝව, උරුගුවේ, චිලී, කොස්ටාරිකාව, ස්පාඤ්ඤය සහ රුසියාව එම කාලය තුළ නව වතාවක් බංකොලොත්බව ප්‍රකාශ කර තිබෙනවා. ජර්මනිය වසර දෙකහමාරක් තුළ අට වතාවක් බංකොලොත්බවින් පීඩා විඳ තිබෙනවා. එමෙන්ම එක්සත් ජනපදය පස්වතාවක්, චීනය සහ එක්සත් රාජධානිය හතර වතාවක්, සහ ජපානය දෙවරක් බංකොලොත්බව ප්‍රකාශ කර තිබෙනවා. රුසියාව අනූව දශකයේ අගභාගයේදී බංකොලොත්බව ප්‍රකාශ කළ අතර 2001 දී ආර්ජන්ටිනාව ද බංකොලොත්බව ප්‍රකාශ කළා. ආර්ජන්ටිනාව 2001 දී බංකොලොත්බව ප්‍රකාශයට පත්කළේ ඩොලර් බිලියන 145ක ණයක් සමග. ඒ වනවිට එරට විරැකියාව 20%කට වඩා වැඩිවී තිබුණා. 1982 දී මෙක්සිකෝව ඩොලර් බිලියන 80ක් වටිනා රාජ්‍ය ණය පැහැර හැරියා. 2020 මාර්තු මාසයේදී, ලෙබනනය එහි දැවැන්ත ණය ආපසු ගෙවීම පැහැර හැරියා. ඒ වනවිට ඩොලර් බිලියන 90ක් හෝ දළ දේශීය නිෂ්පාදිතයෙන් 170%ක් පමණ වූ එම අගය ලෝකයේ ඉහළම ණය පැහැර හැරීමක්.

ප්‍රශ්නය – මේ වනවිට ක්‍රියාත්මක ආර්ථික වැඩපිළිවෙළ තවදුරටත් ක්‍රියාත්මක වුවහොත් නැවත අයි.එම්.එෆ් එකට යන්න සිදුනොවන ශක්තිමත් සහ විනයානුකූල දියුණු ආර්ථිකයක් රට තුළ බිහිවන බවත් ජනාධිපතිවරයා සඳහන් කළා. එම ප්‍රකාශය ඔබ දකින්නේ කෙසේ ද?

පිළිතුර – අපි කියන්නෙත් එතුමා කියන එකම තමයි. අපි තවපාරක් අයි.එම්.එෆ් එකට නොයා යුතුයි. අපිට ආයේ යන්න වුණොත් දාන කොන්දේසි මීටත් වඩා අසීරූ ඒවා වෙන්න පුළුවන්. එහෙම වුණොත් විශාල සමාජ ව්‍යසනයක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා මේක අපට ලැබුණු අවස්ථාවක් විදිහට සලකළා ආර්ථික සංවර්ධන උපාය මාර්ග සකසා ගතයුතුයි. අපේ රටේ ආර්ථිකය දියුණු කරන්න බහුවිධ ප්‍රතිසංස්කරණ අවශ්‍යයි. එහෙම නැතුව ගෙවන්න තියෙන ණය පමා කළා කියලා දියුණු ආර්ථිකයක් අපේ රට තුළ ඇතිවෙන්නේ නෑ.

ප්‍රශ්නය – ඔබ 2008 සැප්තැම්බර් මස 21 වැනි දින පළ වූ දිවයින ඉරිදා සංග්‍රහය සමග අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබෙනවා “මූල්‍ය කළමනාකරණයෙන් විප්ලවීය වෙනසක් නොකළොත් රට විදේශීය ණය උගුලක හිරවෙන්න පුළුවන් බව”. එතරම් දුරදක්නා දැක්මක් තිබූ ඔබත් සම්බන්ධව සිටී පසු ගිය ආණ්ඩුවට රට තුළ ඇති වූ ආර්ථික අර්බුදය කළමනාකරණය කර ගැනීමට නොහැකි වීම සඳහා බලපෑ හේතු සාධකයන් මොනවා ද?

පිළිතුර – මම නම් විශ්වාස කරන්නේ නෑ රටේ ප්‍රශ්න එක රැයකින් ඇතිවුණු ඒවා කියලා. ඒ වගේම එක රැයකින් විසඳන්න පුළුවන් කියලා. අවාසනාවකට අපි ඉන්නේ කලින් කලට රට තුළ නැති ප්‍රශ්න ඇතිකරන යුගයක. හැම එකටම විරුද්ධයි. දැන් ගන්නකො අරගලය. කාගේ වුවමනාවකට කවුරුන් විසින් ඇති කළා ද කියලා අපි නම් දන්නේ නෑ. මේ රටේ තරුණ නැඟීටීම් දෙකක් ඇති කළා. ලක්ෂයක් විතර තරුණ පිරිසකට ජීවිත අහිමි වුණා. කෝ කරපු අය? ලබාගත්ත ජයග්‍රහණ මොනවා ද? ඒකට අද සොරි කියලා හරි යනවා ද? අද ඒ අය පක්ෂයේ නම මාරු කරගෙන හදන්න යන හීන ආණ්ඩුවට වැඩපිළිවෙළක් තියෙනවා ද? ඒ නිසා තමයි අපි කියන්නේ රටේ ප්‍රශ්න විසඳන්න පුළුවන් කවුරු ආවත් එයාටහරි වෙන කාටහරි කරගෙන යන්න පුළුවන් ජාතික වැඩපිළිවෙළක් හදමු කියලා. මහින්ද මකල, රනිල් ඉස්මතු කරන්න බෑ. ඒ වගේම තමා රනිල් මකල, සජිත් මතු කරන්නත් බෑ. වැඩපිළිවෙළ තමා මතු කළ යුත්තේ. ඒකෙන් මම මෙච්චරක් කරා කියල සතුටු වෙන නායකයකු තමා අපිට මේ වෙලාවෙ වැදගත්.

ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව පැවැති අර්බුදය සමනය කර ගන්න නොහැකියාවක් තිබුණාය කියලා මම හිතන්නේ නෑ, හැකියාව තිබුණා. අර්බුදය සමනය කිරීමට හැකියාව සහිත හරි හමන් කණ්ඩායමක් එතුමට හිටියේ නෑ. හිටිය අයත් වගකීම පැහැර හැරියා. ඒ වගේම එතුමා දක්ෂයෝ නෙමේ ළඟට ගත්තේ. ඒ වගේම තමා විශ්වාසවන්තයෝ ගැන ලොකු විශ්වාසයකින් කටයුතු කළා. එතුමන්ව බලයට ගෙනාපු බලවේග අමතක කළා. අවාසනාවකට මේ සියල්ලටම අතිරේකව කොවිඩ් වසංගතයයි, ලෝක ආර්ථික අර්බුදයයි ආවා. ඒකෙන් ඇතිකරපු බලපෑම ප්‍රභලයි. අපි ආර්ථික වශයෙන් ඉතා අසීරු තැනකට වැටුණා. රුපියල්වලින් රට කරන්න බැරි බව නොදැන කටයුතු කළා. අරගලයට ඉඩ ප්‍රස්ථාව විවර වුණා. එතුමාගේ රජය ආරක්ෂා කරගන්න බැරි වුණා. ගෝඨා ගෝ හෝම් කියල එතුමාව පිට මං කළා. රටට තිබුණු හොඳ අවස්ථාවක් අහිමි වුණා.

ප්‍රශ්නය – ජනාධිපතිතුමා සඳහන් කළා තමන්ගේ පක්ෂයට බලය නොමැතිව, තමන්ගේ ඇමැති මණ්ඩලයක් නොමැතිව, තමන් පත්කළ නිලධාරීන් නොමැතිව රට බංකොලොත්බවින් මුදාගත් බව. ජනාධිපතිවරයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පිළිබඳව වචනයක්වත් සඳහන් කළේ නැහැ. ඒ සම්බන්ධයෙන් සඳහන් කිරීමට තිබෙන්නේ කුමක් ද?

පිළිතුර – මම නම් ඒ කථාව පිළිගන්නෙ නෑ. එතුමන් අනුප්‍රාප්තික ජනාධිපති. අපි 134දෙනෙක් අත උස්සලා පත්කර ගත්ත කෙනා. අපේ ජනවරම. හිටපු ඇමැතිවරු, නිලධාරි ඒ සේරම එතුමාගේ උරුමය. අලුතින් ඇමැතිවරු සහ රාජ්‍ය ඇමැතිවරු කීපදෙනකුත් පත්කර ගත්තානේ. ආණ්ඩුකාරවරු කීපදෙනකුත් එක්ක. එතුමා වැඩ කරන්නේ එතුමාගේම කණ්ඩායමක් එක්ක. ඒ වගේම එතුමාගේ වැඩේ පහසු වෙලා තිබුණේ එතුමා ජනාධිපති ධුරයේ වැඩ භාර ගන්නකොට තෙල්, ගෑස්, බෙහෙත්, අත්‍යවශ්‍ය අහාර පිළිබඳ ගැටලුව විසඳිලා තිබුණේ, ඉන්දියානු ආධාර මත. බැසිල් රාජපක්ෂ ඒ වෙනුවෙන් වෙහෙසුනා කියන එක දැන් කට්ටියට අමතකයි. එතුමා අනුප්‍රාප්තික ජනාධිපතිවරයා විදිහට කටයුතු කළානම් තත්ත්වය වෙනස් වෙන්න තිබුණා.

ජනාධිපතිතුමා එක්සත් ජාතික පක්ෂයේ නායකයා. පක්ෂය ගොඩනඟන එක එතුමගේ වගකීම වෙලා. එතුමා ළඟ ඉන්න පොඩි අයත් එතුමාගේ බලය අතට අරගෙන ඉන්නේ. අපෙනුත් පිරිසක් ඒ කටයුත්තට සහාය දෙනවානේ. ඉතින් මොකට ද එතුමා පොදුජන පෙරමුණ ගැන කතා කරන්නේ. මම හිතන්නේ ඒ එතුමාගේ හැටි. අපිට නායකයෙක් ඉන්නවා රට ම ආදරය කරන. අපිට වැඩපිළිවෙළක් තියෙනවා. හොඳ ජන පදනමක් තියෙනවා. අපිට ජනතාව අතරට යන්න පුළුවන්. ඕනෑ මැතිවරණයක් අපට දිනන්නත් පුළුවන්. අපේ පාක්ෂිකයෝ සතුටු වෙනවා, එතුමා පොදුජන පෙරමුණ ගැන කතා නොකිරීම පිළිබඳව.

සාකච්ඡා කළේ – එරික් ගාමිණි ජිනප්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment