තරගයට වැඩ කරන්න පුළුවන් අයෙක් ඉන්නවා නම් ඉදිරිපත් වෙන්න

59

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් අභියෝගයක්
රණසිංහ ප්‍රේමදාස ජන්ම ශත සැමරුමට තව පාසල් 100කට සුහුරු පන්ති කාමර 100ක් ලබා දෙනවා

තමා බෙදනවා කියා බනින අයට පුළුවන් නම් තමාටත් වඩා රටට අගයක් එකතු කර පෙන්වන ලෙස අභියෝග කරන බවත් ඒ තරගය දිනන්න නම් කාටවත් නොහැකි බවත් ඕනෑම අවස්ථාවක තමා තරගයට වැඩ කරන්න සූදානම් බවත් ඉන් අවසානයේ ජය ගන්නේ ජනතාව බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා.

තමා මේ අභියෝග කරන්නේ තරගයට රටට අගයක් එකතු කිරීමට මිස මිනීමැරීමට, ගිනි තැබීමට නොවන බවත් මිනීමරන්න ගිනි තියන්න දක්ෂයෝ රටේ සිටියත් රටට අගයක් එකතු කරන්න පුළුවන් දක්ෂයෝ අඩු බවත් අපි සැවොම තරග කර ලක්ෂ 220ක් ජනතාවගේ ජන ජීවිත ශක්තිමත් කිරීමට එක්වන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.

තරගයට වැඩ කරන්න පුළුවන් අයෙක් ඉන්නවා නම් ඉදිරිපත් වෙන්න

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ 01දා ගම්පහ අත්තනගල්ල අලවල මහා විද්‍යාලයට සක්වල සුහුරු පන්ති කාමර වැඩසටහනේ 217 වැනි අදියර යටතේ රුපියල් 1,177,000ක් වටිනා සුහුරු පන්ති කාමරයක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙහිදී පාසල් සංවර්ධන අරමුදලට රුපියල් ලක්ෂයක මුදලක්ද පරිත්‍යාග කළේය. එසේම මෙම පාසලෙන් ඉගෙනුම ලබන මෙවර විශ්වවිද්‍යාලයට තේරී පත් වූ එම්.ඒ. ඉමාෂා මධුශානි සහ ඩී.ඩී. මහේෂිකා නන්දසිරි යන සිසුවියන් දෙදෙනාට රු. දසදහස බැගින් මුදල් ත්‍යාගද පිරිනැමීය.

විකල්ප යැයි කියා ගන්නා අයත් තනතුරුවල මෙන්ම විපක්ෂයේ සිටියත් රටට අගයක් එකතු නොකළ බවත් නිදහසින් පසු ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසය තුළ රටටම බලයක් නොමැතිව වැඩක් කළේ කවුද කියා කියන ලෙස අභියෝග කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය. වැඩ බැරි කයිවාරුකාරයෝ කයිය නායකයෝ තමා බස් බෙදන නිසා බස් මෑන් කියන බවත් බෙදිල්ලෙන් රටක් හදන්න බැහැ කියන බවත් දරුවන්ට ඇති සම්පත් හිඟතාවට ඇති විසඳුමක් වන්නේ බෙදීම බවත් මෙයත් එක්තරා ආකාරයක විසඳුමක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ජුනි 23 වැනිදාට යෙදී තිබෙන රණසිංහ ප්‍රේමදාස මහතාගේ 100 වැනි ජන්ම දිනය නිමිති කරගෙන තව සුහුරු පන්ති කාමර 100ක් පාසල් 100කට ලබාදෙන බවත් කයිය නායකයන්ට එය නරක ආරංචියක් වුවත් ඊර්ෂ්‍යා කාරයන්ට මඩකාරයන්ට මේ වැඩසටහන නතර කිරීමට ඉඩ නොදෙන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

රට බංකොලොත් වී ජන ජීවිත කඩා වැටී ආදායම් මාර්ග අහිමි වී ඇති මොහොතක මේ රටේ පවතින අධ්‍යාපන ක්‍රමයෙන් දරුවන්ටත් රටටත් සාධාරණත්වයක් නොවන බවත් විෂයන් කිහිපයක් හැරුණු කොට බහුතරයක් විෂයන් රැකියා වෙළෙඳපොළට උචිත නොවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය. එම නිසා මේ අධ්‍යාපන ක්‍රමය වෙනස් විය යුතු බවත් තමා කිසිම විටෙක ඡන්ද මල්ල ගැන නොසිතන බවත් සිංහල පමණයි දමිළ පමණයි කියමින් සමහර අය ඡන්ද මල්ල ගැන සිතුවත් තමා යථාර්ථය ගැන කතා කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment