තොටළඟ තොරණේ අතීත කතාව

66

තොරණ සම්ප්‍රදාය හඳුන්වාදෙමින් මෙරට ඉදිකරන ලද පළමු තොරණ ලෙස ඉතිහාසයට එක්වන තොටළඟ තොරණ පළමු වරට ප්‍රදර්ශනය කරනු ලබන්නේ මීට වසර 68 කට පෙර 1955 වර්ෂයේ වෙසක් පොහෝ දිනයේදීය.

තොටළඟ තොරණේ අතීත කතාව

දෙස් විදෙස් කාගේත් අවධානය දිනා ගැනීමට සමත් වූ එම තොරණේ නිර්මාතෘවරයා වන්නේ එකල නාගලගම් වීදියේ පදිංචිව සිටි දානපතියකු වූ ව්‍යාපාරික හෙට්ටිආරච්චිගේ විල්මට් පෙරේරා මහතාය.

පළමු වෙසක් තොරණ ලෙස 1955 වර්ෂයේ ඉදිකරන ලද තොරණට පාදක වුණේ මහා භද්‍රකල්ප ජාතක කතා පුවතය. අඩි 105ක් පමණ උසින් යුත් එම තොරණට විදුලි බුබුළු දෙලක්‍ෂ පනස්දහසක් පමණ යොදාගෙන ආලෝකමත් කර තිබුණි.

තොටළඟ තොරණේ අතීත කතාව

විල්මට් පෙරේරා මහතා ස්වකීය පුද්ගලික ධන පරිත්‍යාගයෙන් ඉදිකරන ලද තොටළඟ තොරණ මෙරට තොරණ කලාවේ ප්‍රභාවත් සංකේතයක් ලෙස හඳුන්වා දිය හැකිය. මෙරටට වෙසක් තොරණ හඳුන්වාදීමේ පුරෝගාමියා වූ විල්මට් පෙරේරා මහතා 1988 වර්ෂයේ දී මිය යන්නේ තොටළඟ තොරණේ එක් පරිච්ඡේදයක් නිමා කරමිනි.

තොටළඟ තොරණේ අතීත කතාව

ව්‍යාපාරික හෙට්ටිආරච්චිගේ විල්මට් පෙරේරා සහ බිරිඳ

ඒ මහතාගේ අභාවයෙන් පසුව මෙම තොරණ ඉදිකිරීමේ භාරධූර වගකීම තම දෙවුර මතට ගත් ඔහුගේ පුත් ව්‍යාපාරික එච්. ඒ. අනුර ආනන්ද පෙරේරා මහතා දැක්වූ අදහස් කීිපයකි මේ.

“මගේ තාත්තා මීට අවුරුදු 60කට විතර කලින් තොටළඟ හිටපු ධනවත් ව්‍යාපාරිකයෙක්. දැන් තොටළඟ ජීවත්වෙන පරණ මිනිස්සු මගේ තාත්තා ගැන දන්නවා. මගේ තාත්තාගේ මිතුරෝ කියන විදිහට සමාජ සේවය පිණිස වගේම විනෝදය පිණිසත් මගේ තාත්තා යහමින් සල්ලි වියදම් කරලා තියෙනවා. ඔහොම යද්දි අපේ ගෙවල් කිට්ටුව පොඩි ළමයි ටිකක් එකතු වෙලා පුංචි තොරණක් හදන විදිහ දැකලා තමයි මගේ තාත්තා තීරණය කරලා තියෙන්නේ තොටළඟට ගෞරවයක් ගේන්නත් එක්ක පියාගේ වියදමෙන් ලොකු තොරණක් ඉදි කළ යුතුයි කියලා.

තොටළඟ තොරණේ අතීත කතාව

ව්‍යාපාරික එච්. ඒ. අනුර ආනන්ද පෙරේරා

තොටළඟ වර්තමානයේ මෙන් එකල දියුණු ප්‍රදේශයක් නොවූ අතර මුළු තොටළඟම නම රැන්දූ තොරණ ඉදිකිරීමේ දී ප්‍රදේශවාසීන් සියලු දෙනා එකාවන්ව විල්මට් පෙරේරා මහතාට සහයෝගය දැක්වූහ.

“ඒ කාලේ අද වගේ පහසුකම් තිබිලා නැහැ. විදුලිය තිබුණෙත් කලාතුරකින් ගෙදරකට. තොරණට විදුලිය දුන්නේ අපේ ගෙදරින්. මිනිස්සු තොරණ බලන්න ආවෙත් කුප්පි ලාම්පු පත්තු කරගෙන කියලා ඒ දවස්වල හිටපු අය කියනවා. ගමේ මඟුලක්, මරණයක් වුණත් අපේ තාත්තා තමයි අපේ ගෙදරින් විදුලිය ලබා දෙන්නේ.

“සල්ලි කීයක් වියදම් වුණත් කරන වැඩේ හරියට කරන එක තමයි තාත්තගේ පුරුද්ද. කොහොම හරි තොරණ වැඩේ පටන් ගත්තාට පස්සේ ගමේ හැමෝම වගේ පුළුවන් උපරිමයෙන් සහයෝගය දීලා තියෙනවා. තොරණට පුවක් ගස් දෙතුන් සීයක් ඕනෑ වෙලා තියෙනවා. ඒවා ගෙනත් තියෙන්නේ යටියන්තොට, රුවන්වැල්ල වගේ ප්‍රදේශවලින්, කැලණි ගඟ දිගේ තමයි තොටළඟට මේ පුවක්ගස් ගෙනාවෙ කියලා පරණ මිනිස්සු කියනවා.

“ඒ විදිහට හදපු ලංකාවේ පළමු වැනි තොරණ විවෘත කරලා තියෙන්නේ එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහත්තයා. ලංකාවේ මිනිස්සුන්ට මේක අලුත්ම අත්දැකීමක් නිසා දස දහස් ගණනින් තොරණ බලන්න ඇවිත් තියෙනවා. තොරණ විවෘත කරන වෙලාවේ හෙළිකොප්ටරයකින් මල් ඉස්සා කියලාත් දන්න අය කියනවා. තොරණ බලන්න එන ජන සන්නිපාතය වැඩි නිසා පෙන්වන්න තිබුණු දින ගණන වැඩි කරන්නත් වෙලා තිබෙනවා.

තොරණ පෙන්වද්දි අපූරු සිද්ධියක් වෙලා තියෙනවා. තොරණ ගැන රට පුරාම ප්‍රචාරය ගිය නිසා ජපන් ජාතිකයෝ කට්ටියක් ඇවිත් තියෙනවා. ඒ අය තොරණට කොච්චර වශී වෙලා තියෙනවා ද කියනවා නම් ඒ අය ඉල්ලීමක් කරලා තියෙනවා තාත්තාගෙන් තොරණ ජපානයට අරන් යන්න පුළුවන් ද කියලා. ඒ අනුව තමයි තොටළඟ තොරණ ජපානයේ ප්‍රදර්ශනය වෙන්නේ. ඒ සඳහා චිත්‍ර ශිල්පියා, නිර්මාණකරු වගේම විදුලි කාර්මික ශිල්පියාටත් ජපානයට යන්න අවස්ථාව ලැබෙනවා. දවස් කිහිපයක් ජපානයේ මෙම තොරණ ප්‍රදර්ශනය කරලා ආපසු ලංකාවට ගේන්න හදනකොට ජපානයේ දී තොරණ ප්‍රදර්ශනය කරන්න ජපානයෙන් ගත්ත විදුලිබුබුළු සහ තවත් උපකරණ විශාල ප්‍රමාණයක් අපිට තෑගි විදිහට දීලා තිබුණා.”

එවැනි අභිමානවත් අතීතයක් උරුම කර ගනිමින් ඉදිකෙරුණ තොටළඟ තොරණ අදටත් වෙසක් මංගල්‍යය වෙනුවෙන් කොළොම්පුරය ආලෝකමත් කරන තොරණ කිහිපය අතරට එක්ව තිබීම සතුටට කරුණකි.

මේ වනවිට එම කර්තව්‍ය වෙනුවෙන් සංවිධානයක් ක්‍රියාත්මක වන අතර එය සාමාජිකයන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැතීම අගය කළ යුතුය. තොටළඟ මේ වෛශාඛ්‍යාලෝක සමිතිය නමින් සංවිධානය වී ඇති මෙම පිරිස මේ වනවිට තොරණ ඉදිකිරීම පිණිස ස්ථිර කොන්ක්‍රීට් කණු තුනක් හා වෙනමම කාර්යාල ගොඩනැඟිල්ලක් ද පවත්වාගෙන යනු ලබයි.

1955 වසරේ මහා භද්‍රකල්ප කතා වස්තුව ප්‍රදර්ශනය කිරීමෙන් ආරම්භ වූ තොටළඟ තොරණ 1956 වසරේ දී යමා මහ පෙළහර ද 1957 දී පටාචාරා කතා වස්තුව ද, 1958දී කල්ප විනාශය ද ප්‍රදර්ශනය කළ අතර එම තොරණ හතර සඳහාම ධන පරිත්‍යාගය සැපැයුවේ විල්මට් පෙරේරා මහතාය. එම තොරණවල කටු තොරණ නිර්මාණය කළේ කොල්වින් පීරිස් මහතාය.

එතැන් පටන් ඒ මහතාගේ පුත් අනුර ආනන්ද පෙරේරා මහතාගේ මූලිකත්වයෙන් ප්‍රදේශයේ ව්‍යාපාරිකයන්ගේ ද සහාය ඇති ඉදිකෙරෙන තොරණේ අවසානයේ දිවා රාත්‍රී මහා දානයක් පිරිනමන අතර මෙරටට දන්සල් සංකල්පය හඳුන්වා දුන්නේ ඒ හරහාය.

1971 වර්ෂයේ සිදුවූ අප්‍රේල් කැරැල්ල හේතුවෙන් වරක් තොරණ ඉදිකිරීමට නොහැකි වූ අතර 2019 වර්ෂයේ දී පාස්කු ප්‍රහාරය හේතුවෙන් ද, කොරෝනා වසංගතය හේතුවෙන් ද අවස්ථා කිහිපයකදී තොරණ ඉදිකිරීමට නොහැකි විය. කෙසේ වුවද මෙරට ඉදිකරන ලද ප්‍රථම තොරණ ලෙස ඉතිහාසයට එක්වන තොටළඟ තොරණ අනාගත පරපුරට ද දැක බලා පහන් සංවේගය උපදවා ගැනීම පිණිස මතු මතුද ප්‍රදර්ශනය කිරීමට එහි වර්තමානයේ කැපවන සංවිධායක මඬුල්ලට ශක්තිය හා ධෛර්යය නොඅඩුව ලැබේවායි ප්‍රාර්ථනා කරමු.

කමල් බෝගොඩ


advertistmentadvertistment