දකුණු අප්‍රිකා නායිකාවගේ උපන් දිනය ආර්. ප්‍රේමදාස පිටියේදී සැමරේ

56

තුන්කොන් කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගිවීමට මෙරටට පැමිණ සිටින දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායමේ නායිකා ලෝරා වොල්වාඩ් (26 දා) සිය 26 වැනි ජන්ම දිනය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී සැමරුවාය. තුන්කොන් තරගාවලියට පෙර තරගාවලියේ පූර්ව පුවත්පත් සාකච්ඡාවෙන් අනතුරුව ශූරතා කුසලාන වෙනුවෙන් පිරිනැමෙන සර්වෝ කුසලාන එළිදැක්වීමෙන් අනතුරුව සිය උපන්දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිර්මාණය කර තිබූ උපන්දින කේක් එක කපමින් ලෝරා සිය උපන්දිනය සැමරුවාය.

ඇය එම කේකය කපන අවස්ථාව වන විට ඉන්දීය නායිකා හර්මන්ප්‍රීට් කවුර් සහ ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු ඇයගේ දෙපසින් පසුවූවාය. දකුණු අප්‍රිකානු කණ්ඩායම වෙනුවෙන් කාන්තා ටෙස්ට් තරග 4 කට සහ එක්දින තරග 101 කට සහභාගිව සිටින ලෝරා දකුණු අප්‍රිකාව වෙනුවෙන් ක්‍රීඩා කර ඇති විස්සයි-20 තරග සංඛ්‍යාව 80 කි. එම ආකෘති තුනේදීම ඇය රැස් කර ඇති ලකුණු සංඛ්‍යාව 6593 ක් වේ. මෙම තෙවැදෑරුම් තරග වලදී ඇය රැස් කරගෙන සිටින ශතක සංඛ්‍යාව 8 ක් වේ.

ඉන්දියා – දකුණු අප්‍රිකානු තරගය අද

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ ඉන්දීය කාන්තා කණ්ඩායම, දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම අතර පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් එක්දින තරගාවලියේ ඉන්දියා සහ දකුණු අප්‍රිකානු තරගය අද ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේදී ආරම්භ වීමට නියමිතයි.


advertistmentadvertistment