දඩ කොළයට බියවුණු හදවත් රෝගියා මරුට

867

බලපත්‍ර නොමැතිව යතුරුපැදියක් ධාවනය කර පොලිසියට අසුවුණ හදවත් රෝගියකු හදිසියේ මියයෑමේ සිදධියක් ඊයේ (10 දා) තඹුත්තේගම, ගුරුගමදී වාර්තා විය.

මෙලෙස මියගොස් ඇත්තේ තඹුත්තේගම, ගුරුගම අංක 40 ලිපිනයේ පදිංචි යූ. බී. ජයතිලක (56) නමැත්තාය. එදින මරණකරු සුපුරුදු පරිදි තම ගොවිපළට ගොස් ඇත. එහිදී ඇතිවූ ක්ලාන්ත ගතියක් නිසා ඒ සඳහා ප්‍රතිකාර ගැනීමට බලපත් නැති තම යතුරුපැදියෙන් තඹුත්තේගම මූලික රෝහලට පැමිණ රෝහලේ බාහිර අංශයෙන් වෛද්‍යවරයකුට පෙන්වා වෛද්‍ය උපදෙස් ඇතිව ඊ.සී.ජී. කීපයක්ද ගෙන බෙහෙත් රැගෙන ගුරුගම බලා ලුණුවැව වැව් කණ්ඩිය මතින් යන අවස්ථාවේදී රථවාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන්ගේ පරීක්‍ෂාවට ඔහු ලක්වී තිබේ.

පරීක්‍ෂාවට භාජනය වූ ජයතිලක මහතා ඉතා බියට පත්වී වැව් කණ්ඩිය මතදීම නැවත රෝගාතුර වී තිබේ. එය දුටු පොලිස් නිලධාරීන් වහාම මේ බව දුරකතනයෙන් ඔහුගේ දියණියක වන ශ්‍රියානි මල්කාන්ති මහත්මියට දන්වා තිබේ. දැඩි ක්ලාන්ත ගතියෙන් සිටි මෙම පුද්ගලයා කෙසේ හෝ යතුරුපැදිය තල්ලු කරගෙන ගොස් ඇතැයි වාර්තා වේ.

ගුරුගමදී ලෙඩේ උත්සන්න වූ හෙයින් මෙම පුද්ගලයාව ඔහුගේ බෑණා කෙනකු විසින් ත්‍රිරෝදයක දමාගෙන තඹුත්තේගම රෝහල වෙත රැගෙන එන අතරමඟදී දිවි අහිමි වී තිබේ.

මියගිය ජයතිලක මහතාගේ මෘතදේහය තඹුත්තේගම රෝහලට භාරදී ඇතැයි වාර්තා වෙයි. මෙම මරණය සම්බන්ධව තඹුත්තේගම පොලිසියටද වාර්තා කොට තිබේ.

තඹුත්තේගම – සී. එම්. ආරියපාල


advertistmentadvertistment