බුලත්සිංහල මෝල්කාව ප්‍රධාන මාර්ගයේ බස් රථ ධාවනය වූ වාර ගණනට වඩා වැඩි වාර ගාණක් ඔරු අඟුල් ගමන් කර ඇති බව සැවොම දන්නා කාරණාවකි. මෙම මාර්ගය භාවිතා කරන්නන් පාරේ බස් එකේ යනවාට වඩා අඟුලේ නැගී ගමන් ගිය වාර අනන්තය. ඔවුන්ගේ උපන් පොඩි දරුවාගේ පටන් ඕනෑම අයෙකුට අඟුලේ ගමන හොඳට හුරුය.

අප මේ කියන කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල ආසනයේ බුලත්සිංහල මෝල්කාව ප්‍රධාන මාර්ගය වසරේ හය හත් වතාවක් ගලන ගංවතුරින් යටවන්නේ මාර්ගයේ ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන්ම නතර කරමින්ය. දඹල ප්‍රදේශයේ සිට ස්ථාන කිහිපයකින්ම එකම ගංගාවක් වන මහා මාර්ගයේ ගමන් කළ හැක්කේ අඟුලකට බෝට්ටුවකට හෝ වෙනත් දිය මත පාවෙන යමකට පමණි.

ජනතාවගේ පිහිටට එන අඟුල

ගංවතුරින් බැටකන දඹල නාලියද්දෙ, පරගොඩ ආදී ප්‍රදේශවල අහිංසක ජීවිතවලට නිරන්තරයෙන් පිහිටට ඇත්තේ අඟුලක් පමණය. එහෙයින් ඔවුන්ගේ කිරි දරුවා පවා හබලේ හඬ හඳුනන්නේය.

ඔවුන්ට හබලේ හඬ තරමටම හුරුපුරුදු තවත් දෙයක් ඇත්තේ නම් ඒ දඹල ප්‍රදේශයේ අඟුල පදින සෝමරත්නත් මාමා සහ දයාරත්න මාමාත් නාලියැද්දේ ඔරුව පදින චන්දරත්න මාමාත් පමණි. සෝමරත්න සහ දයාරත්න දෙදෙනා අයිය මලෝය.

අයියා සෝමරත්නය මල්ලි දයාරත්නය. මෙම අපූරු දෙසොයුරෝ එකම අඟුලේ දෙපස හිඳිමින් හරි හරියට හබල් ගාන්නේ එකෙකුට වැඩි මහන්සියක් නොදීය.

සැබැවින්ම මේ දෙසොයුරන් අපට හමු වූයේ ගංවතුර නිසා වීමම විශේෂත්වයකි. පසුගිය සතියේ බලපෑ ගංවතුර තත්ත්වය පිළිබඳ සොයා බැලීම සඳහා අප ගිය මොහොතක අහම්බෙන් හමු වූ මොවුන් සිදු කරන කාර්යභාරය පිළිබඳව අගයන්නට සිතුවෙමු.

ගංවතුර දිනයේදී යන්තම් ඉර එළිය වැටෙන කොට බුලත් විටක් ඒදා කටේ දමාගන්නා මොවුන්ගේ ප්‍රධාන රාජකාරිය පාසල් දරුවන් එතෙර කිරීමයි. එතැන් සිට රාජකාරීන් සඳහා යන පිරිස් එහා මෙහා යන ගම්වාසීන් මාර්ගය භාවිතා කරන්නන් රාත්‍රිය වෙන තෙක් එගොඩ මෙගොඩ කිරීම මොවුන්ගේ රාජකාරිය වන්නේය. එය දේවකාරියකටත් වඩා උතුම් කොට සැලකීම ඔවුන්ගේ විශේෂත්වයක් ලෙස අප දුටුවෙමු.

මොවුන් පරගොඩ ගම් වාසීන්ය. හැත්තෑ හය හැවිරිදි වියේ පසුවන සෝමරත්න අඟුලේ තොටියා වී වසර 56කි. එදා මෙදා තුර ඉතිහාසයේ සෝමරත්නගේ අඟුලෙන් එතෙර නොවුණු ගමේ කෙනෙකු සොයා ගැනීම උගහටය. සෝමරත්නලා ගංවතුර කාලයට මාර්ගයේ ගමන් කරන්නන් අඟුලෙන් එගොඩ මෙගොඩ ගෙනෙන්නේ කුලියකටම නොවේය. එහෙත් දුන්නොත් ගන්නේය. පාසල් දරුවන්ගෙන් රෝගීන් ගෙන් කිසිම දිනෙක දුන්නත් මුදල් ගන්නේද නැත.

අඟුලේ ඉතිහාසය..

දශක පහක් ගංවතුරෙන් මිනිස්සු බේරාගත් වීරයෝ දෙන්නෙක්

1948 වර්ෂයේ දී කේ. වී. පොඩි සිංඤෝ සහ මැගිනෝනා යන අයට දාව උපත ලබන සෝමරත්න කෝට්ටගොඩ නව දෙනකුගෙන් යුත් පවුලේ දෙවනියාය.

සෝමරත්න දඹල පදින අඟුලේ තොටියා වෙන්නේ 1968 දීය. අවුරුදු පනස් හයක ඉතිහාසය ගැන සෝමරත්නට බොහෝ මතකයන් ඇත්තේය.

“මම ඔරු අඟුල් පදින්න ඒවගේම පිහිනන්න පුරුදු වුණේ අපේ සීයගෙන්. සීයගෙ නම කේ. වී. කොරණේරිස්. සීයා තමයි ඉස්සර මෝල්කාව රේන්දපල තොටුපළේ ඔරුව පැදපු තොටියා. එක්දහස් නමසිය පනස් ගණන්වල. ඒ තොටුපළ සීය ගන්තෙ ටෙන්ඩර් එකෙන් එතකොට මම කොලුගැටයා කාලේ. සීයත් එක්ක තොටුපොළට යනවා තව කොල්ලෝ කුරුට්ටොත් එක්ක කුඩා ගඟේ එගොඩ මෙගොඩ පීනනවා. ඔරුව පදින්න පුරුදු වෙනවා. අවුරුදු කීපයක් මම ඒ වැඩේ කරා ඒකෙන් තමයි මට ඔරු පදින්න පුළුවන් උනේ.

බුලත්සිංහල මේ ප්‍රදේශය කියන්නේ අවුරුද්දකට තුන් හතර වතාවක් ඉස්සර ඉඳන්ම ගංවතුරට යට උනා. ඒ කාලේ ගංවතුර එන්නේ හරියටම අවුරුදු පැනල දින 45 කින් ඒකට අපි කියන්නේ 45 දොහේ ගංවතුර කියලා. ඊට පස්සේ අගෝස්තුවලදී කුණු පිදුරු වතුර කියලා එකක් එනවා තවත් එකක් එනවා මාළු බිත්තර දාන්න නොවැම්බර් වගේ වෙනකොට මළවුන්ගේ මගුල කියලා ගංවතුරක් එනවා. ඒ කාලේ ඔය හතර තමයි අපිට ගංවතුරකට තිබුණේ. නමුත් මේ වෙනකොට අපි අවුරුද්දට ගංවතුර හය හතකට වැඩිය මුහුණ දෙනවා. ඒකට හේතුව කුකුලේ ගඟ ජලාශයේ ඉදිකිරීම. මේ ජලාශය ඉදිකිරීමත් එක්ක ඉහළ ප්‍රදේශවලට වර්ෂාපතනය වැටෙනකොට වාන් දොරටු ඇරියහම කුඩා ගඟේ ජල මට්ටම වැඩිවෙලා අපිට ගංවතුර ගලනවා. ඒකෙන් මේ ප්‍රදේශවල මිනිස්සු ගොඩක් අසරණ වෙලා ඉන්නෙ.

මම ගංවතුරේ මිනිස්සු එගොඩ මෙගොඩ ගෙනියන වැඩේ පටන් ගත්තෙ 1968 වසරේ. ඒකට හේතුවක් තිබුණා ඒ කාලේ විශාල පිරිසක් මේ මාර්ගය භාවිතා කළා. විශේෂයෙන් ද්‍රවිඩ ජනතාව මේ ප්‍රදේශය හරහා ගමන් කළා. ඒ විතරක් නෙමෙයි මේ ප්‍රදේශය හරහා ගොඩක් ගම්මානවලට යන්න තියෙනවා එනිසා විශාල ජනතාවක් ගමන් කරනවා. එතකොට මේ ස්ථානයේ ගංවතුර කාලෙට ඔරු පහක් විතර පදිනවා ඒ පහෙන්ම මිනිස්සු එගොඩ කරනවා. ඉතිං එතන ලොකු මාපියාවක් තමයි තිබුණේ. මිනිසුන්ගෙන් හරියට ගසා කනවා, අසාධාරණ ලෙස මුදල් අය කරනවා. ගංවතුර ආපුවහම එගොඩ මෙගොඩ යන්න ඒ කාලෙත් රුපියල් හතර පහ ගන්න හදනවා. අහිංසක මිනිස්සු ගොඩක් අසරණ වෙනවා. ඒ ගැන බලන් ඉන්න බැරුව තමයි මම ගංවතුරු කාලෙට අඟුලක් පදින්න හිතුවේ. දැන් වගේ ඉස්සර ඔරුවක් ගිය ගමන් කඩෙන් ගන්න බැහැ. ඔරුවායෙකුට කියලා තමයි ඔරු දෙක කොටා ගත්තේ ඒකට දින කීපයක්ම ගත වුණා. කොහොම හරි ඔරු දෙක හදාගෙන ඒක අඟුලක් විදියට හදාගත්තා එකවර දහදෙනෙකුට විතර යන්න පුළුවන් විදිහට. පස්සෙ මම මෙතනට ඔරුව දාලා පදින්න ගත්තා. මම මිනිස්සුන්ව සත පහට දහයට එගොඩ මෙගොඩ කළා ඒකත් දුන්නොත් විතරයි ගත්තේ. ලෙඩ්ඩුන්ගෙන් ළමයින්ගෙන් කවදාක්වත් සල්ලි අරන් නෑ. අන්තිමට මිනිස්සු මං එනකන් හිටිය මගේ ඔරුවෙ යන්න. ඒ අඟුල මම 1995 වෙනකම් පැද්දා. අනූ පහේදි තමයි මට ෆයිබර් අඟුලක් හම්බවුණේ සමාජ සේවා දෙපාර්තමේන්තුවෙන්.

ලෙඩ්ඩුන්ට නොමිලයේ සේවාවක්

දශක පහක් ගංවතුරෙන් මිනිස්සු බේරාගත් වීරයෝ දෙන්නෙක්

ගංවතුර කාලෙට ලෙඩ්ඩුන්ව එහා මෙහා ගෙනියන්න ගොඩක් තියෙනවා. ඒ වගේම වගේම විළිරුදාව හැදිලා ඉන්න බඩදරු අම්මලව මම ඔරුවෙන්ම ගෙවල් ළඟටම ගිහිල්ලා ඉක්මනට එගොඩ කරනවා. දවසක් විළිරුදාව හැදිලා ගොඩක් අමාරුවෙන් ඉන්න බඩ දරු අම්මා කෙනෙක්ව මම එගොඩ කළා එයාව රෝහලට ගෙනියනකොටම වගේ දරුවා ප්‍රසූත කරලා තියෙනවා. මහගංවතුරක් ආවහම කිලෝමීටර් හත අට ඔරුව පදිනවා. දඹල ඉඳන් කපුගෙදර පැත්තට මිනී ගෙනිහිල්ලා තියෙනවා. කිලෝමීටර ගණනාවක් තියෙනවා. ඒ වගේම එදා ඉඳන්ම ගංවතුර කාලෙට ඡන්දයක් ආපුවහම ගොඩක් ප්‍රවාහන කටයුතු කරන්නේ මේ අඟුලෙන් තමයි.

ගංවතුර කාලෙට ආධාර බෙදන එක ඒ වගේම හදිසි ගංවතුර පැමිණෙන අවස්ථාවලදී ගෙවල් යට උනාම සෑහෙන මිනිස්සුන්ව ගෙවල්වලට ගිහින් නොසෑහෙන්න බේරගෙන තියෙනවා. ගෑනු පිරිමි ළමයි වහලවල්වල එල්ලිලා ඉන්නේ. මහ ගංවතුරක් ගැලුවහම සමහර කාලවලට නාවික හමුදාවේ භට කණ්ඩායම් බෝට්ටු මගින් මේ ප්‍රදේශයට යොදවනවා. ඒවත් එක්ක හරි හරියට අපිත් වැඩ කරනවා.

ගංවතුරක් ගලනකොටම වගකිවයුතු අංශවලට එන්න අමාරුයි එතකං අපි තමයි මේ අඟුලෙන් මිනිස්සුන් බේරගන්නේ, ආරක්ෂිත ස්ථානවලට ගෙනිහින් දාන්නේ. ඒකට ගමේ මිනිස්සුත් ගොඩක් උදව් වෙනවා. මට මතක ඇති කාලෙක 2017 වර්ෂය තමයි ලොකුම වතුර ආවේ. ලයිට් කණු මට්ටමට වතුර ආවා. අපි යන්තම් ලයිට් කම්බි යටින් රිංගල අඟුල අරන් ගියා මතකයි.

ඉස්සර මම අඟුල පැද්දෙ තනියම. මල්ලිව මම සම්බන්ධ කරගෙන අවුරුදු තුන හතරක් වගේ ඇති. නමුත් මල්ලි අවුරුදු විස්ස විසිපහක ඉඳන් නාලියද්ද කියන ප්‍රදේශයෙන් මිනිස්සුන්ව එගොඩ මෙගොඩ කරා. ඒත් එයාගේ ඔරු දෙක දැන් අබලන් මමත් දැන් වයසයි. මට දැන් ඉස්සර වගේ පදින්න අමාරුයි. දැන් ගොඩක් මෝටර් බයිසිකල් එගොඩ මෙගොඩ කරන්නත් එනවා. තනියෙන් කරගන්න බැහැ. ඒක නිසා මල්ලිව මගේ අඟුලට ගත්තා දැන් දෙන්නත් එක්කම තමයි මේ වැඩේ කරන්නේ. ඉස්සර සෝමරත්න සමුපකාර සේවකයකු වශයෙන් අවුරුදු පහක පමණ කාලයක් සේවය කර ඇති අතර පසුව වත්තේ රබර් කිරි කැපීම තම ජීවිකාව වශයෙන් කරගෙන යන අතරතුර ගංවතුර කාලයට ඔරුව පදින්නේය. දැන් වයසත් සමග අසනීප තත්ත්වවලින් පෙළෙන සෝමරත්නට කිරි කැපීම අමාරුය. පුළුවන් වුණත් සෝමරත්නගේ කිරි කට්ටිය ගලවා අලුතින් පැළ සිටුවා ඇති බව සෝමරත්න පැවසුවේ දුකෙන්ය.

ලොකුම ගංවතුරේ සිදුවූ අනතුර

වසර 25 කට ආසන්න කාලයක් අඟුල පදින සෝමරත්නගේ බාලමලයා වන දයාරත්නට ද ගං වතුරත් සමග හැප්පී හොඳට හුරුය. දැන් එකට අඟුල පැද්දත් දයාරත්න ඉස්සර අඟුල පැද්දේ තනියමය. සෝමරත්නගේ අඟුලට ගොඩ වී එගොඩ වෙන මෝල්කාව බලා යන පිරිස් ඉස්සර නාලියැද්දෙන් දයාරත්නගේ අඟුලෙන්ද එතෙර වන්නට සිදුවීම සාමාන්‍යයකි.

දයාරත්න ඔහුගේ අඟුලේ තොටියා වන්නේ 1990 වසරේදීය.

ඒ කාලේ වෙනකොට ගංවතුර ගැලුවහම මිනිස්සුන්ට යන්න එන්න විදිහක් නෑ. දැන් වගේ පාරවල් අයින්වල නෙමේ ගෙවල් තිබුණේ ගොඩක් ඇතුලට යන්න ඕනේ. ඒවට යන්න බෝට්ටුවලින් බෑ අඟුලෙන් විතරයි යන්න පුළුවන්. ප්‍රශ්න නිසා මිනිස්සු ගොඩක් දුක් වින්දා. ඒ හින්ද තමයි මම අඟුල පදින්න ගත්තේ. අනික හදිසි ගංවතුරවලදී අහුමුළුවලින් රිංගල ගිහිල්ලා මිනිස්සුන්ව බේරගන්න පුළුවන් අඟුලෙන් තමයි.

මම කාලයක් තනියම මේ ස්ථානයේ අඟුල පැද්දා. පස්සේ ගමේ චන්ද්‍රරත්න කියල කෙනෙකුත් මාත් එක්ක එකට තව අඟුලක් පැද්දා. මගේ ඇඟුල 2017 දී අනතුරකට ලක් වෙලා අබලන් වුණා. ඊට පස්සේ තමයි අයියත් එක්ක මම එකට අඟුල පදින්න ගත්තේ. දැන් නාලියද්ද අඟුල පදින්නේ චන්දරත්න.

මට මතක හැටියට මගේ ජීවිතේ ලොකුම වතුර දැක්කේ 2017 වසරේ ලයිට් කණු උඩින් වතුර ගියා. මගේ ඔරුව අනතුරට ලක් වුණේ එච්චර ලොකු ජල කඳක් උඩින් පැදගෙන යනකොට. එදා මම අඟුලේ දාගෙන ගිය ගොඩක් පිරිස රෝගී වයසක උදවිය. වතුර සැරේටම තිබුණා අපි ගමන් කළේ ලයිට් කණු උඩින් එක පාරටම මගේ එක ඔරුවක් ලයිට් කණුව කඩාගෙන බැස්සා. ඔරුවට වතුර පිරෙන්න ගත්තා කට්ටිය බයේ කෑගහනව දඟලනවා මම කට්ටිය සන්සුන් කරගත්තේ බොහොම අමාරුවෙන්. ඔරුවට වතුර පිරෙනවා. කොහොම හරි වතුර ඉහ ඉහ මම ලයිට් කණුවට කකුල තියලා ඔරුව උස්සල ගත්තා එතන ඉඳපු කෙනෙක්ගෙ රෙදිපොට්ටනියක් අරගෙන හිල්වෙච්ච ගුලට එබුවා. ඒත් ඔරුවට වතුර එනවා වතුර ඉහ ඉහ කොහොම හරි ඔරුව තට්ටු දෙකේ ගෙයක් ළඟට ගෙනිහිල්ලා අනතුරක් නැතුව උඩ තට්ටුවට මිනිස්සු ටික බැස්සුවා. ඒක මගේ මේ අඟුල් ජීවිතේ ලබපු බිහිසුණුම අත්දැකීමක්.

එදා අනතුරට ලක්වුණු අඟුල අබලන්ව අතහැර දැමීමට දයාරත්නට සිදුවන්නේය. එදා පටන් නාලියැද්දේ අඟුලක් පැද්දේ චන්ද්‍රරත්නය. චන්ද්‍රරත්න අඟුල පදින්නේ වසර දහයක පමණ සිටය.

දශක පහක් ගංවතුරෙන් මිනිස්සු බේරාගත් වීරයෝ දෙන්නෙක්

ඔහු පදිංචිව සිටින්නේ පරගොඩ ප්‍රදේශයේය.

ගංවතුරට මුලින්ම යටවන්නේ පරගොඩ නිසාවෙන් ඔහුට ද ඔරුව හොඳින් හුරුපුරුදුය. අඟුල පදින්නට පෙර ඔහු ලී ඔරුවෙන් ගංවතුර කාලයට ඔහුගේ දරුවන් ඇතුළු අවට දරුවන් පාසල වෙත ඇරල වන්නේ ස්වේච්ඡාවෙනි. පන්සලට දන්කඳ ගේන උපාසක උපාසිකාවන් මෙන්ම පාසල් ගුරුවරුන් ද ඒ අතර විය. ඒ වසර විසි ගණනකටත් එපිටදීය. පසුව විහාරස්ථානයක හිමිනමක් චන්ද්‍රරත්නට අඟුලක් පරිත්‍යාග කර ඇත. දැන් නාලියැද්දෙන් ජනතාව එගොඩ මෙගොඩ යන්නේ චන්දරත්නගේ එම අඟුලෙන්ය.

මම වෘත්තියෙන් පෙදරේරුවෙක්. මට ඕන තරම් වැඩ තියෙනවා. ඒත් මම ගංවතුර ගැලුවහම වැඩට යන්නේ නෑ. අඟුල දාලා මිනිස්සු එගොඩ මෙගොඩ කරන එක තමයි කරන්නේ මම හිතන්නේ මේක සේවයක්. නැවත වරක් එගොඩ බලා යන්නට මගීන් පිරිසක් අඟුලට ගොඩ කරන ගමන් චන්දරත්න පැවසීය.

දයාරත්නට අඟුල දුන්නේ හරිත සංවිධානය නමැති සංවිධානයකිනි. අඟුල කැඩුණදා පටන් ඔහුට අඟුලක් නැතිවීම මහත් පාඩුවකි. එය ගංවතුර සමයකදී ගමටම මහත් පාඩුවකි. කුඩා ගඟ උතුරා ගම දෙවනත් කරන ඇතැම් කාලවලදී දයාරත්නගේ අඟුල නොමැති වීම මහත් පාඩුවකි. හදිසි ගංවතුර තත්ත්වවලදී අඟුල්වල වටිනාකම කියා නිම කළ නොහැකි බව දයාරත්න පවසන්නේය. එහෙයින් දයාරත්නට අඟුලක් ලැබෙන්නේ නම් ගම්මානයට මහත් අස්වැසිල්ලකි.

එදා මෙදා තුර ඉතිහාසයේ බුලත්සිංහල පරගොඩ ප්‍රදේශවලට ගංවතුරින් අඩුවක් නැත්තේය. එහෙත් ප්‍රදේශයේ ජනතාව පවසන්නේ කුකුලේ ගඟ ජලාශය ඉදිකිරීමෙන් පසු එය වැඩිවූ බවකි. ඒත් ඔවුන් එයට උරණ නොවෙති. ඔවුන්ගේ එකම ඉල්ලීම වන්නේ දඹල නාලියද්ද ආදී ප්‍රදේශවලින් මාර්ගය අඩි පහක් හයක් වත් උත්සා දෙන ලෙසයි.

මාර්ගයේ පිහිටි පහත්ම ප්‍රදේශ වන එම ස්ථාන ජලයෙන් යටවීම මෙම ජනතාවගේ ජන ජීවිත වසරකට හය හත් වතාවක් අඩාල කරන්නේය. ඔවුන්ගේ ආර්ථිකය කඩා වැටෙන්නේය. ගංවතුර කාලවලට ඇතැම් දරුවන්ට දින ගණන් පාසල් අහිමිවන්නේ මාර්ගය ජලයෙන් යටවීම නිසාය. වසර ගණනාවක් පුරා ඔවුන්ගේ ඉල්ලීම්වලට මෙතෙක් කිසිවෙක් ඇහුම්කන් දෙන්නේ නැති තරම්ය.

සෝමරත්නලා, දයාරත්නලා, චන්දරත්නලාගේ හා ගම්වාසීන්ගේ ඉල්ලීම වන්නේ හැකි ඉක්මනින් මාර්ගය උස්සා සකස් කර දීම ජනතාවට මහත් අස්වැසිල්ලක් බවයි. මේ අහිංසක මිනිසුන්ගේ ඉල්ලීම් ඉටුවන්නෙ කවදාද?

නයනදුල සෙන්දනායක

advertistmentadvertistment
advertistmentadvertistment