හැමතැනින්ම හාල් ගැන පැමිණිලි

නිකන් දුන්නට කන්න බැරි හාල්

පසුගිය කාලයේ මෙන්ම තවමත් වැඩිපුරම කතාබහට ලක්වන්නේ හාල් ගැනය. ඒ බොහෝ දෙනකු කතාකරන්නේ සහල් වටා ගෙතුණ අපූරු කතාන්දරයන් කිහිපයක් නිසාය. ඉන් පළමුවැන්න හාල් දැන් ගිනි ගණන් කියන කතාවය. අනෙක් කාරණාව වන්නේ ආණ්ඩුවෙන් අඩු ආදායම්ලාභීන්ට බෙදාදෙන සහල් කිසිදු ගුණාත්මකභාවයක් නැති බවට ඔප්පු වෙන කතාය. මේ සියලු කතා අතරින් දැන් රටේ කාගේත් අවධානය යොමුවී ඇත්තේ පාසල් දරුවන්ට ලබාදෙන ආහාර වේලෙහි අඩංගු ගුණාත්මක භාවයෙන් තොර ගුල්ලන් ගැසූ හාල් ගැනය. එමෙන්ම පසුගියදා කහටගස්දිගිලිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් කල් ඉකුත්වූ සහල් කිලෝ එක්ලක්‍ෂ හැත්තෑපන්දහසකට අධික ප්‍රමාණයක් පිරිසිදු කර නැවත අසුරා දින වෙනස් කොට ජනතාව අතරට යෑමට සැලසීම පිළිබඳව කතාවද තවත් එකකි. මේ ආදී සහල් ගැන කතාබහට ලක්කළ යුතු තවත් කතාද බොහෝය.

පාසල් දරුවන්ට ගුල්ලන් ගැසූ හාල්…

මේ කතාව පසුගිය කාලය තුළ සමාජය තුළ පැතිර යන්නේ ලැව් ගින්නක් මෙනි. රජයේ අනුග්‍රහය මැද තෝරාගත් පාසල් සඳහා “නීරෝගී ක්‍රියාශීලී දරු පරපුරක්” තේමා කොට ආහාර වේල් ලබාදීමේ වැඩපිළිවෙළ ජාතියක් වශයෙන් අප බෙහෙවින් අගය කළ යුතු වැඩසටහනකි. එහෙත් මේ වැඩසටහන ලප්තැනම ලොප් වන්නට වූයේ පාසලට ආහාර සැපයුම්කරුවන්ට සැපයූ සහල් ගුල්ලෝ ගසා පණු කැදලි සහිත ඒවා වීම නිසාය. රජයේ මෙම වැඩසටහනේ අරමුණ හා තේමාව කොතරම් අගනේ වුවද, ගුල්ලන් සහිත හාල් නිසා කිරි කළයට ගොම වැටුණා සේ මේ ආහාර වැඩසටහනේද අගය අඩුවන්නේ පටන්ගත් තැන සිටය. මුලින්ම ගුල්ලන් ගැසූ හාල් කතාව එන්නේ වේයන්ගොඩ පිහිටි දිස්ත්‍රික් ධාන්‍ය ගබඩාවෙනි. ඒ පාසල් දරුවන්ට ආහාර පිණිස මෙරටට ලැබුණු සහල් තොගයක් මිනිස් පරිභෝජනයට නුසුදුසු තත්ත්වයේ ඇති බවට මාධ්‍ය මගින් ජනතාව දැනුවත් කිරීමෙන් පසුවය. මේ කතාව එක් පැත්තකින් නොව පැති කිහිපයකින් අප බැලිය යුතුය. ඇත්තටම ලෝක ආහාර වැඩසටහන යටතේ අපේ රටට ලැබුණේ බාල තත්ත්වයේ ගුල්ලන් ගැසූ සහල්ද? එසේත් නොමැතිනම් වේයන්ගොඩ පිහිටි ධාන්‍ය ගබඩාවේ ධාන්‍ය ඇසුරුම් කිරීමේදී ඇතිවූ ගැටලුවක්ද?. එසේත් නොමැති නම් අදාළ හාල් තොග තෙමීමට ලක්වුණාද? මේ ප්‍රශ්නය දෙස පැති කිහිපයකින් ඕනෑම කෙනෙකුට බැලිය හැක. එමෙන්ම තමන්ගේ දේශපාලන දෘෂ්ඨිය අනුවද මේ ප්‍රශ්නය විවිධාකාරයෙක් ඇතැමෙකුට පෙනෙන්නට පුළුවන. එහෙත් මෙම ප්‍රශ්නය වඩාත් තීව්‍ර වන්නේ ආහාරයට නුසුදුසු සහල් මීළඟට රටේ අනාගතය භාරගැනීමට සිටිනා දරුවන්ට කෑමට දීමය.

මෝල්ලු මදිවට ආණ්ඩුවත් පොඩි මිනිහාට කොකා පෙන්නන හාල්

ලෝක ආහාර වැඩසටහන මගින් 2023 දෙසැම්බර් මස සහල් මෙටි්‍රක් ටොන් 1000 ක් මෙරටට එවනු ලැබීය. ඒ ලෝක ආහාර වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන පාසල් දරුවන්ට ආහාර ලබාදීමේ වැඩසටහනට අනුවය. එහිදී රජයේ පාසල් හා සිසුන් 100 ට අඩු පාසල් සඳහා මේ වැඩසටහන ආරම්භ වූයේ පසුගිය කාලය තුළය. මේ සඳහා රජය මගින් රුපියල් බිලියන 1.6 ක මුදලක්ද වෙන්කර ඇත. ලැබුණු තොරතුරු අනුව හාල් තොග ගබඩා කරන්නේ වේයන්ගොඩ ගබඩාවෙහිය. පසුගිය මාර්තු 19 දින ගම්පහ ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්‍ෂ මගින් වේයන්ගොඩ ධාන්‍ය ගබඩාවේ සහල් හා අනෙකුත් ආහාර වර්ග සම්බන්ධව වාර්තාවක් ලබාදෙන්නේ ලෝක ආහාර වැඩසටහනේ හවුල්කාරීත්වය දරන අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වෙතය. එහිදී ගම්පහ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරයාට දන්වා ඇත්තේ අත්තනගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල මහජන පරීක්‍ෂකවරු වේයන්ගොඩ ගබඩාවේ සහල් හා අනෙකුත් ආහාර වර්ග සාම්පල් රජයේ රසපරීක්‍ෂක වෙත ඉදිරිපත් කළ පසු හෙළිවන්නේ එම සහල් හා අනෙකුත් ආහාර වර්ග ගුල්ලන් සහිත ආහාරයට නුසුදුසු මට්ටමක පවතින බවකි. ඒ වේයන්ගොඩින් හෙළිවූ කතාව පමණි. එහෙත් මේ වනවිට දිවයින පුරා ඇති පාසල්වල ලබාදෙන ආහාර සම්බන්ධවද විවිධ පැමිණිලි ලැබෙමින් පවතී. පාසල් දරුවන්ට ආහාර ලබාදීමේදී රටේ බලධාරීන්ද මීට වඩා වගකිවයුතු බවද පෙනී යන කාරණාවකි. ලංකාව වැනි රටක වී වගාව කොතරම් සිදුකෙරුණුද රටේ දරුවන්ට ආහාර පිණිස හාල් ගන්නේ පිටරටින් වීම ගැනද රටක් වශයෙන් අප ලැජ්ජාසහගත විය යුතුය. තවද මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ කියා සිටින්නේද දිවයිනේ පාසල් කිහිපයකින් තත්ත්වයෙන් බාල ආහාර පිළිබඳ පැමිණිලි ලැබෙන බවය.

නොමිලයේ දෙන ගමන් සල්ලි ගන්න හාල් බෙදිල්ලක්

දැන් ආණ්ඩුව කරන්නේ ඡන්දයට ලකලෑස්ති වීමය. වෙනදා ටකරමක්, සිල් රෙද්දක්, බේසමක් වැනි දෙයක් පෙන්වා තමන්ගේ ඡන්ද ගොඩ වැඩිකර ගැනීමට මාන බලන දේශපාලකයන් දැන් බලන්නේ බඩකට පිරෙන්න කියා කන්නට හාල් බෙදීමය. කෙසේ වෙතත් මෙරට අඩුආදායම්ලාභී පවුල් මිලියන 2.74 ක සඳහා සහල් බෙදාදීමේ වැඩපිළිවෙළක් දැන් ක්‍රියාත්මක වෙමින් ඇත. එහිදී අඩුආදායම් එක් පවුලක් සඳහා සහල් කිලෝ 10 බැගින් බෙදාදීම මෙහිදී සිදුකෙරෙන අතර දිවයිනේ විවිධ ප්‍රදේශ තුළින් මෙම සහල් බෙදාදීමේ මුදලක්ද ලබාගන්නා බවට තොරතුරු වාර්තා වේ. ඉන් එක් සිදුවීමක් වන්නේ තංගල්ල, නෙටොල්පිටිය, ලාලිතපුර හා වැලිවැන්න යන ප්‍රදේශවල සහල් බෙදාදීමේදී මුදල් ලබාගැනීම් සිදුකරන බවට පළවන පුවතයි. අනෙක් පුවත වාර්තා වන්නේ මනම්පිටිය ග්‍රාම නිලධාරී වසමෙනි. මෙහිදී අප සඳහන් කළ අදාළ ප්‍රදේශ කිහිපයේම නොමිලයේ සහල් බෙදාදීමට අමතරව ජනතාවගෙන් රුපියල් 100 සිට 150 ක් වැනි මුදලක් අයකර ගන්නා බවකි. එහි ඇතැම් ස්ථානවල දැනුම්දී ඇත්තේ අදාළ මුදල් සහල් අවශ්‍යනම් මුදල් රැගෙන බවය. එසේ නොමැතිනම් ඔවුන්ට සහල් නොලැබෙන බවද ඇතැම් පුද්ගලයන් ජනතාව දැනුවත්කර ඇති බවද ලැබෙන තොරතුරු මගින් අනාවරණය වනු ඇත. නොමිලයේ සහල් බෙදාදීම පිටුපස අඩු ආදායම්ලාභීන්ගෙන් මුදල් ගසා කෑමේ ජාවාරමද ජයටම කරගෙන යන බවක්ද මෙවැනි සිද්ධීන් තුළින් වාර්තා වන්නේය. මේ සිදුකරන්නේ නොමිලේ කියා දුප්පතාගෙන් මුදල් ගසා කන ජාවාරමකි.

කන්න බැරි හාල්..

මෝල්ලු මදිවට ආණ්ඩුවත් පොඩි මිනිහාට කොකා පෙන්නන හාල්

ලාභ බඩුවේ හිලක් කියන්නේ කටකහනවාට නොවේ යැයි සිතෙන්නේ මෙවැනි කතා අසන විටය. ලාභ කෙසේ වෙතත් නොමිලයේ දෙන හාල් ගැන නම් කතා බොහෝය. ආණ්ඩුවෙන් අඩුආදායම්ලාභීන්ට ලබාදුන් සහල් පණු කැදලි හා ගුල්ලන් පිරුණු බවට මහජනතාව නගන පැමිණිලිද බොහෝය. නිකන් දෙන අශ්වයාගේ දත් ගනින්න එපා යැයි එක්තරා දේශපාලන හෙංචයකුට මේ කතාවට උත්තර සැපයිය හැක. එහෙත් අපි කියන්නේ කන්න බැරි දෙයක් සතෙකුටවත් දීම අමානුෂික ක්‍රියාවක් බවය. කන්න බැරි හාල් ගැන මුලතිව් කරෙයිතුරෙයිපත්තු ප්‍රදේශයෙන් නැගෙන්නේද චෝදනාය. ඒ මුලතිව් කරෙයිතුරෙයිපත්තු ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ පවුල් 1254 ක් සඳහා පළමු වටයේදී සහල් කිලෝ ග්‍රෑම් 12540 ක් බෙදා ඇති අතර ඉන් අඩකටත් වඩා සහල් පරිභෝජනයට නුසුදුසුය. එම පළාත තුළ ගුණාත්මක භාවයෙන් යුතු සහල් තිබියදීත් පිට පළාත් වලින් ගෙන එන කෑමට නුසුදුසු සහල් ඔවුනට බෙදාදී ඇත. කෑමට බැරි හාල් මුලතිව් වැසියන්ට ලැබුණේ එසේය. හාලිඇල හා හපුතලේ ලේකම් බලප්‍රදේශයෙන්ද වාර්තා වන්නේ එවැනි පුවත්මය. මිනිස් පරිභෝජනයට නුසුදුසු සහල් ගැන රටට කියන්නට ගොස් ඒ ප්‍රදේශයේ පුද්ගලයකුට අත්වූයේ පොලිසි ගානේ කටඋත්තර දීමට ගොස් රස්තියාදු වීමටය.

හාල් බෙදිල්ලෙන් මෝල්ලුන්ගේ මල්ලකරේ

සැබවින්ම හාල් වලින් වැඩියෙන්ම ලාභ ලබන්නේ මෙරට මෝල් හිමියන්ය. මහා පරිමාණ හෝ කුඩා පරිමාණ හෝ වේවා කාලයෙන් කාලයට ගණන් උස්සන මෝල්හිමියන්ට නම් දැන් රජ මඟුල්ය. පසුගිය කන්න වලදී වී ගොවියාගෙන් තුට්ටුදෙකට ගත් හාල් තවමත් මෝල් හිමියන් සතුය. විවිධ කාලයෙන් කාලයට නැති සහල් හිඟ මවමින් ඔවුන්ද කරන්නේ තැටිය රත්වූ වෙලාවේ රොටි පුළුස්සා ගැනීමය. ආණ්ඩුව හාල් බෙදන මේ කාලයත් මෝල්හිමියන්ට සරුවී ඇත්තේ කාලයක් තිස්සේ ගබඩා තුළ පුස්කමින් ගුල්ලන් ගසන ලද හාල් තොග පිටින් දැන් ජනතාව වෙත පැටවිය හැකි කාලය එළඹ ඇති බැවිනි. සෙවනගල ජනතාවටද පසුගියදා සිදුවූයේ මෝල් හිමියන්ගේ කුණු ගඳ ගසන හාල් ගිල දැමීමටය. ඒ සෙවනගල හබුරුගල ග්‍රාම නිලධාරී වසමේ පවුල් 500 ක් සඳහා කිලෝ 10 බැගින් සහල් උර 500 ක් ජනතාව වෙත බෙදාදීමෙනි. ඒ අනුව එම ප්‍රදේශයේ සහල් කිලෝ 5000 ක් අඩු ආදායම්ලාභී පවුල් සඳහා බෙදාදී තිබුණි. එහිදී එම ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ තමන්ට රජය මගින් ලබාදුන් සහල් නිසිපරිදි ශුද්ධ පවිත්‍ර කර නොමැති බවකි.

ඔවුන් දැඩි ලෙස චෝදනා කරන්නේ එසේ ලබාදුන් සහල් තුළින් දැඩි දුර්ගන්දයක්ද හමන බවකි. මේ පිළිබඳව සොයා බැලීමේදී අනාවරණය වූයේ සෙවණගල ප්‍රාදේශීය ලේකම් කාර්යාල විසින් සැපයුම් කොන්ත්‍රාත්තුවද දී ඇත්තේ ඉතා ඉහළ මිලකටද යන්නය. අදාළ සැපයුම්කාර මෝල් හිමියා එහිදී ලබාදී ඇත්තේ නිසි පරිදි ශුද්ධ නොකළ කුණු ගඳ ගසන සහල්ය. මෙම සහල් මලු ලබාගත් ජනතාව කියන්නේ සහල් මලු විවෘත කළ පසු එය මිනිස් පරිභෝජනයට නුසුදුසු බව හැමූ දුර්ගන්දයෙන්ම සනාථ වී වගකි. මෙවැනි දේ තුළින් සිදුවන්නේ මෝල් හිමියන් පොහොසත් කිරීම නොවේද? බලන්ගොඩ ප්‍රදේශයේද කල්ඉකුත්වූ සහල් නැවත භාරදෙන්නට ප්‍රදේශවාසී පිරිසක් කටයුතු කර ඇත්තේද ලංකාවේ පළාත් නවයටම ලබාදී ඇත්තේ මෙවැනි පරිභෝජනයට නොහැකි සහල් බව සතර දෙසින් ඇසෙන දකින කතාවලින් අපට පැහැදිලිය. ජනතාවට බෙදාදී ඇති ඇතැම් සහල් මලු වල මුද්‍රිතව සටහන් කර ඇති කල්ඉකුත්වීමේ දිනය වැසෙන සේ අලුත් දිනයක් යොදමින් ස්ටිකර් ගසා බෙදාදී ඇත්තේද රටේ දුප්පතාගේ ඇස් වසමිනි. පෙර මෙන් ඉදිරියටද ආණ්ඩුව ගෙන යන හාල් බෙදිල්ලෙන් මෝල් හිමියා වාසි ගන්නේ එලෙසය. හාල් ඒකාධිකාරිය හැමදාමත් මෝල්ලුන් අතය. ආණ්ඩුවටත් ඒ ගැන වගක් නැත්තේ වී මිලදී ගැනීමේ සිට ආණ්ඩුව ෆේල් නිසා විය හැකිය.
අපේ රටේ වී අලෙවි මණ්ඩලයත් හැමදාම පාඩුය. එහි නිලධාරීන් නිකන් හිඳ පඩි ගනිති. බෝඩ් ලෑල්ලකට පමණක් සීමාවී ඇති වී අලෙවි මණ්ඩලයෙන් ඇත්තටම වැඩක් නැත. එමෙන්ම ආණ්ඩුව කියන ගානට මෙරට වී ගොවියාට වී දිය නොහැක. ඒ වෙන කිසිවක් නිසා නොව ණය කන්දක හිරවී වගාකරන අපේ රටේ ගොවියාට ආණ්ඩුව ඉල්ලන තුට්ටු දෙකේ මිලට වී දී පාඩුය. අඩුවට වී දුන්නොත් වෙන්නේ ගොවියාට වස බොන්නටය. කොටින්ම කිවහොත් ආණ්ඩුව කියන ගාන වඩා රුපියලක් හෝ වැඩිකොට ඉල්ලීමට මෝල්කරුවාද දක්‍ෂය. කපටිය, උපායශීලීය. ඒ නිසා මෙරට සහල් මිලේ මිල තීරකයාද මෝල්ලුන්ය. ඔවුන් කියන ගාණට රටේ ජනතාව බත් කෑ යුතුය. ආණ්ඩුව වී ගැනිල්ලෙන් මෙන්ම ගැසට් වලින්ද ෆේල්ය. කීරි සම්බා සඳහා උපරිම මිල රුපියල් 260 ගැසූ ගැසට් දැන් කැලේය. මෝල්කරුවා දැන් කීරි සම්බා වෙළෙඳපොළට නිකුත් කරන තොග මිලම 350 කි. එවිට සිල්ලර මිලද 380 කි. අනෙක් හාල් වලටද උදාවී ඇත්තේද ඒ සෙතමය. මෝල්ලුන් මෙන්ම මෙරට වෙළෙඳ ප්‍රජාවද කරන්නේ බොරදියේ මාළු බෑමකි. ඔවුන් හාල් වල ගණන් කියන්නේ තමන්ට හිතෙන ගණන්ය.

මෙරට පාරිභෝගික අධිකාරිය යැයි කියා එකක් තිබුණාට ඔවුන් සිදුකරන්නේද මාධ්‍ය සංදර්ශන පමණක් යැයි සිතෙන්නේ වැඩි මිලට සහල් අලෙවි කරන තැන් ඔවුන්ට හසු නොවන නිසාය. ඔවුන් වැටලීම් සිදුකරන්නේද මාධ්‍යයේ කැමරාවක් ඉදිරිපිටදී පමණක් වීමද බලවත් ගැටලුවකි. කෙසේ වුවද තවමත් වෙළෙඳපොළ තුළ ගිනිගානට සහල් විකුණන ව්‍යාපාරිකයන් රිසි සේ සිය ජාවාරම සිදුකරගෙන යන්නේය. පසුගියදා සිදුවූ ආසන්නතම සිදුවීම වන කහටගස්දිගිලියේ කල්ඉකුත්වූ සහල් ජනතාවට බෙදීම පිළිබඳව කහටගස්දිගිලියේ මහෙස්ත්‍රාත්වරයා කියා සිටි කතාවය. එනම් වැටලීම් පිළිබඳව පාරිභෝගික අධිකාරියේ ක්‍රියාපිළිවෙත ගැන කිසිසේත්ම සෑහීමකට පත්විය නොහැකි බවය. ආණ්ඩුවේ වෙළෙඳ ඇමැතිවරයාටද ඊට අදාළ නිලධාරීන්ටද දැන් අවශ්‍ය වී ඇත්තේ හාල් ගැන සෙවීමට වඩා ඡන්ද ගොඩ වැඩිකර ගැනීමටය. වෙළෙඳ ඇමැතිවරයාද දන්නේ ගැසට් ගැසීමටය. අඩුආදායම්ලාභීන් සඳහා දෙවන වරට සහල් නිකුත් කිරීමටද ඉදිරියේදී නියමිතය. අප කොතරම් මේ ගැන හෙළිදරව් කළද ඉන් ඵලක් නොවන්නේ තවමත් මෙරට පාලනය කරනු ලබන්නේ දේශපාලන හාල්පාරුවන් නිසා විය හැකිය.

මෝල්ලු මදිවට ආණ්ඩුවත් පොඩි මිනිහාට කොකා පෙන්නන හාල්

රමින්ද මාවතගේ

advertistmentadvertistment
advertistmentadvertistment