SLT-MOBITEL 2024 පළමු කාර්තුවේදී සීමිත වර්ධනයක් වාර්තා කරයි

75
ජානක අබේසිංහ මහතා ප්‍රධාන විධායක නිලධාරී

SLT-MOBITEL 2024 මාර්තු 31 දිනයෙන් අවසන්වූ ප්‍රථම කාර්තුවේදී, අභියෝගාත්මක පරිසරයක් තුළ සීමිත වර්ධනයක් වාර්තා කරගැනීමට සමත් වී තිබේ.

කෙසේ නමුත් සමාගමේ සක්‍රීය පිරිවැය කළමනාකරණ ප්‍රයත්න මඟින් සමාගමේ මෙහෙයුම් වියදම් අවම කරගැනීමට හැකි වී ඇති අතර, එම නිසා සමාගමට ලාභදායීත්වය පවත්වා ගැනීමට හැකි වී තිබේ.

මෙම කාර්තුව සඳහා SLT සමූහය රු, බිලියන 26.93 ක ඒකාබද්ධ ආදායමක් වාර්තාකර ඇති අතර, එය පසුගිය වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව 1.4% ක වර්ධනයකි.

කෙසේ නමුත් පෙර වසරේ 4 වැනි කාර්තුවට සාපේක්ෂව, මෙම කාර්තුවේ ආදායම 3.7% ක වර්ධනයක් පෙන්නුම්කරන අතර, ආයතනික සේවා සහ අන්තර්ජාල ආදායම් මීට ප්‍රධාන වශයෙන් හේතුවී තිබේ.

සමාගම සාර්ථක ලෙස ක්‍රියාවට නැංවූ පිරිවැය අවම කිරීමේ විධිවිධාන හේතුවෙන් 2023 වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව මෙම කාර්තුවේදී මෙහෙයුම් වියදම් (ක්ෂය වීම් සහ ක්‍රමක්ෂය වීම් හැර) 0.6% කින් පහළ ගොස් ඇත. රුපියලේ අගය ඉහළ යාම හේතුවෙන් වාර්ෂික නඩත්තු සේවා වියදම්, ජාත්‍යන්තර ගෙවීම්, සහ අන්තර්ජාල පිටුබල ගාස්තු වැනි ඩොලර් මගින් ගෙවීම්කරනු ලබන වියදම් පහළ යාමද මීට බලපා තිබේ.

2024 වසරේ පළමු කාර්තුවේදී පැවති අස්ථාවර ව්‍යාපාරික වාතාවරණය සහ, සාර්ව ආර්ථික සාධක මගින් සමූහ ආදායමට බලපෑම් එල්ල විය. කෙසේ වුවද SLT-MOBITEL කඩිනමින් ක්‍රමෝපායික පිරිවැය-ප්‍රශස්තකරණ විධිවිධාන ක්‍රියාවට නැංවීම හේතුවෙන් සමූහ මට්ටමින් 2.7% කින් මෙහෙයුම් වියදම් අවම කරගැනීමට හැකියාව ලැබිණි.

මෙම ප්‍රයත්න යටතේ වාර්ෂික නඩත්තු සේවා වියදම්, රථවාහන කුලී පදනම මත ලබාගැනීමේ වියදම්, ජාත්‍යන්තර ගෙවීම්, සහ අලු‍ත්වැඩියා වියදම් ආදිය අවම කරගැනීමට පියවර ගෙන තිබේ. මෙම පියවර හේතුවෙන් සමාගමේ මෙහෙයුම් ඉපැයුම් ලාභය (EBITDA) පසුගිය වසරට සාපේක්ෂව 10.3% කින් වර්ධනය විය.

advertistmentadvertistment
advertistmentadvertistment