සමහර අංශවල වැඩට ඉන්නේ 50%යි – අනිත් අය අසනීපයෙන්
රත්නපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් තුන්දෙනකු ඇතුළු සේවක සේවිකාවන් 200කට ආසන්න පිරිසක් ඩෙංගු රෝගයට ගොදුරුව ඇති බවට රෝහල් ආරංචි මාර්ග පවසයි. ජනවාරි සිට මේ දක්වා ඩෙංගු රෝගීන් 1,311 දෙනකු රත්නපුරයෙන් වාර්තා වී ඇති අතර එයින් අති බහුතරයක් රත්නපුර ශික්ෂණ රෝහල හා ඒ අවට පිහිටි ගම්මාන ආශ්‍රිතව හමුවන බව ද පැවසෙයි. සෞඛ්‍ය සංඛ්‍යාලේඛන එසේ පැවසුව ද නිල ලේඛනවලට වාර්තා නොවන පිරිස ද සලකා බැලූවිට
රෝගීන්ගේ සංඛ්‍යාව මීට වඩා බොහෝ වැඩිවිය හැකි යැයි ද ජනතාව පවසති.
රත්නපුර ශික්ෂණ රෝහලට යාබදව ඉදිකෙරෙමින් පවතින සබරගමු විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඒකකයේ ගොඩනැඟිලි සංකිර්ණයෙන් ඩෙංගු කීටයන් විශාල වශයෙන් හමුව ඇති බවත් එම මදුරු කීටයන් මගින් රෝහල් පරිශ්‍රයට ඩෙංගු රෝගය ව්‍යාප්ත වන්නට ඇති බවට විශ්වාස කරන බවත් සබරගමු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා පවසයි. හෙතෙම මෙම කරුණු අනාවරණය කළේ සබරගමු පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න මහත්මිය විසින් කැඳවා තිබූ සබරගමු පළාත් ඩෙංගු කාර්ය සාධක බළකායට ඉකුත් 23 වැනිදා සබරගමුව පළාත් ශ්‍රවණාගාරයට එක් වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍යවරයා මෙසේ ද කීවේය.
රත්නපුර ශික්ෂණ රෝහලේ පමණක් වෛද්‍යවරුන් තිදෙනකු, වෛද්‍ය ශිෂ්‍යයන් දෙදෙනකු, හෙදියන් විසිතුන්දෙනකු, ඖෂධවේදීන් එක් අයකු, සෞඛ්‍ය කාර්ය සහයකයන් හැට හතරදෙනකු, ආරක්ෂකයන් හතරදෙනකු, පවිත්‍ර සේවකයන් පහළොස්දෙනකු වශයෙන් 143 දෙනකු මේ වනවිට ඩෙංගු රෝගයට ගොදුරු වී සිටිනවා. රත්නපුර ශික්ෂණ රෝහලට යාබදව පිහිටි ළය රෝහලේ සෞඛ්‍ය සේවකයන් දාහතරදෙනකු, ඔසු ගබඩාවේ තිදෙනකු ද ඩෙංගු රෝගයට ලක් වෙලා.
දිනෙන් දින බරපතළ වන රත්නපුර මාරාන්තික ඩෙංගු තත්ත්වය ඊයේ දින වනවිට තවදුරටත් උග්‍ර අතට පත්වෙමින් තිබුණි. රෝහල් කාර්ය මණ්ඩලයේ අයට ඩෙංගු වැලඳී ඇති නිසා රෝහලේ ඇතැම් අංශවල සේවක පිරිස සියයට 50ත් අඩු පිරිසක් දැකිය හැකිය. වෛද්‍ය සැපැයීම් අංශ, බාහිර රෝගී අංශ, නඩත්තු අංශ හා ඇතැම් වාට්ටුවලට මෙම තත්ත්වය දැඩිව දැනී ඇත.
වැලිගෙපොළ – අජිත් වීරසිංහ