දික්කසාදය

121
විවාහය යනු එක්තරා ගිවිසුමකි. සංස්කෘතිය අනුව පුද්ගලයන්ගෙන් පුද්ගලයන්ට ගිවිස ගැනීම් තුළ වෙනස්කම් තිබුණ ද දෙදෙනකු විවාහ වන්නේ බොහෝ අපේක්ෂාවන් හිත තබා ගෙනය. ජීවත්වන කාලය පුරාවටම දෙදෙනා එක්ව සිටින්නට විවාහය තුළින් අදිටන් කර ගනිති. නමුත් විවිධ හැලහැප්පීම් නොගැළපීම් තුළ දික්කසාදයකින් එම සම්බන්ධය බොහෝ අවස්ථාවන්වලදී කෙළවර වෙයි. දික්කසාදය යනු විවාහයක අවසානයක් බවට පත්වන නීතිමය ක්‍රියාවලියකි. දෙපාර්ශ්වයම එකඟ නම් සම්මුති දික්කසාදයක් ලෙස සලකා බලයි. මෙම දික්කසාද වීම් ශ්‍රී ලංකාව තුළ මෙන්ම ලෝකයේ අනෙකුත් බොහෝ රටවල පෙරට සාපේක්ෂව විශාල වර්ධනයක් දක්නට ලැබෙයි. මේ හේතුව මත දික්කසාදය පිළිබඳව ශ්‍රී ලාංකීය සමාජය තුළ වැඩිදුරටත් කතාබහ කිරීමේ අවශ්‍යතාව මතු වී ඇති අතර ප්‍රජාව දැනුවත් කිරීම ද ඉතා වැදගත්ය.
දික්කසාදය
මේ පිළිබඳව කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අනූෂා එදිරිසිංහ මහත්මිය සමග සිදු කරන ලද සම්මුඛ සාකච්ඡාවක් ඇසුරෙන් ලියන ලද සටහනකි.

ශ්‍රී ලංකාව තුළ දික්කසාද වීම් පෙරට, සාපේක්ෂව ශීඝ්‍ර ලෙස වර්ධනය වීමට හේතු මොනවා ද ?

ශ්‍රී ලංකාවේ දික්කසාද පිළිබඳව කතා කරද්දී සංඛ්‍යා ලේඛනවල ලොකු අඩුවක් අපිට දකින්න ලැබෙනවා. ශ්‍රී ලංකාව ගෝලීය වශයෙන් අඩුම දික්කසාද අනුපාතවලින් එකක් ලෙස නිරන්තරයෙන් වාර්තා වෙනවා. 2020 වන විට දික්කසාද අනුපාතය ජනගහනය 1000 කට 0.15 ක් වුණා. මෙම අනුපාතය වසර ගණනාවක් පුරා ස්ථාවරව පැවති අතර පසු වසරවලදී සමාන සංඛ්‍යා වාර්තා වෙලා තියෙනවා. අඩු දික්කසාද අනුපාතයක් තිබියදීත් ශ්‍රී ලංකාවේ දික්කසාද ගොනු කිරීම් සැලකිය යුතු සංඛ්‍යාවක් පවතිනවා. දිනකට ආසන්න වශයෙන් දික්කසාද අයැදුම්පත් 300 සිට 400 දක්වා ගොනු කරනු ලබනවා.

ශ්‍රී ලංකාව තුළ වර්ෂ 2000 න් පසු දික්කසාදය ඉහළ යෑමක් පැහැදිලිවම පෙනෙන්නට තියෙනවා. කෙසේ නමුත්, ශ්‍රී ලංකාව තුළ දික්කසාද වීම් පෙරට සාපේක්ෂව ශීඝ්‍ර ලෙස වැඩිවීමට අපේ සංස්කෘතික කාරණා මූලික වශයෙන් බලපානවා. විශේෂයෙන්ම මීට පෙර අතීතයේ ගැමි සමාජය තුළ පවුලේ සම්බන්ධතා ඉතාමත් ශක්තිමත් ය. ඒ නිසා ඔවුන්ගේ එදිනෙදා කටයුතුවලදී පවුල් සංස්ථාවේ අර්බුද ඇති වූ විට එකිනෙකා සාකච්ඡා කරමින් එම ගැටලුවලට විසඳුම් හොයලා තියෙනවා. නමුත් වර්තමාන සමාජය තුළ එය එසේ නැත. වර්තමාන සමාජයේ කාර්යබහුල ජීවිකාවත් සමග පවුල් සම්බන්ධතා ක්‍රමිකව දුරස් වෙලා තියෙනවා. කාන්තාවන් මෙන්ම පිරිමින් රැකී රක්ෂා සඳහා නාගරික ප්‍රදේශයන්වලට ඇදී යෑමත් සමග අදහස් උදහස් බෙදා ගැනීමේ තීව්‍රතාව තවදුරටත් අඩු වෙනවා. ඒ නිසා මෙවැනි සාධක මත දික්කසාදය වැනි ප්‍රබල සමාජ ගැටලු උද්ගත වෙලා තියෙනවා.

වර්තමානයේ ලෝකයේ බොහෝ රටවල ස්ත්‍රී පුරුෂ සමාජභාවය, සමානාත්මතාවය හා සාධාරණත්වය පිළිබඳව වැඩි අවධානයක් යොමු කරලා තියෙනවා. අතීතයේ පටන් බොහෝ අවස්ථාවන්හිදී කාන්තාව විවිධ තාඩන පීඩනයන්ට ලක් වුණා. එම හේතුව මත කාන්තා අයිතිවාසිකම් පිළිබඳව වර්තමාන සමාජය තුළ යම් කථිකාවක් ඇති වෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි අධ්‍යාපනික මෙන්ම දේශපාලනික සංස්ථාව තුළත් කාන්තාවට නිදහසේ තීන්දු තීරණ ගැනීමට ඉඩහසර ලැබිලා තියෙනවා. එනම්, කාන්තා පිරිමි භේදයකින් තොරව රැකීරක්ෂා සඳහා යොමුවීම, අධ්‍යාපනය හැදෑරීම, දේශපාලනික කටයුතු සඳහා යොමුවීම ආදී බොහෝ දෑ කාන්තාවට ද විවෘත කරලා තියෙනවා. අද වන විට කාන්තාවට තමන් පිළිබඳව තීන්දු තීරණ ගැනීමට හැකියාව පවතී. ආර්ථිකල සමාජමයල දේශපාලනිකල නෛතික වශයෙන් ශක්තිමත් වීම තුළ කාන්තාවට එම බලය ලැබෙනු ඇත. එනම්, කාන්තාවට තම පවුල් සංස්ථාව තුළ අර්බුදකාරී තත්ත්වයක් පවතින්නේ නම්, සෘජුවම ඇයට තීරණයක් ගැනීම සඳහා නෛතික රාමූන් ලාංකීය සමාජය තුළ නිර්මාණය වෙලා තියෙනවා. කාන්තා හිංසනය පමණක් නොව පිරිමි හිංසනය ද සමාජයේ කතා කළ යුතු මාතෘකාවකි. එනම්, පිරිමි පුද්ගලයන්ට ද තම අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමට හැකියාව තියෙනවා.

දික්කසාදයක දී මුහුණ දෙන්න සිදුවන අභියෝග මොනවාද?

මෙහිදී ප්‍රධාන වශයෙන්ම මානසික, ආර්ථික, සමාජයීය සහ නීතිමය වශයෙන් විවිධ වූ අභියෝගයන්ට මුහුණ දීමට සිදුවෙනවා. ඒ අතර මානසික හා ඒ ආශ්‍රිත අභියෝගයන් ප්‍රධානයි. විශේෂයෙන්ම මානසිකව දැඩි බලපෑම් ඇතිවෙනවා. අනෙකුත් අභියෝගයන්ට මූලික අඩිතාලම සපයන්නේ ද මානසික වශයෙන් එල්ල කරන බලපෑමයි. පවුල් සංස්ථාව අහිමිවීම, විවාහය දෙදරා යෑම නිසා සමාජ වටපිටාවට මුහුණ දෙන්නේ කෙසේද යන්න ආතතියට ලක්වීම සිදු වෙනවා. ආර්ථික වශයෙන් සලකා බැලීමේ දී මුදල් සහ දේපළ බෙදාගැනීමේ ගැටලු, නව ජීවින රටාවක් ගොඩනැඟීම සඳහා ආදායමක් පවත්වාගෙන යෑම දුෂ්කර වීමල දරුවන් පෝෂණය කිරීමේ ගැටලු ඇතිවීම සිදු වෙනවා.

දික්කසාදයක දී වැඩි වශයෙන්ම අභියෝගයන්ට මුහුණ දෙන්නේ කාන්තා පාර්ශ්වය යි. විශේෂයෙන්ම බරපතළ ආර්ථික ගැටලුවලට මුහුණ දීමට සිදුවනවා. ඒ ගැන අවුරුදු හතක් පුරා යුරෝපයේ කළ අධ්‍යයනයකින් ද හෙළි වෙලා තියෙනවා. වැදගත්ම දේ දික්කසාදය නමැති යුද පිටියේ වැඩියෙන්ම බැටකන්නේ දරුවන් බව බොහෝ විවාහක යුවළන්ට අමතක වෙනවා. දරුවන් පිළිබඳව විශාල වගකීමක් පවතින අතර එය දෙමාපියන්ට දික්කසාදයක දී මුහුණ දීමට සිදුවන ප්‍රධානතම අභියෝගයකි. දෙමාපියන් නිතරම වාද කළත් පවුල තුළ සතුටක් නැතත් දරුවන් නිතරම කැමති වන්නේ දෙමාපියන් සමග ජීවත් වීමටයි. කෙසේ නමුත් දෙමාපියන් අතර ඇතිවන ඝට්ටන ගැන බොහෝ විට දරුවන් දන්නා බවත් දෙදෙනා අතර තිබෙන ප්‍රශ්න ගැටලු දරුවන්ගේ මනස්වලට විශාල බලපෑමක් එල්ල කරන බවත් අප පිළිගත යුතුයි. ඒ වගේම දික්කසාදයට මුහුණදෙන පුද්ගලයන් තම පවුල තුළින්ම කොන්කිරීම, අපහසුතාවට පත් කිරීම බොහෝ අවස්ථාවන්හිදී හඳුනාගන්න පුළුවන්. දික්කසාදය නිසා මෙවැනි බොහෝ අභියෝගයන්ගෙන් බැටකන පුද්ගලයන් වර්තමාන සමාජයේ අනන්තවත් අපට දකින්න ඉන්නවා.

සටහන – දේශාන් එරන්ද
ජනසන්නිවේදන අධ්‍යයන අංශය


advertistmentadvertistment