අනුරාධපුරයේ උපන් අනුදි ගුණසේකර මීට දින කිහිපයකට පෙර කටුනායක ගුවන් තොටුපළින් ගුවන්යානයකට නැඟී ඉන්දියාවේ හයිද්‍රාබාද් ප්‍රාන්තය වෙත ගියාය. මේ දිනවල ලෝක රූ රැජින තරගාවලිය ඉන්දියාවේ හයිද්‍රාබාද් ප්‍රාන්තයේ පැවැත්වෙයි. අනුදි හයිද්‍රාබාද් ගියේ එම තරගයට සහභාගි වීම පිණිසය. සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවෙන් යන තරුණියන් කොපමණ සුන්දර වුවද ජාත්‍යන්තර රූ රැජින තරගාවලීන් හීදී එම තරුණියන්ට පළමු ස්ථානය නොලැබේ. ශ්‍රී ලංකාවෙන් බිහිවූ එකම රූ රැජින වන්නේ ජාත්‍යන්තර විවාහක රූ රැජින තරගයට ඉදිරිපත් වූ රෝසි සේනානායකයි. ඒ හැරෙන්නට ලෝක රූ රැජින, විශ්ව රූ රැජින යන තරගවලදී ලංකාවට තැනක් ලැබුනේම නැත. බොහෝවිට තරගයේ පළමු වන ස්ථානය ආසන්නයට ම එන අපේ රූ රැජිනියෝ පරාජයට පත් වෙති. අනුදි ගුණසේකර හයිද්‍රාබාදයේ පැවැත්වෙන ලෝක රූ රැජින තරගයට සහභාගි වන්නේ මෙය දැන දැනම බව අපි විශ්වාස කරමු. ඇය දින්නත් නොදින්නත් දැනටමත් දිනා අවසන්ය. ඒ ගැන තවදුරටත් මෙසේ කියමු.
පසුගියදා ලෝක රූ රැජින තරගයේ ආරම්භක අවස්ථාවේ දී අනුදි ගුණසේකර කෙටි දේශනයක් පැවැත්වූවාය. ශ්‍රී ලංකාවට පුනරුදය උදා කළ බුදුදහමට අයත් “සබ්බ පාපස්ස අකරණං” ගාථාවෙන් සිය කතාව ආරම්භ කළ ඇය එම ගාථාවේ තේරුම ඉංග්‍රීසියෙන් පැහැදිලි කර කතාවේ ඉතිරි කොටස ඉංග්‍රීසියෙන්ම කළාය. මේ කතාව පවත්වනු ලබන්නේ තරගකාරිය පිළිබඳ තොරතුරු රැස්ව සිටින අයට හෙළි කිරීම පිණිසය. අනුරාධපුරයේ උපන් අනුදි එහි සිංහල පාසලකට ගොස් විශ්වවිද්‍යාලයට තේරී ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳ උපාධියක් ලබාගෙන ඇත. එමතු ද නොව, කාන්තාවන්ගේ සෞඛ්‍යාරක්‍ෂක ප්‍රශ්න ඉලක්ක කරගත් රාජ්‍ය නොවන සංවිධානයක් ද ඇය විසින් අරඹා තිබේ. ලංකාව වැනි රටවල සිටින සාම්ප්‍රදායික පාලකයෝ කාන්තාවගේ ඔසප් චක්‍රය ගැන කතා කිරීමට ලැජ්ජා වෙති. එය කිසියම් ආකාරයකින් කාන්තාව හෙළා දැකීමකි. මෙහිදී නොකැමැත්තෙන් වුව තවත් කාරණා දෙකක් අපි සඳහන් කරමු. දන්ත ධාතූන් වහන්සේ මෙරටට වැඩම කරන ලද්දේ කාන්තාවක් විසිනි. එහෙත් දන්ත ධාතුව තැන්පත් කර තිබෙන දළදා මන්දිරයේ පත්තිරිප්පුවට නැඟීම කාන්තාවන්ට තහනම්ය. ශ්‍රී මහ බෝධීන් වහන්සේ මෙරටට වැඩම කරන ලද්දේ කාන්තාවක විසිනි. එහෙත් ශ්‍රී මහ බෝධියේ උඩ මළුවට යෑම කාන්තාවන්ට තහනම්ය. අප මහා බෝසතාණන් වහන්සේ සිදුහත් බිලිඳා ලෙස මෙලොවට ප්‍රසූත කරන ලද්දේ කාන්තාවක විසිනි. එහෙත් ඇතැම් ශුද්ධ වූ ආගමික අවස්ථාවන්වලදී කාන්තාවන්ට තැනක් දෙනු නොලැබේ. අනුදි ගුණසේකර කාන්තාවන්ගේ සෞඛ්‍ය අවස්ථා ගැන සාකච්ඡා කර ඒවායෙහි ඇති අඩුපාඩු වෙනුවෙන් උපකාර කිරීමට බලධාරීන් පෙළඹවීම සඳහා රාජ්‍ය නොවන සංවිධානයක් පටන්ගෙන ඇත්තේ කාන්තාවන්ට සුදුසු තැන ලබාදීමේ පියවරක් වශයෙනි. ඇගේ සිංහල භාෂා හැසිරවීම මෙන්ම ඉංග්‍රීසි භාෂාව හැසිරවීම ද ඉතාම ප්‍රශස්ථ මට්ටමක තිබේ. ඇය සිය ඉංග්‍රීසි කතාවේ කිසිම වචනයක් පුනරුච්චාරණය කළේ නැත. ඇය එක එල්ලේම කතා කර ස්වකීය නිර්භීතභාවය ලෝකයට පෙන්නුම් කළාය. අනුදි ගුණසේකර වැනි දියණියෝ මෙරටට වැඩි වැඩියෙන් අවශ්‍ය වෙති. ලෝකයේ ලස්සනම කාන්තාව තේරීම තුළ කිසියම් ආකාරයක චර්යා විරෝධී ලක්‍ෂණ තිබේ. කෙනකු ලස්සන විය යුත්තේ රූපයෙන් නොව, හදවතිනි. ලස්සනම කාන්තාව තේරීම යනු කැත කාන්තාවන්ට අවස්ථාවක් නොදීමකි. අනුදි ගුණසේකරගේ රුව මෙන්ම අදහස් ද ඉතා ලස්සනය. මෙබඳු දියණියන් මේ රටට වැඩි වැඩියෙන් අවශ්‍යව තිබේ. දිනුවත් පැරදුනත් අනුදි ගුණසේකර දැනටමත් ජයග්‍රහණය කර අවසන්ය. එබැවින් අපි ඇයට සුබ පතමු.
අනුදි සිය කතාවෙන් තම මවුබිම ජය ගත්තාය. එසේම හයිද්‍රාබාදයේ රූ රැජින තරගය නැරඹීමට පැමිණ සිටි සියලුම හදවත් ද ජය ගත්තාය. මෙය පොත්වල නොලියැවෙන, සහතිකවල නැති, කුසලාන නොලබන ජයග්‍රහණයකි. අනුදි මේ තරගයෙන් ජයගත යුතු බව අපගේ ප්‍රාර්ථනය වේ. ඇය නොදින්නත් මේ වනවිට ලොව ජය ගෙන ඇති බව අපගේ විශ්වාසය වේ.