දින 4ක යුද්ධයෙන් පසු එකඟ වූ ඉන්දු-පාකිස්තාන සටන් විරාමය පැය ගාණෙන් ඉවරයි

411

දෙරටෙන්ම එකිනෙකාට චෝදනා

දින හතරක් තිස්සේ දේශසීමාවල හමුදා ප්‍රහාර එල්ල කිරීමෙන් පසු සටන් විරාමයකට එකඟ වූ බව ඉන්දියාව හා පාකිස්තානය ප්‍රකාශ කිරීමෙන් පැය කිහිපයකට පසු සටන් විරාමය ‘උල්ලංඝනය’ කළ බවට දෙපාර්ශ්වයම එකිනෙකාට චෝදනා එල්ල කර තිබේ.

“අපි ඇති කර ගත්ත අවබෝධය දිගින් දිගටම උල්ලංඝනය වුණා” ඉන්දීය පරිපාලනය යටතේ පවතින කාශ්මීරයේ පිපිරීම් ශබ්ද ඇසීමෙන් පසු ඉන්දීය විදේශ ලේකම් වික්‍රම් මිස්රි පවසා තිබේ.

මේ අතර පාකිස්තාන විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබුණේ “ඉන්දියාවේ සටන් විරාම උල්ලංඝනය කිරීම් නොතකා සටන් විරාමය විශ්වසනීය ලෙස ක්‍රියාත්මක කිරීමට කැපවී සිටින” බවය.

සෙනසුරාදා උදෑසන එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහුගේ සමාජ මාධ්‍ය වේදිකාවේ සටහන් කර තිබුණේ ඉන්දීයාව හා පාකිස්තානය වහාම සටන් විරාමයකට එකඟවූ බවයි. පසුගිය මාසයේ පෙහෙල්ගාම්හි සිදුවූ මාරාන්තික ප්‍රහාරයකට ප්‍රතිචාර වශයෙන් ඉන්දියාව පාකිස්තානයේ සහ පාකිස්තාන පරිපාලනය යටතේ පවතින කාශ්මීරයේ ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කළ විට ඩ්‍රෝන යානා, මිසයිල සහ කාලතුවක්කු භාවිතය ආරම්භ විය. පසුව දෙරටම යුද්ධයකට පිවිසියහ.

බදාදා සිට ඉන්දීය ගුවන් ප්‍රහාර සහ දේශසීමාවල වෙඩි තැබීම් හේතුවෙන් පාකිස්තානයේ සහ පාකිස්තාන පාලනයේ පවතින කාශ්මීරයේ 36 දෙනකු මියගොස් ඇති බව පාකිස්තානය පවසයි. පාකිස්තාන ෂෙල් වෙඩි ප්‍රහාරවලින් අවම වශයෙන් සිවිල් වැසියන් 21 දෙනකු මියගොස් ඇති බව ඉන්දීය හමුදාව ප්‍රකාශ කර තිබිණි. සිකුරාදා රාත්‍රියේ සටන් උත්සන්න වූ අතර, දෙරටම ගුවන් කඳවුරු සහ අනෙකුත් හමුදාවට සම්බන්ධ ස්ථාන ඉලක්ක කර පහර දුන් බවට එකිනෙකාට චෝදනා කර ගත්හ.

චතුර පමුණුව


advertistmentadvertistment