දිවා රාත්‍රි තරග සීසීසී පිටියටත්

27

පවතින වර්ෂා තත්ත්වය හේතුකොට ගෙන දින සංශෝධනයකට ලක් කෙරුණු අන්තර් සමාජ ප්‍රධානතම පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව සහ අවසන් මහ තරග කොළඹ ක්‍රිකට් සමාජ ක්‍රීඩාංගණයේ (සී.සී.සී.) විදුලි ආලෝක ධාරා මධ්‍යයේ පැවැත්වෙනු ඇත. සී.සී.සී. ක්‍රීඩාංගණයේදී විදුලි ආලෝක පද්ධතිය ස්ථාපනය කිරීමෙන් අනතුරුව මෙහි පවත්වනු ලබන පළමු දිවා/රාත්‍රී තරගය වන්නේ අන්තර් සමාජ ප්‍රධානතම පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය යටතේ ලබන ජුනි මස 08 වැනිදා පැවැත්වෙන අවසන් පූර්ව තරග දෙක වේ.

ඒ අනුව අදාළ අවසන් පූර්ව තරග වටය යටතේ පැවැත්වෙන පළමු තරගය එදින ප.ව. 3.00 ටද දෙවැනි තරගය එදින ප.ව. 7.30 ට ද පැවැත්වෙනු ඇත. අදාළ තරගාවලිය යටතේ ජුනි මස 11 වැනිදා පැවැත්වීමට නියමිත අවසන් මහ තරගය ප.ව. 7.30 ට ආරම්භ වීමට නියමිතය. මෙම අවසන් මහ තරගය පැවැත්වෙන දිනදී වර්ෂාවෙන් බාධා පැමිණියහොත් ඒ වෙනුවට ඊට පසු දින හෙවත් ජුනි මස 12 වැනිදා අතිරේක දිනයක් ලෙසින් නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධි විධාන යොදා තිබේ.

මූලික වටය යටතේ මැයි මස 19 වැනිදා සිට 22 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ තරග සියල්ලම අයහපත් කාලගුණය හේතුවෙන් කල් දැමීමට තරගාවලි සංවිධායක කමිටුව තීරණය කිරීමත් සමග තරග කාලසටහනේ තරග පැවැත්වෙන දිනයන්හි සංශෝධනයක් සිදුකෙරිණ.

ඒ අනුව තරගාවලියේ මූලික වටයේ තරග ලබන ජුනි මස 03 වැනිදා පැවැත්වෙන තරගවලින් අනතුරුව අවසන් වන අතර අර්ධ අවසන් පූර්ව තරග එම මස 05 වැනිදා කොළඹ පී. සරා සහ සී.සී.සී. ක්‍රීඩාංගණවල පැවැත්වෙනු ඇත.


advertistmentadvertistment