බෞද්ධයාගේ මූලිකම පරමාර්ථය නිවන් දැකීමයි. එහෙත් ඒ සඳහා ඉපදෙමින් මැරෙමින් සසරේ දිගුකලක් සැරි සැරීමට සිදුවේ. ඒ අනන්ත වූ කාලයේ දී අපට මනුෂ්‍ය ආත්මභාවයන් ලබමින් ජීවිත රැසක් ගත කිරීමට ද සිදුවිය හැකිය. ඒ නිසා නිවන කරා යන ගමන ආරම්භ කළ හැකිවනු ඇත්තේ පුද්ගල ජීවිතයකිනි. මේ පුද්ගලයාගේ දිවිමග සරු කර ගැනීමට උපකාර වන ආර්ථිකමය වශයෙන් වටිනා උපදෙස් රැසක් බුදු දහමේ සඳහන් වෙයි. ඒවා සියල්ල අපට පොදුවේ බොදු ආර්ථික පිළිවෙත වශයෙන් සඳහන් කළ හැකිය. මේ ලිපියෙන් ඒ අනුව අපගේ අවධානය යොමු වන්නේ බුදු දහමේ සඳහන් බොදු ආර්ථික පිළිවෙත් ගැනය.
ජීවිතය ගැන කතා කිරීමේ දී අප ලෞකික ජීවිතය මෙන්ම ලෝකෝත්තර ජීවිතය ගැන ද කතා කරමු. එනම් මෙලොව ජීවිතය සහ පරලොව (මරණින් මතු) ජීවිතයයි. බුදුදහමේ මේ දෙක ගැනම කතා කරන අතර එය පරලොව ජීවිතය ගැන පමණක් කතා කරන්නක් නොවේ. එනම් බුදු සමය හැම විටෙකම භෞතික ජීවිතය සංවර්ධනය කර එම පදනම මත පිහිටා ලෝකෝත්තර ජීවිතය සංවර්ධනය කරලීමේ ප්‍රායෝගික ක්‍රියා පිළිවෙතක් පෙන්වා දී ඇති බව සඳහන් කළ හැකිය. එනම් මේ දෙකේ සම්බන්ධයක් තිබේ. එනම් මෙලොව ජීවිතය සාර්ථකව හා යහපත් ලෙස ගත කිරීමෙන් අපගේ පරලොව ජීවිතය ද යහපත් කරගත හැකි බවයි. මේ සඳහා බුදු දහම තුළ ඉතා හරවත් වූ සහ උසස් වූ ජීවන මාර්ගයක් ගැන සඳහන් වේ. ප්‍රායෝගික ජීවිතයට බුදු දහම යනු මෙලොව මෙන්ම පරලොව ජීවිතයේ යහපත උදෙසා බුදු දහම ඇසුරින් අනුගමනය කළ හැකි ජීවන මාර්ගයයි. එබඳු ක්‍රියාමාර්ග රැසක් ගැන බෞද්ධ දර්ශනයේ අන්තර්ගත වේ. මේවා අතුරින් බෞද්ධ ආර්ථික පිළිවෙත් ගැන මෙහිදී අපගේ මූලිකම අවධානය යොමු වේ. ලොව ඕනෑම පුද්ගලයකුගේ ප්‍රායෝගික ජීවිතය සාර්ථකත්වයට මෙන්ම ආර්ථිකමය වශයෙන් දියුණුවට පත්කළ හැකි බෞද්ධ ආර්ථික පිළිවෙත් ගැන බුදුදහම ඇසුරින් විමසා බැලීම අප කාටත් ප්‍රයෝජනවත්ය. මේ කියන බෞද්ධ ආර්ථිකය මෙන්ම බෞද්ධ ආර්ථික පිළිවෙත් ගැන විමසීමේදී ඉතා වැදගත් මූලාශ්‍ර ලෙස ගත හැකි ඉතා ප්‍රසිද්ධ සූත්‍ර රැසක් ත්‍රිපිටකයේ තිබේ. ඒවා අතර සිඟාලෝවාද සූත්‍රය, කූටදන්ත සුත්‍රය, චක්කවත්තිසීහනාද සූත්‍රය, ව්‍යග්ඝපජ්ජ සූත්‍රය, අණන සූත්‍රය සහ පත්තකම්ම වැනි සූත්‍ර තිබේ. මෙවැනි සූත්‍ර ධර්මවල අප පෙර කී බෞද්ධ ආර්ථික පිළිවෙත් ගැන සඳහන් වේ. මෙහි ඇති පත්තකම්ම සූත්‍රයට අනුව “භෝගා මේ උප්පජ්ජන්තු සහධම්මේන” යන්නෙන් කියවෙන්නේ ධාර්මිකව භවභෝග උපයාගත යුතු බවයි. ඇතැම් අය උත්සාහ ගනුයේ හොඳින් හෝ නරකින් ධනය උපයා ගැනීමටය. එහෙත් බුදු දහමට අනුව අනුගමනය කළ යුතු වන්නේ ධාර්මික ධනෝපායන ක්‍රියාමාර්ගයන්ය. සමාජයක වෙසෙන පුද්ගලයින් ධාර්මිකව ධනය උපයන්නේ නම් එය සමාජයේ සහ ආර්ථිකයේ යහපතට ද හේතුවේ. ආර්ථිකය යනු පුද්ගලයා හා රාජ්‍ය සම්බන්ධයෙන් තීරණාත්මක බලවේගයකි. රටේ ආර්ථිකය යහපත් තත්ත්වයට පත්වීම සඳහා රටේ පුද්ගලයින්
අනුගමනය කරන ආර්ථික පිළිවෙත් මෙන්ම පොදුවේ රජයේ ආර්ථික කළමනාකරණය ද යහපත් වීම ඉතා වැදගත් වේ.
බුදුන් වහන්සේ පෙන්වා දී ඇත්තේ මිනිසාගේ ඉමහත් වූ දුක වන්නේ දුප්පත්කම බවයි. එනම් ගෘහස්ථ ගිහියාට දිළිඳුකම ඉමහත් දුකක් බවයි.
“දාළිද්දීයං පී දුක්ඛං ලෝකස්මිං කාම භෝගිනෝ”
බුදුදහමට අනුව මෙලොව ජීවත්වන පුද්ගලයාට විවිධ පාර්ශ්වයන්ට යුතුකම් හා වගකීම් රැසක් ඉටුකිරීමට තිබේ.
ඒ සඳහා ධනය (මිල මුදල්) අවශ්‍ය වේ. ධනය නොමැති නම් එම යුතුකම් හා වගකීම් හරිහැටි ඉටු කිරීමට නොහැකි වේ. ඒ නිසා පුද්ගලයා දුකට පත්වේ. මේ නිසා තම යුතුකම් ඉටු කිරීමට ප්‍රමාණවත් ධනයක් අවශ්‍ය වේ. එසේ නම් මෙම දිළිඳුභාවයෙන් අත් මිදීමට නම් පුද්ගලයා කළයුත්තේ ධාර්මික ධනෝපායන මාර්ග මගින් ධනය උපයාගෙන තමාට යහපත් ආර්ථික තත්ත්වයක් සකස් කර ගැනීමයි. මේ සඳහා රජයකට ද ණය මුදල් යනාදිය සපයා දීමෙන් ඒ ජනයාට උපකාර කළ හැකි වේ. ඒ බව බුදුදහමෙන් රාජ්‍ය පාලකයන්ට ලබා දී ඇති උපදෙස්වල වෙනම සඳහන් වේ. කෙසේ වෙතත් ධනය ඉපයීම ඉතා ලෙහෙසි පසුවෙන් කළ හැකි දෙයක් ද නොවේ. එනම් ඒ සඳහා බලපාන සාධක කිහිපයක් ඇති බව පහත ගාථා ධර්මයෙන් පැහැදිලි වේ.
උට්ඨාන විරියාදී ගතේහි
බහා බල පරිචිතේහි
සේධා වක්කිත්තේහි
ධම්මිකෝ ධම්ම ලද්දේහි
මෙහි සඳහන් වන එකී සාධක මෙසේය.
● උත්සාහවන්ත බව
● දෑතේ මහන්සිය
● ඩහදිය වැගිරීම
● ධාර්මික බව
මේ අනුව පැහැදිලි වන්නේ ධනය ඉපයීම කායික හා මානසික ශ්‍රමය කැප කොට දහදිය වගුරුවා වෙහෙස මහන්සියෙන් කළ යුතු දෙයක් බවයි. බුදුදහම අනුමත කරන්නේ එවැනි ආකාරයෙන් ධනය ඉපයීමයි. එය කුසීතයන්ට කළ හැකි දෙයක් නොවේ. මෙසේ ධාර්මිකව ධනය ඉපයිය හැකි රැකියා හා කර්මාන්ත ගැන ද බුදු දහමේ සඳහන් වේ. ඒවා මෙසේය.
- කෘෂිකර්මාන්තය
- සත්ත්ව පාලනය
- වෙළෙඳාම
- ගෘහ කර්මාන්ත
- රාජ්‍ය සේවය
මෙවැනි රැකියා හා කර්මාන්තවල නිරත වීමෙන් ධාර්මිකව ධනය ඉපයිය හැකිවේ. මේ කුමන රැකියාවක් කළත් අලස නොවී උපායශීලි ව ක්‍රියා කළ යුතුය. වෙළෙඳාම ධාර්මික රැකියාවක් ලෙස සඳහන් කළත් නොකළ යුතු පහත සඳහන් වෙළෙඳාම් පහක් ගැන ද බුදුදහමේ සඳහන් වේ.
- සත්ත්ව වෙළෙඳාම
- මස්මාංස වෙළෙඳාම
- ආයුධ වෙළෙඳාම
- මත්පැන් වෙළෙඳාම
- වස විෂ වෙළෙඳාම
මේ වෙළෙඳ ව්‍යාපාරවල නොයෙදිය යුතු අතරම කළ යුතු වෙළෙඳාම් ද කළ යුතු වන්නේ ද සාධාරණවය. එනම් එහිදී පහත ලෙස ක්‍රියා නොකළ යුතු ද වේ.
- තුලාකූට (හොර තරාදි පඩි උපයෝගී කරගනිමින් භාණ්ඩ කිරා දීම)
- මානකූට (හොර මිනුම් ක්‍රම භාවිත කිරීම)
- කංසකූට (ගුණත්වයෙන් අඩු භාණ්ඩ වටිනා භාණ්ඩ ලෙස පෙන්වා අලෙවි කිරීම)
වර්තමානයේ මෙන්ම අතීතයේ ද ඇතැමුන් ධනය ඉපයීමට කුමන හෝ වංචාකාරී ක්‍රියාවන්වල යෙදෙයි. අනුන්ව රවටා මුදල් කඩා ගැනීමට උත්සාහ කරයි. පිරමීඩ් ජාවාරම් සහ අනවසර තැන්පතු භාර ගැනීම් වැනි දේ තුළින් අන්‍යයන් රවටා ඔවුන්ගේ ධනය ලබා ගැනීමට උත්සාහ කරයි.
මේ නිසා අද මෙන්ම බුදුන් දවස ද ඇතැමුන් බුදුදහමෙහි දැක්වෙන පිළිවෙත්වලින් ඈත් වී මෙසේ වංචනිකව ධනය ඉපයීමට උත්සාහ කර ඇත. පසුගිය දිනවල බැලුවොත් තුවක්කුවලින් වෙඩිතබා සිදුකළ ඉතා සාහසික මිනීමැරුම් ගණනාවක් සිදුව ඇත. මුදලට මිනිස් ජීවිත බිල්ලට ගැනීම ඇතුළු පාතාල ක්‍රියාකාරකම් වර්ධනය වීම නිසා මේ වන විට සමාජය තුළ වෙනදාට වඩා භීතියක් ද නිර්මාණය වී ඇත. සෑම කලෙකම මේවා සිදුවුවත්, තවමත් මේ පාතාල ක්‍රියා නිසි ලෙස පාලනය කර ගැනීමට වත්මන් රජය ද සමත්ව නැත. මේ නිසා පසුගිය දේශපාලන වේදිකාවේ ජාතික ආරක්ෂාවට ටියුෂන් දෙන්නම් බංකුවක් අරන් වාඩිවෙන්න කියමින් වීර ප්‍රකාශ කළ අය මේ අපරාධ වර්ධනය හමුවේ, සමාජය තුළ මෙන්ම සමාජ මාධ්‍ය තුළත් බලවත් උපහාසයට ලක්ව ඇත. මනුෂ්‍ය ඝාතනවලට අමතරව තවත් ස්ත්‍රී දූෂණ, ළමා අපචාර සහ මත් කුඩු ජාවාරම ඇතුළු වෙනත් අපරාධ සිදුවීම ද බහුල වී ඇත. ඒ නිසා මෙවැනි ක්‍රියා මගින් සිදුවනු ඇත්තේ එම අපරාධකරුවන්ට ඉතා ඉක්මනින් හිරේ විලංගුවේ වැටීමට සිදුවීමයි. මේ ඇතැම් අපරාධකරුවන් නීතියට හසු නොවී සිටියත්, ඔවුන්ට සිතේ සතුටින් ජීවත් විය හැකි ද? කුලියට මිනී මරා කෙතරම් මුදලක් ලැබුණත් ඒ මුදල් ගෙන සතුටින් කෙතරම් කාලයක් ජීවත් විය හැකි ද? එම මිනීමරුවන් අවසානයේ තමා මරණයට පත් වන්නේ කෙලෙසක ද යන්න කියාවත් ඔවුන් දන්නවා ද? ‘අවිගත්තෝ අවියෙන්ම’ නැසෙති යන කියමන අප අසා ඇත. ඒ අනුව පාතාල කණ්ඩායම් අතර ගැටුම්වලින් දෙපැත්තේම අය විටින් විට සාහසික ලෙස ඝාතනයට ලක්වෙන බව නිරන්තරයෙන් අපට දැකගැනීමට ලැබී ඇත. මේ නිසා මෙවැනි අපරාධකරුවන්ට මෙවැනි විපාක ලැබීමෙන් අවසානයේ ඔවුන්ගේ දරුපවුල්වල අය පවා දුකට, පීඩාවට පත් වේ. හිතේ සතුට උතුම්ම ධනයයි. ඒ හිතේ සතුට නමැති ධනය නොමැතිව කෙතරම් මිල මුදල් තිබුණත් කුමට ද? මේ නිසා අප සැම අදිටන් කරගත යුතු වන්නේ යහපත් ලෙස ධනය උපයාගෙන තම යුතුකම් කොටස අදාළ පාර්ශ්වයන්ට නිසි ලෙස ඉටු කිරීමටය.
කාමභෝගී දිවි පෙවෙතක් ගත කරන ගිහියා උපයන ධනයෙන් තමන්ගේ සුඛවිහරණය ගැන පමණක් සිතා කටයුතු කිරීම ප්‍රමාණවත් නොවේ. ඔහු සමාජයේ වෙසෙන අන් අයගේ යහපත වෙනුවෙන් ද කටයුතු කළ යුතු වේ. එනම් එම ධනයෙන් අන් අයට ද තම යුතුකම් ඉටු කළ යුතු වේ. “අත්තානං සුචේති පීනේති මාතා පිතුන්නං පිනේති” ආදි වශයෙන් තමා සතුටු වන අතරම තම මවු පිය නෑදෑ හිත මිතුරන් ද සතුටු කළ යුතු වේ. ධාර්මිකව ධනය උපයන පුද්ගලයා විසින් ඉටු කළ යුතු ප්‍රධාන යුතුකම් 5 ක් තිබේ. බුදු දහමේ සඳහන් පරිදි එම යුතුකම් ඉටුකළ යුතු පාර්ශ්වයන් මෙසේය.
1.ඤාති බලි – (ඤාතීන්ට සංග්‍රහ කිරීම)
- අථිති බලි – (ආගන්තුකයන්ට සංග්‍රහ කිරීම)
- රාජ බලි – (රජුට බදු ආදිය ගෙවීම)
- දේවතා බලි – (දෙවියන් උදෙසා පිදීම)
- පුබ්බපේත බලි – (මිය ගිය ඤාතීන්ට පින්දීම)
මෙසේ ධාර්මිකව ධනය උපයා තම යුතුකම් ඉහත පරිදි ඉටු කිරීමෙන් සිතේ සතුට නම් වූ උතුම්ම ධනය ද ජනිත වනු ඇත. සිඟාලෝවාද සූත්‍රයේ උපමා දෙකක් මගින් පුද්ගලයකු වශයෙන් ධනය ඉපයිය යුතු ආකාරය ගැන දක්වා ඇත්තේ මෙසේය. එනම් බඹරා මලින් මලට ගොස් මල නොතළා මල් පැණි රැස්කොට විශාල වූ වදයක් බඳින්නා සේද, එසේම වේයා පස් ස්වල්පය බැගින් ගෙනැවිත් විශාල තුඹසක් බඳින්නා සේ ද ධනය රැස් කළ යුතු බවයි. මෙසේ ධාර්මිකව ධනය උපයන්නා දවසින් දෙකින් කෝටිපතියකු වන්නේ නැත. එවැනි අයගේ දියුණුව ඇතිවන්නේ ක්‍රමයෙනි. සෙමිනි. එහෙත් ඒ දියුණුව පහසුවෙන් විනාශ කළ නොහැකි ස්ථාවර දියුණුවක් ද වනු ඇත. මේ නිසා අප විසින් සැමවිටම කළ යුතු වන්නේ බුදු දහමේ සඳහන් ධාර්මික වෘත්තීන් තෝරාගෙන සාධාරණව කිසිවෙකුටත් කරදරයක් නොමැතිව ධනය ඉපයීමයි. මේ නිසා ඉතා සරලව කිව හැකි වන්නේ දැහැමින් ධනය ඉපයිය හැකි බවයි. ජීවිතයේ පරම සැපය නිර්වාණය බව ඇත්තය. එහෙත් එතෙක් අප යන භව ගමනේ ගත කරන අප්‍රමාණ ජීවිතවල දී බුදු දහමින් දක්වා ඇති බොදු ආර්ථික පිළිවෙත් අනුව කටයුතු කිරීමෙන් මෙලොව ජීවිතය සැපවත් කරගත හැකිය. එය කළ යුතු ආකාරය ගැන ඉහත සඳහන් කළ පරිදිම නොයෙකුත් සූත්‍ර දේශනාවල දී බුදුන් වහන්සේ පෙන්වා දී ඇත.
දිනක් දීඝජානු කෝලිය කුල පුත්‍රයා බුදුන් වහන්සේ ළඟට පැමිණ, මෙලොව සහ පරලොව දියුණුව පිණිස හේතු වන කරුණු කවරේ දැයි විමසූ අවස්ථාවේදී බුදුන් වහන්සේ පුද්ගලයකුගේ මෙලොව ජීවිතයට බලපාන ප්‍රධාන කරුණු 4ක් මෙසේ පෙන්වා දී ඇත.
- උට්ඨාන සම්පදා
- ආරක්ඛ සම්පදා
- කල්යාණ මිත්තතා
- සමජීවිකතා
ධාර්මිකව ධනය ඉපයීම මෙන්ම ධනය පරිහරණය කිරීම ද මැනවින් කළ යුතු වේ. නැතහොත් වන්නේ එම දුක් මහන්සියෙන් රැස් කළ ධනය විනාශ වීමයි. මේ නිසා ධනය විනාශ වන කරුණු ද අප මැනවින් අවධානයට ගත යුතුවේ. මේ ධන විනාශය සඳහා හේතු වන ප්‍රධාන වැරැදි පිළිවෙත් 6 ක් සිඟාලෝවාද සූත්‍රයෙන් පැහැදිලි කරදී ඇත. ඒවා මෙසේය.
- මත්පැන් පානය කිරීම
- අවේලාවෙහි වීථි සංචාරය
- සමජ්ජාභිචරණය
- දූ කෙළියෙහි යෙදීම
- පාප මිත්‍ර සේවනය
- අලසකම
මේ සාකච්ඡා කළ කරුණු දෙස බැලීමෙන් පැහැදිලි වන්නේ පුද්ගලයා තම ගෘහස්ථ ජීවිතයේ දී යහපත් ආර්ථිකයක් පවත්වා ගත යුතු ආකාරයයි. ධනය ඉපයීම මෙන්ම එය විනාශ නොවී මැනවින් පරිහරණය කරගත යුත්තේ කෙසේ ද යන්නත් ගැන බුදුදහමෙන් උපදෙස් ලබා දී ඇත. මේ බෞද්ධ ආර්ථික දර්ශනයේ පිළිවෙත්
අනුගමනය කිරීමෙන් ඔහුටත් අනෙත් අයටත් රටේ ආර්ථිකයටත් යහපත් බලපෑමක් සිදුවන බව සඳහන් කළ හැකිය. අනිත් අතට අකුසල් සිදු නොවීම සහ කුසල් සිදුවීම නිසා බෞද්ධ ආර්ථික පිළිවෙත් තුළින් පුද්ගලයාගේ දෙලොව දියුණුවම සැලසෙන බව තහවුරු වේ.
ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]